ස්කොට්ලන්ත ජනමත විචාරය විවාදයක

ස්කොට්ලන්ත ග්ලාස්ගෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති කඹුරාවල ශ්‍රී රේවත හිමියන්

ඡායාරූප මූලාශ්‍රය, Scotlands Buddhist Vihara

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කොට්ලන්ත ග්ලාස්ගෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති කඹුරාවල ශ්‍රී රේවත හිමියන්

ස්කොට්ලන්තයට නිදහස පැවරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් සහ නියෝජ්‍ය අගමැති නික් ක්ලේග් ඔවුන්ගේ අකමැත්ත පළ කර තිබේ.

සැප්තැම්බර් දහ අට වනදා පැවැත්වීමට නියමිත ජනමත විචාරය සම්බන්ධයෙන් ජනතාව දක්වන අදහස් දිගින් දිගටම විවාදයට ලක් වෙමිනුයි පවතින්නේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් වුවහොත් එය සිය දැඩි කනස්සල්ලට හේතු වනු ඇති බවයි.

ස්කොට්ලන්තයේ 'ග්ලාස්ගෝ' බෞද්ධ විහාරාධිපති කඹුරාවල ශ්‍රී රේවත හිමියෝ සංදේශය සමග පිළිසඳරක යෙදෙමින් ස්කොට්ලන්ත ජනමත විචාරය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළහ.

විහාරස්ථානය ඇසුරු කරන ස්කොට්ලන්ත ජාතිකයින් සහ ආසියාතිකයින් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරන බව පවසන රේවත හිමියන් කියා සිටියේ ජනමත විචාරයට කැමති සහ අකමැති පිරිස සමාන බවක් දැකිය හැකි බව බව පවසමින්.

ආසියානු මතය

තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ තරුණ ඡන්දදායකයින් බොහොමයක් නිදහස් ස්කොට්ලන්තයක් සඳහා කැමැත්ත දක්වන නමුත් මැදි වයසේ පුද්ගලයන් එක්සත් රාජධානියේ කොටසක් ලෙස එම භූමිය පවත්වා ගෙන යාමට කැමැත්ත දක්වන බවයි.

ස්කොට්ලන්තයේ වෙසෙන ආසියාතිකයින් බොහොමයක් ජනමත විචාරයට අකමැති බව පැවසු උන්වහන්සේ හේතු වශයෙන් දක්වන්නේ ගමන් බලපත්‍ර සහ පුරවැසි භාවයේ සිදු විය හැකි වෙනස මෙන්ම එක්සත් රාජධානියෙන් වෙන්වීම තුලින් මහා බ්‍රිතාන්‍ය යන හැඳින්වීම අහිමි කර ගැනීමට අකමැත්තක් දක්වන බවයි.

නිදහස ලැබුවද පවුම තම මුදල් ඒකකය ලෙස භාවිතා කිරීමට ස්කොට්ලන්ත රජයට අවශ්‍යව ඇති බව පැවසු රේවත හිමියන් කියා සිටියේ ජනමත විචාරය තුලින් නිදහස හිමි වුවහොත් ස්කොට්ලන්තයට සිය මුදල් ඒකකය ලෙස යූරෝ භාවිතා කිරීමට සිදු වන බවයි.