ඉරාක ආක්‍රමණය: වසර 20 කට පෙර එක්සත් ජනපදය සහ මිත්‍ර පාර්ශවීය රටවල් ඉරාකය ආක්‍රමණය කළේ ඇයි?

A US army officer rips down a poster of Saddam Hussein in Iraq in 2003

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2003 ඉරාක ආක්‍රමණය, ජනාධිපති සදාම් හුසේන් බලයෙන් පහ කළේය
    • Author, ජෙරමි හොවෙල් විසිනි
    • Role, බීබීසී පුවත්

එක්සත් ජනපදය සහ මිත්‍ර පාර්ශවීය හමුදා 2003 මාර්තු 20 වැනිදා, ඉරාකය ආක්‍රමණය කර සදාම් හුසේන්ගේ පාලනය පෙරලා දැමීය.

ඉරාකය සතුව සමූහ ඝාතක අවි ඇති බවත් එය ජාත්‍යන්තර සාමයට තර්ජනයක් බවත් එක්සත් ජනපදය ප්‍රකාශ කළ නමුත් බොහෝ රටවල් ඊට එරෙහි හමුදා ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

එක්සත් ජනපදයට ඉරාකය ආක්‍රමණය කිරීමට අවශ්‍ය වූයේ ඇයි?

1990-1991 ගල්ෆ් යුද්ධයේදී, එක්සත් ජනපදය විසින් බහුජාතික සන්ධානයකට නායකත්වය දුන් අතර එමඟින් ආක්‍රමණික ඉරාක හමුදාවලට කුවේටයෙන් පිටව යෑමට බල කෙරුණි.

අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරාකයට එහි සියලු මහා විනාශකාරී ආයුධ (WMDs) විනාශ කරන ලෙස නියෝග කරමින් 687 යෝජනාව සම්මත කළේය - මෙම යෙදුම න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක සහ රසායනික අවි සහ දිගු දුර බැලස්ටික් මිසයිල විස්තර කිරීමට භාවිතා කරන එකකි.

1998 දී ඉරාකය විසින් එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන් සමඟ සහයෝගීතාව දැක්වීම අත්හිටුවන ලද අතර එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ගුවන් ප්‍රහාර වලින් ඊට ප්‍රතිචාර දැක්වීය.

2001 සැප්තැම්බර් 11 වන දින නිව් යෝර්ක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වොෂින්ටනයේ පෙන්ටගනයට එල්ල කළ අල්-කයිඩා ප්‍රහාරයෙන් පසුව, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පරිපාලනය ඉරාකය ආක්‍රමණය කිරීමට සැලසුම් සකස් කිරීම ආරම්භ කළේය.

සදාම් දිගින් දිගටම සමූහ ඝාතක අවි (WMD) නිෂ්පාදනය හා තොග ගබඩා කර කරමින් සිටින බවත් ඉරාකය ඉරානය සහ උතුරු කොරියාව යන දුෂ්ට ඒකාධිපති සන්ධානය සමග එක්ව ජාත්‍යන්තර "දුෂ්ට අක්ෂයක" කොටසක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති බුෂ් කියා සිටියේය.

2002 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් ඉරාකයට එරෙහිව හමුදා බලය යෙදවීමට අවසර ලබා දෙන ලදි.

"ඉරාකය සතුව සමූල ඝාතක අවි ඇති බවට සැලකිය යුතු සාක්ෂි ඇති බවත්, එය සැබෑ තර්ජනයක් බවත් වොෂින්ටනයේ බොහෝ දෙනා විශ්වාස කළා" යනුවෙන් විදේශ කටයුතු පිළිබඳ ලන්ඩනයේ සිටින චින්තකයෙකු වන චැතම් හවුස් හි එක්සත් ජනපද සහ ඇමෙරිකා වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ලි වින්ජමුරි පවසයි.

එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවෙල්, ඉරාකයට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ගයක් සඳහා අවසර දෙන ලෙස 2003 පෙබරවාරි මාසයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ, ඉරාකයට චෝදනා එල්ල වන සමූහ ඝාතක අවි (WMD) වැඩසටහන, පෙර එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කරන බව පවසමිනි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔහු නිශ්චිතව සභාව ඒත්තු ගැන්වූයේ නොමැත.

