ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිය දිවි නසා ගැනීමේ දර්ශන: 'මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරලා'
තරුණයකු සිය දිවි නසා ගැනීමේ දර්ශන සහිත පුවතක් විකාශය කිරීම තුළින් ඇතැම් පෞද්ගලික රූපවාහිනී ආයතන මාධ්‍ය ආචාරධර්ම 'අමු අමුවේ' උල්ලංඝනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර්ජාතික මාධ්‍ය රීතීන්ට අනුකූලව රූප රාමු බොඳ කර හෝ නොකොර එවැනි අති සංවේදී දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ට සමාජයක සිදු නොවිය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
'මෙය මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික සිද්ධාන්තයකි. සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් රටේ පවතින නීතිරීති ද සැලකිල්ලට ගත යුතුය,'
ජනමාධ්‍ය ආචාරධර්ම මතක් කොට දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් නොවුනත් ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි මතක් කරදීම් සඳහා සුදුසු කාලය එළඹ ඇතැයි හැඟෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.
'විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක්‍රමවේදයක් නොතිබීම මෙවැනි ආචාරධර්ම කඩ කිරීමට ප්‍රධාන හේතුවක් බව රජය විශ්වාස කරයි,' නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ආචාරධර්ම කඩ කෙරෙන ඉහත ආකාරයේ සංවේදී දර්ශන විකාශනය කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් අදාළ කරුණ පෙන්වා දුන් විගස ඊට ප්‍රතිචාර වශයෙන් එම පුවත විකාශය කිරීම අත්හිටවූ ඇතැම් නාලිකාවලට ප්‍රශංසාව හිමි වන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය සිය නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.