දැවැන්ත සිත්තම් මවන විස්කම් සිත්තරා

ධාන්‍ය ගබඩා කරන ඉතා උස කුලුණක පාසැල් සිසුවියකගේ දැවැන්ත අලේඛ්‍ය සිතුවමක් අඳින සිත්තරෙකු ඕස්ට්‍රේලියානු ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් ලබමින් සිටී.

අඩි 100 ක් උස එම කුළුනේ උඩසිට පහළට වැසෙනසේ අඳින එම සිතුවමේ නිර්මාණකරුවා වන චිත්‍ර ශිල්පී ගුයිදෝ වැන් හෙල්ටන් අති විශාල ප්‍රමාණයේ චිත්‍ර නිර්මාණය කිරීම පිලිබඳව යුරෝපයේ සහ ඇමරිකාවේ නමක් දිනාගත් අයෙකි.

ඔහු දැන් ජනගහනය පුද්ගලයන් 200 ක් පමණවූ දකුණුදිග ඕස්ට්‍රේලියාවේ කූනල්පින් නමැති කුඩාගොවි නගරයේ ජනප්‍රිය තරුවක් වී ඇත්තේ මෙතෙක් එම ප්‍රදේශය පසුකරමින් නොනවත්වා ගමන්ගත් රථවාහනවල රියැදුරන් සහ මගීන් ගුයිදෝ චිත්‍ර අඳිනු දැකබලා ගැනීම සඳහා තම රථවාහන නවතා විවේක ගැනීමට හුරුවී ඇති හෙයිනි.

මේ කුඩා ගොවිපළ නගරයට ජනතාව අද්දවා ගැනීමේ උපායක් ලෙස තිරිඟු ගබඩා බිත්තිවල සිතුවම් කරන ලෙස ගුයිදෝ ට ඇරැයුම් කළේ එම නගරයේ ජනතාවයි.

"ඒක ඇඩලෙයිඩ් සහ මෙල්බර්න් අතර දිවෙන අධිවේගී මාර්ගයේ තිබෙන ඉතාම පුංචි නගරයක්. සමහරවිට මිනිස්සු ඒ නගරය පසුකරගෙන රිය පදවාගෙන ගියාට එහෙම නගරයක් තියනවද කියල දන්නෙවත් නැහැ" යනුවෙන් චිත්‍ර ශිල්පී ගුයිදෝ පවසයි.

ධාන්‍ය ගබඩා කුළුනේ ඔහු අඳින සිතුවම මෙතෙක් තමා කළ අතිවිශාල බිතු සිතුවම් වලට වඩා වෙනස් වනු ඇති බව ගුයිදෝ පවසයි.

ගුයිදෝ මෙම සිතුවම් නිර්මාණය කරනු බැලීම සඳහාම ජනතාව රැස්වන හෙයින් වසර ගණනාවකට පසු කූනල්පින් නගරයේ ආපනශාලා උදෑසනින් විවෘත කිරීමට සිදුවී තිබේ. නගරවාසීන්ට මෙතෙක් නොලැබුණු අමතර අදායමක් ලබාගැනීමේ හැකියාව ඉන් උදාවී තිබේ.

මෙම චිත්‍ර නිර්මාණය සහ ප්‍රදේශවාසී ජනතාව අතර බැඳීම කොතරම්ද යත් ගුයිදෝ පමණක් නොව ඔහු චිත්‍ර අඳින අකාරය ඡායාරූප ගත කරන ප්‍රදේශවාසී ඡයාරූප ශිල්පියා පවා සැමදෙනා අතර ජනප්‍රියත්වයට පත්වී ඇත.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පදිංචි චිත්‍රශිල්පී ගුයිදෝ පවසන්නේ ඔහුගේ අදහස වන්නේ මීළඟට ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් සිටින රවුක්කාන් වල මෙන්ම ඩුබායි නගරයේ සහ නාෂ්විල් නගරයේ ස්ථාන කිහිපයක සිතුවම් නිර්මාණ කිරීම බවය.