
පූජකවරුන් සම්බන්ධයෙන් අනිසි බලපෑම් සහිතව හැසිරී ඇති බවට කාදිනල් කීත් ඔ බ්‍රයන්ට චෝදනා එල්ල වී තිබේ
බ්‍රිතාන්‍යයේ ඉතාම ජ්‍යෙෂ්ට කතෝලික පූජකවරයා වන කාදිනල් කීත් ඔ බ්‍රයන් රදගුරු පදවියෙන් ඉල්ලා අස්විය.
මෙයින් අවුරුදු තිහකට පමණ පෙර පූජකවරුන් සම්බන්ධයෙන් අනිසි බලපෑම් සහිතව හැසිරී ඇති බවට කාදිනල් කීත් ඔ බ්‍රයන්ට චෝදනා එල්ල වී තිබිණ.
ස්කොට්ලන්තයේ කතෝලික සභාවේ අගරදගුරු පදවියෙන් තම ඉල්ලා අස්වීම භාර ගැනීමට පාප් වහන්සේ එකඟ වූ බවත් එය වහාම ක්‍රියාත්මක වන බවත් කාදිනල් වරයා පවසයි.
එසේම නව පාප් වරයකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට තමා සහභාගි නොවන බවත් කාදිනල් හිමියෝ තහවුරු කළහ.
ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර ප්‍රකාශයක් කළ කාදිනල්වරයා, තමාට එරෙහි චෝදනාවලට අභියෝග කරන බව කියා සිටියේය.
පූජකවරුන් විසින් සිදුකරනු ලබන ලිංගික අපචාර විභාග කිරීමේදී, ගැටළුවලට මුහුණ දෙන සෙසු කාදිනල්වරුන් කෙරෙහි ස්කොට්ලන්ත අගරදගුරු හිමියන්ගේ ඉල්ලා අස්වීම මගින් දැඩි බලපෑමක් එල්ල කෙරෙන බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.
මේ අතර තීරණයක් ගත් බෙනඩික් පාප්වහන්සේ, අනුප්‍රාප්තික පාප්වරයකු තෝරා පත් කරගනු ලැබීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරෙන නව රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කළහ.
පාප් පදවියෙහි පුරප්පාඩුවක් ඇතිවීමෙන් සති දෙක තුනකට පසුව කාදිනල්වරුන් එක්රැස්ව, අභිනව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීම මෙතෙක් අනුගමනය කෙරුණ චාරිත්‍රය වූ නමුත් නව රෙගුලාසි යටතේ ලොව පුරා සිටින කාදිනල්වරුන් රෝමයට රැස් වුන වහාම අභිනව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමට අවස්ථාව උදාවෙයි.












