ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලාස් වේගස් ප්‍රහාරය: තුවක්කුකරු "ත්‍රස්තවාදියෙක්ද"?
ලාස් වේගස් නුවර සංගීත ප්‍රසංගය වෙත ප්‍රහාර එල්ල කළ ස්ටීවන් පැඩොක් නමැති පුද්ගලයා "ත්‍රස්තවාදියෙකු" ලෙස නම් නොකිරීම පිළිබඳ සමාජ ජාල තුළ සංවාදයක් මතු වී ඇත.
ඉහත කී පුද්ගලයා විසින් ඉරිදා (ඔක් 01) රාත්‍රියේ සිදු කරන ලද වෙඩි තැබීමට හසුව අවම වශයෙන් 59 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර තුවාල ලද පිරිස 500 අධිකය.
'මැන්ඩලේ බේ' නමැති හෝටලේ 32 වෙනි මහලේ සිට එළිමහන් ප්‍රසංගය වෙත නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කළ ස්ටීවන් පැඩොක් පුවත් ආයතන විසින් හඳුන්වනු ලැබ තිබුණේ "හුදෙකලා වෘකයෙකු", "සූදුකරුවෙකු", "හිටපු ගණකාධිකාරීවරයෙකු" යන වශයෙනි.
නමුත් කිසිඳු පුවත් ආයතනයක් විසින් ඔහු "ත්‍රස්තවාදියෙකු" ලෙස හඳුන්වනු ලැබ නොතිබිණි.
ස්ටීවන් පැඩොක් කුමන චේතනාවකින් එවැනි ප්‍රහාරයක් එල්ල කළේ දැයි යන්න තවමත් අනාවරණය වී නොමැත.
එම ප්‍රහාරය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර සම්බන්ධයක් පැවති බවක් අනාවරණය වී නොමැති අතර ඊට මානසික ආබාධයක් බලපා ඇත්දැයි යන්න ද තහවුරු වී නැත.
මේ අතර ස්ටීවන් පැඩොක් ඉස්ලාම් භක්තිකයෙකු වූවා නම් ඔහු "ත්‍රස්තවාදියෙකු" ලෙස හංවඩු ගැසීමට යුහුසුලු වනු ඇති බව සමාජ ජාල තුළ අදහස් පළ කළ බොහෝ දෙනෙකු පෙන්වා දී තිබිණි.
සාක්ෂි කිසිවක් නොමැතිව වුව ද "ඉස්ලාමීය ත්‍රස්තවාදය" හා ඔහු අතර සම්බන්ධයක් ඇති බව පවසමින් පූර්ව නිගමනවලට එනු ඇතැයි සමාජ ජාල තුළ පළ වූ එවැනි අදහස්වලින් කියැවිණි.
නමුත් ඉහත කී පුද්ගලයා සම්බන්ධයෙන් එබඳු නිගමනයකට නොපැමිණියේ ඇයිදැයි යන කාරණය සම්බන්ධයෙන් විවිධ කේෂ්ත්‍රවල ජනප්‍රිය තරු, රූපවාහිනී වැඩසටහන් හා සම්බන්ධ පුද්ගලයන් සහ ශාස්ත්‍රඥයන් අතර සංවාදයක් මතුව තිබේ.
ලාස් වේගස් නගරය අයත් වන නෙවාඩා ප්‍රාන්ත නීතිය අනුව "ත්‍රස්තවාදී ක්‍රියාවක්" යන්න විස්තර කර ඇත්තේ "සාමාන්‍ය ජනයාට මරණය ගෙන දෙන හෝ දැඩි ශාරීරික හිංසාවකට ලක් කිරීමේ චේතනාවෙන් සිදු කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක්" යනුවෙනි.
ඇමරිකාවේ ෆෙඩරල් නීතියට අනුව නිර්ණායක තුනක් යටතේ "අභ්‍යන්තර ත්‍රස්තවාදය" අර්ථ දක්වා ඇත.
- ෆෙඩරල් නීතිය හෝ ප්‍රාන්ත නීතිය උල්ලංඝනය කෙරෙන මිනිස් ජීවිතයට අනතුරුදායක ක්‍රියාවක් වීම
- සාමාන්‍ය වැසියන් හෝ ආණ්ඩුවලට, තර්ජනය හෝ බලහත්කාරකම් පෑමේ චේතනාවෙන් සිදු කරන ක්‍රියා
- සහ ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ හටගන්නා සිදුවීමක් වීම
ප්‍රහාරය සිදු වූ දිනයේ සිට "හුදෙකලා වෘකයා" (lone wolf) යන්න ට්විටර් සමාජ ජලය තුළ හුවමාරු වී ඇති වාර ගණන දෙලක්ෂයකට අධිකය.
සුදු ජාතික සැකකරුවන් සහ වෙනත් වර්ණවලට අයත් ජාතිකයන් හැඳින්වීමේ දී පැහැදිලි වෙනසක් දක්නට ලැබීම ඇතැම් පුද්ගලයන් විසින් අවධානයට ලක් කරනු ලැබ ඇත.
ෆේස්බුක් සමාජ ජලය තුළ අදහස් දක්වමින්, "ඔහු ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු වශයෙන් සලකන්නේ නැතිද? ඒ ඔහුගේ අරාබි හැඩහුරුවක් නැති නිසා වෙන්න පුළුවන්" යනුවෙන් එක් අයෙකු පවසා තිබිණි.
වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කරන ඇමරිකානු මුස්ලිම් භක්තිකයෙකු වන මහමුද් එල්වාඩි, "ඉස්ලාමීය ප්‍රහාරයක්" එල්ල වූ විට තම පවුලේ සාමාජිකයන්ට දැනෙන බලපෑම පැඩොක් නැමැත්තා එල්ල කළ ප්‍රහාරය හමුවේ සුදු ජාතිකයන්ට නොදැනෙන්නේ කෙසේ දැයි යන්න සිය ෆේස්බුක් පිටුවේ විස්තර කර තිබේ.
"ඕනෑම සමූහ වෙඩි තැබීමක් කියන්නේ මගේ බිරිඳගේ ජීවිතයට අනතුරක්, මොකද ඇය මුහුණ ආවරණය කර ගෙන ඉන්නේ. මගේ පුතාට පාසලේ දී හිරිහැර සිදු වේවි, මොකද ඔහුගේ නම මොහොමඩ්. මගේ වයස අවුරුදු හතරක් වෙන දුවට අසාධාරණයක් වේවි, මොකද ඇය අරාබි භාෂාව කතා කරනවා. එසේ නැතිව ත්‍රස්තවාදියා සුදු ක්‍රිස්තියානි භක්තිකයෙකු නම් එක පාරටම ඔහු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවට පත් වෙනවා. එම සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
සබැඳි යොමු: