චංගි: ලොව හොඳ ම ගුවන්තොටුපොළේ රවුමක්

    • Author, නිකලස් යං
    • Role, බීබීසී පුවත්, සිංගප්පූරුව

සති කිහිපයකට වරක් පාහේ, හිස්කන්දර් සුල්කර්නේන් ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා සමග සිංගප්පූරුවේ චංගි ගුවන්තොටුපොළ වෙත යයි.

ඔවුන්ගේ ගමනාන්තය වන්නේ, කීර්තිමත් කැනේඩියානු ගෘහ නිර්මාණ ශිල්පී මොෂේ සෆ්ඩි සහ ඔහුගේ කණ්ඩායම විසින් නිර්මාණය කළ, පර්යන්ත අංක එකට සම්බන්ධ වර්ග අඩි මිලියන 1.5ක් විශාල 'ජුවෙල්' සාප්පු සංකීර්ණය යි. ලෝකයේ උස ම ගෘහස්ථ දිය ඇල්ල වන මහල් හතක් 'රේන් වෝටෙක්ස්' ඇල්ලට ඔහුගේ දරුවෝ විශේෂයෙන් ම ප්‍රිය කරති. ඩිස්නි තේමාවේ ආලෝක හා සංගීත සංදර්ශන ද ඔවුන් වඩාත් ම කැමති ඒවා ය. ඉන්පසු මේ පවුල නවතින්නේ, කෙටි දුර ධාවන බසයෙන් හෝ විදුලි දුම්රියෙන් මිනිත්තු කිහිපයක් තුළ යා හැකි, සෙල්ලම් වාහන හා දරුවන්ට සුදුසු සැණකෙළිත්, ක්‍රීඩාවනුත් ඇති තෙවන පර්යන්තයේ ය.

"විවේකය, වෙළඳ හා ආහාර ගැනීමේ ගමනාන්තයක් විදිහට හිතාමතාම හඳුන්වාගන්න වෙනත් ගුවන්තොටුපොළක් මට තවම හම්බවෙලා නෑ," චංගි වෙත යන චාරිකාව, සිංගප්පූරුවේ ලෝක ප්‍රසිද්ධ සාප්පු සවාරි තීරයක් වන ඕචඩ් පාරේ චාරිකාවක් යෑමට සමානකරමින් සුල්කර්නේන් පවසයි.

ගුවන්තොටුපොළ ශ්‍රේණිගතකිරීමේ හා සමාලෝචනය කිරීමේ උපදේශන ආයතනයක් වන ස්කයිට්‍රැක්ස් ආයතනයට අනුව, මේ, ලෝකයේ හොඳ ම ගුවන්තොටුපොළ යි.

ස්කයිට්‍රැක්ස් ආයතනය, ගුවන් මඟීන් විසින් ගුවන්තොටුපොළ 550කට වැඩි ප්‍රමාණයක සේවාවන් සහ පහසුකම් තක්සේරු කරන, වාර්ෂික ගෝලීය ගුවන්තොටුපොළ පාරිභෝගික තෘප්තිමත්භාවය පිළිබඳ සිදුකරන විශාලත ම සමීක්ෂණය සිදුකරන බව කියයි. පසුගිය දශකය තුළ චංගි ගුවන්තොට ශ්‍රේණිගතකිරීමේ අංක එකට පැමිණි අවස්ථා අටක් ද ඇතුළු ව අවස්ථා දොළහක දී ස්කයිට්‍රැක්ස් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට ම පැමිණ තිබේ. පසුගිය වසර දෙකේ දී දෝහා හි හමඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ටෝකියෝ හි හනේදා ගුවන්තොටුපොළට දෙවැනිව තිබුණු එය මාර්තු මාසයේ දී එහි කිරුළ නැවත ලබාගත්තේ, එහි "සමකළ නොහැකි මඟී අත්දැකීම්" පිළිබඳ ස්කයිට්‍රැක්ස් වෙතින් ප්‍රශංසා හිමිකරගනිමින් ය.

වසංගතයට පෙර, 2019 දී, මඟීන් මිලියන 68කට වැඩි පිරිසකට තොටුපොළක් බවට පත්වෙමින් ගුවන් යානා 382,000ක් පමණ චංගි වෙතින් පියාසර කර හෝ ගොඩ බස්වා තිබේ. එහි මඟී ඝණත්වය තවමත් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද චංගි යනු හුදෙක් ගමන් මධ්‍යස්ථානයක් නොවේ: එය සිංගප්පූරු වැසියන් ආදරය කරන, නිතර කාලය ගත කිරීමට යොදාගන්නා සුවිශේෂී ස්ථානයකි.

විනාඩි 15ක දුර ගෙවා, නිවසට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට නිතර ජුවෙල් වෙත පැමිණෙන රේචල් ටෑන්ගෙන් විමසූ විට, සාප්පු සවාරි යෑම හැර "වතුර මල ළඟ වාඩි වෙලා, ජුවෙල්වල ඉන්නවා කියන අත්දැකීම විඳින්න පුළුවන්," එම 34-හැවිරිදි නීතිඥවරිය පවසයි.

