ඉන්දියාවේ කුලවාදී ගැටුම් අතර 'ස්ත්‍රී දූෂණ'

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගියදා ඉන්දියාවේ කුලවාදී කැරැලි ගැසීම් පෙරට යමින් තිබියදී කාන්තාවන් දූෂණයට ලක් වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
ඉහත කී පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනුයි.
කාන්තා දූෂණ සිදු වූ බව පැවසෙන දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි 'මුර්තාල්' නගරය වෙත ඉහත කී පොලිස් නිලධාරිනියන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගොස් ඇත.
පසුගිය සඳුදා කැරලිකරුවන් පිරිසක් විසින් කාන්තාවන් කණ්ඩායමක් බිම්කඩක් දෙසට බලහත්කාරයෙන් ඇද ගෙන යනු දුටු බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ.
ඒ ආසන්නයේ තිබී සොයා ගනු ලැබූ ඉරා දමන ලද වස්ත්‍ර පරීක්ෂාවට ලක් කළ පොලිසිය එම වස්ත්‍රවල සාම්පල ලබා ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
මේ අතර අදාළ ප්‍රදේශය තුළ ලිංගික අඩන්තේට්ටම් සිදු වී ඇති බවක් පෙනෙන්නට නොමැති බව ප්‍රදේශයේ ඇතැම් පොලිස් කණ්ඩායම් කියා සිටිති.
කෙසේ නමුත් හර්යානා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා සඳහන් කළේ ඉදිරිපත් වන ඕනෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.
රජයේ රැකියා සඳහා හඳුන්වා දී ඇති කෝටා ක්‍රමවේදයට තම කුල ප්‍රජාවත් ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමිනුයි 'ජාත්' කුලයට අයත් කණ්ඩායම් කැරලි ගැසීම් ආරම්භ කළේ.
දින කීපයක් පුරා පැවති ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මරුමුවට පත් පිරිස තිහකට ආසන්නයි.








