ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තවත් ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවේ
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු යාපනය හා මන්නාරම ප්‍රදේශවලදී ඉරිදා අළුයම අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉන්දියාවේ ජෙගනම්පට්ටන් පළාතේ සිට යාත්‍රා දෙකකින් පැමිණි ධීවරයන් 9 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද සමග යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ඊසාන දෙසින් නෙඩුන්තීව් මුහුදේදී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදී තිබේ.
ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයේ සිට පැමිණි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු හා ඔවුන් පැමිණි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුහුදු සීමාවේදීය.
අත්අඩංගුවට ගන්නා ලද ධීවරයින් 24 දෙනා යාපනය හා මන්නාරම පොලීසි වෙත ඉදිරිපත් කොට එම ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර පුල්මුඩේ ප්‍රදේශයට ඊසාන දෙසින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගන්නා ලද බවත් නාවික හමුදාව නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා එම ධීවරයන් පිරිස ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දී තිබේ.