දකුණු කොරියාවේ ගංවතුර: ජලයෙන් යටවූ උමඟේ තිබී මළ සිරුරු 13ක් සොයා ගැනේ

ඡායාරූප මූලාශ්‍රය, YONHAP/EPA
- Author, කෙලී එන්ජී සහ ජීන් මැකෙන්සි
- Role, සිංගප්පූරුවේ සහ සෝල්හි සිට
දකුණු කොරියාවේ මධ්‍යම ප්‍රදේශයේ චියොන්ජු නගරයේ ගංවතුරින් යට වී ඇති උමං මාර්ගයක සිරවී සිටින මඟීන් මුදා ගැනීමේ මෙහෙයුමක නිරත ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මළ සිරුරු 13ක් සොයාගනු ලැබ තිබේ.
සෙනසුරාදා (ජූලි 15) රාත්‍රියේ, ගංගාවක බැම්මක් කැඩී යාමෙන් ගලා ආ ගං වතුරින් මෙම උමං මාර්ගය පිරී ගියේ, එහි ගමන් කරමින් සිටි මෝටර් රථවල සිටි ජනතාව සහ බස් රථයක ගමන් කරමින් සිටි මඟීන් ඒ තුළ සිර කරමිනි.
මීටර් 685ක් දිගින් යුතු මෙම උමඟ තුළ කොපමණ පිරිසක් සිර වී සිටිනවා ද යන්න නිලධාරීන් තවමත් අනාවරණය කර නොමැති නමුත් ඒ තුළ මෝටර් රථ 15ක් තිබුණු බව පැවසීය.
පසුගිය සතියේ තුළ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් එරට පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියාවේ ගංවතුර, නායයාම් සහ විදුලිය විසන්ධිවීම් ද සිදු වී ඇත.
සඳුදා (ජූලි 17) උදෑසන වන විට, සති අන්තයේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් පසු තවමත් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
උමඟ ගංවතුරට හසු වූ ඕසොං උපනගරයේ දී බස් රථයක් තුළ තිබී මළ සිරුරු කිහිපයක් සොයා ගෙන ඇත. දිවි ගලවාගත් නව දෙනෙකු සෙනසුරාදා මුදා ගෙන තිබේ.
විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් පවසන්නේ, ප්‍රාදේශීය බලධාරීන් විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වූයේ නම් මරණ වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ය.
මෙම ඛේදවාචකය සිදුවීමට පැය කිහිපයකට පෙර, ගංවතුර පාලන කාර්යාලයය විසින් අනතුරුදායක ජල මට්ටම් පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කළ බව ත්, එබැවින් උමං ප්‍රදේශය අවට ගමනාගමනය වෙනතකට යොමු කළ යුතුව තිබූ බව ත් ප්‍රාදේශීය මාධ්‍ය කිහිපයක් වාර්තා කළේ ය.
අනෙකුත් මරණවලින් වැඩි ගණනක් සිදු වී තිබුණේ නාය යාම්වලින් නිවාස මුළුමනින් ම විනාශ වී ගිය කඳුකර උතුරු ජ්‍යොංසං ප්‍රදේශයේ ය.
සෙනසුරාදා දකුණු කොරියාව පුරා මිලිමීටර් 300ක පමණ වර්ෂාවක් ඇද හැළුණු බව වාර්තා වෙයි.
කොරියානු කාලගුණ විද්‍යා සංගමයට අනුව, එරට සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර් 1,000 සිට මිලිමීටර් 1,800ක් දක්වා වර්ෂාපතනයක් අත්විඳින නමුත් එයින් වැඩි ප්‍රමාණයක් ගිම්හාන මාසවල දී සිදු වේ.
ගංවතුරින් විපතට පත් ප්‍රදේශ දුඹුරු පැහැති මඩ සහිත ස්වභාවයක් ඇති ඉතා ගැඹුරු ගංවතුරකට හසු වී ඇති ආකාරය ත් වහලවල මුදුන් පමණක් පිටතට පෙනෙන ආකරය ත් ගුවනින් ගත් ඡායාරූපවල දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
විවිධ පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ඉවත් වීමේ නියෝග හේතුවෙන් දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව ඇති අතර ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහය වන ලෙස අග්‍රාමාත්‍ය හන් ඩක්-සූ හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ප්‍රාදේශීය වේලාවෙන් සෙනසුරාදා අලුයම, උතුරු චංග්චියොංග්හි කුයිචන් වේල්ල පිටාර ගැලීමත් සමග ඒ අවට සිටින ප්‍රදේශවාසීන් 6,400ක් පමණ ඉවත් කර ඇති බව එම ආයතනය පවසයි.
වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන් ම ඒවා සම්බන්ධ කරන මාර්ග රැසක් ද ජලයෙන් යටවී තිබුණේ ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිර කරමිනි.
සිකුරාදා අගභාගයේ දී, නාය යාමක් හේතුවෙන් උතුරු චංග්චියොංග් ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබුණි. එක් රියැදුරෙකු තුවාල ලබා ඇතත්, එම අවස්ථාවේ දුම්රිය මඟීන් ප්‍රවාහනය කරමින් නොතිබිණි.
එරට ජාතික දුම්රිය සේවාව වන කොරේල් (Korail), සියලු ම මන්දගාමී දුම්රිය සහ ඇතැම් බුලට් දුම්රිය ධාවනය අත්හිටුවන බව නිවේදනය කර ඇති අතර අනෙකුත් බුලට් දුම්රිය සේවා ද අඩාල වන බව පැවසීය.
එළඹෙන සතියේ බදාදා දක්වා ඉහළ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කොරියානු කාලගුණ විද්‍යා පරිපාලන ආයතනය අනාවැකි පළ කරයි. එම කාලගුණික තත්ත්වය "බරපතල" විය හැකි බවට එම ආයතනය අනතුරු ඇඟවීය.
අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දෙසතිය තුළ ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක ද ගංවතුර සහ නාය යාම් ඇති විය.
ගංවතුර ඇතිවීමට බොහෝ සාධකයන් දායක වෙතත්, විද්‍යාඥයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් වායුගෝලය උණුසුම් වීම අධික වර්ෂාපතනයක් ඇති කිරීමට බොහෝ දුරට ඉඩ සලසන බව ය.
වායුගෝලය උණුසුම් වන තරමට, එයට ජල වාෂ්ප රඳවා ගැනීමට ඇති හැකියාව ඉහළ යන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ජල බිඳිති ප්‍රමාණයක් නිර්මාණය වී අධික වර්ෂාපතනයක් ඇති වීම සිදුවේ. ඇතැම් විට කෙටි කාලයකදී සහ කුඩා ප්‍රදේශයක් පුරා එය සිදු විය හැකි ය.
අතිරේක වාර්තාකරණය ක්‍රිස්ටි කූනි, යාරොස්ලාව් ලුකිව්, සහ යුනා කු විසිනි