බොහෝ සාමාජිකයින්ට අවශ්‍ය වූයේ 2002 දී ඉරාකයට ගොස් සිටි එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර බලශක්ති අධිකාරියේ අවි පරීක්ෂකවරුන් සමූහ ඝාතක අවි පිළිබඳ (WMDs) සාක්ෂි සොයා ගැනීම සඳහා වැඩි කාර්යභාරයක නිරත වීමය.

අවි පරීක්ෂකවරුන් වාර්තා කරන තෙක් බලා නොසිටින බව පැවසූ එක්සත් ජනපදය ඉරාකයට එරෙහිව නැඟී සිටීමට "කැමති රටවල සන්ධානයක්" ගොඩනඟනු ලැබීය.

යුද්ධයට සහාය දුන්නේ කවුද?

එක්සත් රාජධානිය විසින් භටයින් 45,000 ක් ද, ඕස්ට්‍රේලියාව විසින් භටයින් 2,000 ක් ද, පෝලන්තය විසින් විශේෂ බලකා සාමාජිකයින් 194 දෙනෙකු ද යවන ලදී.

තම භූමියේ සිට ආක්‍රමණය ආරම්භ කිරීමට කුවේටය ඉඩ දුන්නේය.

ස්පාඤ්ඤය සහ ඉතාලිය "විල්නියස් ගෲප්" හි නැගෙනහිර යුරෝපීය ජාතීන් කිහිපයක් සමග එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා දුන්හ. ඉරාකයට සමූහ ඝාතක අවි (WMD) වැඩසටහනක් ඇති බවත් ඉරාකය එක්සත් ජාතීන්ගේ යෝජනා කඩ කරන බවත් ඔවුහූ විශ්වාස කළහ.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉරාකයට එරෙහිව එල්ල කළ චෝදනා මොනවාද?

2003 වසරේ දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවෙල් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පැවසුවේ ඉරාකයේ ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය සඳහා "ජංගම විද්‍යාගාර" ඇති බව ය.

කෙසේ වෙතත්, මේ සඳහා තදබල සාක්ෂි "පෙනෙන්න නැහැ " යනුවෙන් 2004 වසරේදී ඔහු විසින් පිළිගනු ලැබීය.

US Secretary of State Colin Powell addresses the UN in 2003, holding a vial of Anthrax which he claimed Iraq was producing.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවෙල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවසුවේ ඉරාකය මහා විනාශකාරී ආයුධ නිෂ්පාදනය කරන බවයි.

නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ එක්සත් රාජධානියේ ඉලක්ක වෙත පහර දීම සඳහා ඉරාක මිසයිල විනාඩි 45ක් ඇතුළත සූදානම් කළ හැකි බව එක්සත් රාජධානියේ රජය බුද්ධි තොරතුරු ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කළේය.

එක්සත් රාජධානියේ එවකට අගමැති ටෝනි බ්ලෙයාර් පැවසුවේ සදාම් හුසේන් දිගින් දිගටම සමූහ ඝාතක අවි (WMD) නිෂ්පාදනය කිරීම "සැකයෙන් ඔබ්බට" ඇති බවය.

ඉරාකයේ සමූල ඝාතක අවි වැඩසටහන පිළිබඳව තමන් ප්‍රථමයෙන් දැන සිටි බවට ඉරාකයෙන් පලා ගිය පුද්ගලයන් දෙදෙනෙකු වන රෆීඩ් අහමඩ් අල්වාන් අල්-ජනාබි නම් රසායනික ඉංජිනේරුවරයා සහ මේජ් මුහම්මද් හරිත් නම් බුද්ධි නිලධාරියාගේ ප්‍රකාශ පිළිබඳ දෙරට දැඩි ලෙස විශ්වාසය තැබූහ.

පසුව දෙදෙනාම කියා සිටියේ තමන්ට මිත්‍ර පාක්ෂික රටවල් ඉරාකය ආක්‍රමණය කර සදාම්ව නෙරපා හැරීමට අවශ්‍ය වූ නිසා තම සාක්ෂි ගොතන ලද බවය.

යුද්ධයට සහාය දීම ප්‍රතික්ෂේප කළේ කවුද?