උමං මාර්ග සහ බස්‍ රථවලින් පහසුවෙන් ප්‍රවේශ විය හැකිවා මෙන් ම, මුළු දවස ම චංගිහි ගත කරන මිනිසුන් දැකගැනීම අසාමාන්‍ය නොවේ. ඔබට චිත්‍රපටයක් නැරඹීමට, ආහාර වේලක් ගැනීමට, බඩුමුට්ටු මිලට ගැනීමට මෙන් ම විභාගයකට පාඩම් කිරීමට නිශ්ශබ්ද ස්ථානයක් සොයා ගැනීමට පවා හැකි ය. කාලයත් සමග එය මංගල ඡායාරූප ගැනීමේ ද, මිතුරන් නැවත එකතු වී රාත්‍රී භෝජන ගැනීමේ ද ගමනාන්තයක් බවට පත් ව තිබේ.

මෙහි අනෙකුත් ආකර්ෂණයන් අතරට පඳුරුවලින් සැදි වංකගිරියක්, මීටර 12ක් උස ලිස්සන බෑවුමක් සහ වායු සමීකරණය කළ වැසි වනාන්තරයක් ද ඇතුළත් ය. ඔබ ගුවන් ගමනක දී ඕනෑවට වඩා වේලාසනින් ගුවන්තොටුපොළට පැමිණේ නම්, ට්‍රාන්සිට් ප්‍රදේශය සම්බාහන මධ්‍යස්ථානයකින්, නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන චිත්‍රපට ශාලාවකින් හා පිහිනුම් තටාකයකින් ද, සම්බාහන පුටු සහ සමනල උද්‍යානයකින් ද සමන්විත වේ.

ගුවන්තොටුපොළේ ඊටම ආවේණික සුවඳක් පවා තිබේ: එය මල් සහ කුළුබඩු සුවඳ යොදා විශේෂයෙන් ම සෑදූ, චංගි ගුවන්තොට පුරා විසුරුවන සුගන්ධයකි.

එමෙන් ම, පර්යන්ත අංක හතරෙන් පිටත, සැතපුමක් පුරා ප්‍රදේශයක පැතිරී තිබෙන සැබෑ ප්‍රමාණයේ ඩයිනසෝර් සතුන්ගේ ප්‍රදර්ශනයක් තිබේ.

පාසල් වේවා, නළුවන් වේවා ශ්‍රේණිගතකිරීම්වලින් උමතු වී සිටින රටක "චංගි" සුවිශේෂී අභිමානයක් ලෙස කැපී පෙනෙයි. ඉන්දියානු මාධ්‍යවේදියෙකු වරක් සිංගප්පූරු වැසියන් ඒ ගැන "අවිචාරවත් ලෙස ආඩම්බර" වන බව ට්වීට් කළ අතර, අනුමානකළ හැකි ආකාරයටම කෝපාවිෂ්ඨ ප්‍රතිචාර ලැබීය.

ගුවන්තරණ උපදේශන ආයතනයක් වන එන්ඩෝ ඇනලිස්ටික්ස් හි ෂූකෝර් යූසෆ්, සිංගප්පූරු බලධාරීන් ගුවන්තොටුපොළ ශ්‍රේණිගතකිරීම් "මහත් භක්තියකින්" ලුහුබඳින බව පවසයි. "ඒක, නිකන් ම පුරසාරම් කියවන්න අයිතියක් දෙනවා විතරක් නෙවෙයි, ගුවන්යානා සමාගම්වලට හොඳ ගමනාන්තයක් විදිහට ඔවුන්ගේ කීර්තිනාමය තහවුරු කරනවා."

වසංගතය අතරතුර දී එහි ඇතුළුවන කවුන්ටර සහ තීරුබදු රහිත වෙළඳසැල් භයානක නිහඬබවකට ගිය ද, ගුවන් ගමන් ක්ෂේත්‍රයට සිංගප්පූරු ඩොලර් බිලියනයකට වඩා නිකුත් කරමින්, චංගි නැවතත් සංචාරක මධ්‍යස්ථානයක් වනු ඇතැ යි එරට රජය තදින් විශ්වාස කළේ ය.

ගෝලීය වෙළඳ සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පූරුවේ ස්ථානය සහතික කිරීමට ගුවන් ගමන් කර්මාන්තය "ඉතා වැදගත් කාර්යයභාරයක්" ඉටු කරන බව සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා එකල පැවසුවේ ය.

සේවා චාරිකා කිහිපයක් සඳහා වසරකට සිව් වරක් සිංගප්පූරුව හරහා ගමන් ගන්නා සූරිච්හි පදිංචි ඇලෙක්ස් චං පවසන්නේ, "චංගි කියන්නේ ට්‍රාන්සිට් කරන්න හොඳ ම ගුවන්තොටුපොළ නෙවේ නම්, හොඳ ම ගුවන්තොටුපොළවලින් එකක්," බව යි.