එක්සත් ජනපදයේ අසල්වැසි රටවල් දෙක වන කැනඩාව සහ මෙක්සිකෝව ඉරාක ආක්‍රමණයට සහාය දීම ප්‍රතික්ෂේප කළහ.

යුරෝපයේ එක්සත් ජනපද මිත්‍ර රටවල් දෙකක් වන ජර්මනිය සහ ප්‍රංශය ද ඊට සහාය ලබා දීම ප්‍රතික්ෂේප කළහ.

MAP 1

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport

ප්‍රංශ විදේශ ඇමති ඩොමිනික් ද විලෙපින් පැවසුවේ මිලිටරි මැදිහත්වීම "හැකි නරකම විසඳුම" වනු ඇති බවයි.

නේටෝ සාමාජිකයෙක් සහ ඉරාකයේ අසල්වැසියෙක් වන තුර්කිය - එක්සත් ජනපදයට සහ මිත්‍ර පාර්ශවීය රටවලට තම ගුවන් කඳවුරු භාවිතා කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය.

1990-91 ගල්ෆ් යුද්ධයේදී ඉරාකයට එරෙහිව එක්සත් ජනපදයට සහාය දුන් සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් 2003 දී ඉරාක ආක්‍රමණයට සහාය දුන්නේ නැත.

map 2

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මැද පෙරදිග දේශපාලනය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ගිල්බට් ආකර් පැවසුවේ "ගල්ෆ් අරාබි රාජ්‍යයන් සිතුවේ මේ සැලැස්ම පිස්සුවක් කියලා"

"සදාම්ගේ පාලනය බිඳවැටීමෙන් පස්සේ ඉරානය ඉරාකය පාලනය කරයි කියලා ඔවුන් කනස්සල්ලෙන් හිටියේ."

යුද්ධයේදී සිදු වූයේ කුමක්ද?

2003 මාර්තු 20 වන දින එළිය වැටෙන විට, 'ඉරාක නිදහසේ මෙහෙයුම' ආරම්භ වූයේ 295,000 වන එක්සත් ජනපද සහ මිත්‍ර හමුදා කුවේට් දේශ සීමාව හරහා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් ය.

කුර්දි පෙෂ්මර්ගා කැරලිකාර සංවිධානයේ සාමාජිකයින් 70,000 ක් ඉරාක හමුදාවන්ට එරෙහිව උතුරු ඉරාකයේ සටන් කළහ.මැයි මාසය වන විට ඉරාකයේ හමුදාව පරාජයට පත් විය.

සාදාම් හුසේන්ගේ පාලනය පෙරලා දැමීමෙන් පසු ඔහු අල්ලා, නඩු විභාග කර මරා දමන දැමුවේය.කෙසේ වෙතත්, ඉරාකයෙන් සමූල ඝාතක අවි කිසිවක් හමු නොවීය.

2004 දී නිකායික කැරැල්ලක් රටපුරා ව්‍යාප්ත විය. පසු වසරවලදී ඉරාකයේ සුන්නි සහ ෂියා නිකායික මුස්ලිම් කොටස් අතර සිවිල් යුද්ධයක් ඇති විය.එක්සත් ජනපද හමුදා ඉරාකයෙන් ඉවත් වූයේ 2011 වර්ෂයේදී ය.

යුද්ධයට සම්බන්ධ හේතූ නිසා 2003 සහ 2011 වර්ෂ අතර දී ඉරාකයේ 461,000 මිනිසුන් මිය ගිය බවටත් යුද්ධය සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3 ක් වැය වූ බවත් ගණන් බලා ඇත.

"මේ යුද්ධයෙන් ඇමෙරිකාව විශාල වශයෙන් තමන් කෙරෙහි තිබ්බ විශ්වාසය අහිමි කරගත්තා" රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ලන්ඩනයේ විද්වතෙකු වන ආචාර්ය කරින් වොන් හිපල් පවසයි.

"අවුරුදු විස්සක් ගිහිල්ලත් අපි ඇමෙරිකානු බුද්ධි අංශ විශ්වාස කරන්න ඕනි ඇයි? කියලා මිනිස්සු අහනවා තවමත් ඔබට ඇහෙනවා"