චංගි "දැවැන්ත" වන නමුත්, ෆ්‍රෑන්ක්ෆර්ට් හෝ ඈම්ස්ට්‍රඩෑම් හි ශිපෝල් වැනි ගුවන් තොටුපළවලට වඩා හොඳ සැලසුම්සහගත බවක් හා කාර්යයක්ෂම බවක් එහි ඇතැ යි චං සලකයි. "මම සාමාන්‍යයෙන් හැටදෙනෙක්ගෙ විතර ලොකු කණ්ඩායමක් එක්ක යන්නේ, ඒත් තව ම එක ලැගේජ් එකක්වත් මෙහෙ දි මඟහැරිලා නෑ. ලෝකෙ පුරා ම තියෙන අනෙක් දැවැන්ත එයාපෝර්ට් හබ්වල දි ලේසියෙන් ම ෆ්ලයිට් එක මිස් වෙන්න පුළුවන්, නමුත් මේක කවදාවත් චංගිවල දී වෙන්නෙ නෑ."

භූමියේ දී සහ ගුවන් මුරපොළවල සංක්‍රමණ නිෂ්කාශනයට බාධා පැමිණ වූ මෑතකාලීන පැය කිහිපයක තාක්ෂණික දෝෂය තිබියේවා බහුතරයක් සංචාරකයන් ඔවුන්ගේ චාරිකා කාලයට බාධා ඇති වීමේ හැකියාව අඩු නිසා ට්‍රාන්සිට් සඳහා චංගි තෝරාගන්නා බව ශූකෝර් පැවසුවේ ය.

"ඕනෑ ම ගුවන්තොටුපොළකට වැය කරලා තියෙන කාලය, ශක්තිය සහ ආයෝජන ප්‍රමාණය දිහා බැලුවොත්, සිංගප්පූරුව තමයි වැඩියෙන් ම ඒ දේවල් කරලා තියෙන්නෙ," ඔහු පවසයි.

1990 ගණන්වල දී, සිංගප්පූරු රූපවාහිනියෙන් නැරඹීමට තිබූ එක ම දෙය රාජ්‍ය විකාශකයා විසින් නිෂ්පාදනය කළ නාට්‍ය මාලා වූ කල, චංගිහි සංකේතාත්මක මෙහෙයුම් කුළුණ නිතර ම නව නාට්‍ය මාලාවන්හි ආරම්භක දර්ශනයේ ප්‍රධානත්වය ගත්තේ ය.

මෙම දර්ශනයට, වසර ගණනක් පිටරට සිට පැමිණ චංගි වෙතින් ගොඩ බැස, දර්ශනීය ප්‍රදේශයක් හරහා කුලී රියකින් නිවෙසට පැමිණ, රට කොපමණ වෙනස් වී ඇත්දැ යි ඥාතීන් වෙත පුදුමය දක්වන චරිතයක් අඩංගු විය. ඇත්තෙන්ම එක ම එක පර්යන්තයක් සහ එක් ගුවන් පථයක් සහිතව චංගි විවෘත වූයේ 1981 දී ය.

එසේම එහි සිත්ඇදගන්නාසුළු බව නොනැසී පැවතිණි. 2019 දී, එහි විවෘත කර පළමු මාස හයේ දී ජුවෙල් වෙත අමුත්තන් මිලියන 50ක් පැමිණ තිබේ. පස්වන පර්යන්තයක වැඩ කටයුතු දැන් සිදුවෙමින් පවතින අතර, එහි 2030 මැදභාගයේ දී විවෘත කරනු ඇතැ යි බලාපොරොත්තු වේ.

නීතිඥයෙකු හා සමාජ විචාරකයෙකු වන ඒඩ්‍රියන් ටෑන් පවසන්නේ, "රටේ ජනතාව නිකන් ම ඇවිත් විනෝද වෙනවා කියලා කියන්න පුළුවන් වෙනත් එයාපෝට් එකක් ලෝකයේ ඇති කියලා මම හිතන්නෙ නෑ," කියා ය.

බොහෝ කලක් විදේශයක සිට පැමිණෙන ගමනකින් චංගි වෙත ගොඩබසින විට සිදු කරන "ජාතික සිරිතක්" ටෑන් උපහාසාත්මක ලෙස විස්තර කළේ ය: අනෙක් ගුවන්තොටුපොළවලට වඩා එය කොතරම් හොඳදැ යි පවසමින්, ඉතා ඉක්මනින් ආගමන කටයුතු අවසන් කර "නිවසට පිළිගනිමු" කියා ඇසෙන විට චකිතයෙන් සිනාසෙමින්, අනතුරුව 'චිකන් රයිස්' අනුභවය සඳහා පිටත පොළකට යෑම ය ඒ. "එතකොට ලෝකෙ අනෙක් රටවලට වඩා අපේ සූපශාස්ත්‍රය උසස් කියලා ආයේ තහවුරු කරන්න පුළුවන්."

"ඒ නිසයි චංගි විශිෂ්ට වෙන්නේ. සිංගප්පූරුව දක්ෂකම් දක්වන හැම දෙයක් ම ඒකෙන් නියෝජනය කරනවා: ඒ කියන්නේ, සිංගප්පූරු තාලයේ කාර්යයක්ෂමබව සහ ආචාරශීලීත්වය."