ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නේපාල ගුවන් අනතුර: මියගිය සහාය නියමුවරියගේ සැමියාත් මීට 16 වසරකට පෙර ගුවන් අනතුරකින් මියගිය බව හෙළිවේ
- Author, රාජිණී වෛද්‍යනාදන් පොඛාරා සිට
- Role, බීබීසී පුවත්
නේපාලයේදී පසුගිය ඉරිදා අවාසනාවන්ත ලෙස අනතුරට පත් ගුවන් යානයේ සහායක නියමුවරියගේ සැමියාද මීට වසර 16 කට පෙර ගුවන් අනතුරකින් ඇයට අහිමි වූ බව මේ වනවිට හෙළි වී තිබේ.
යෙටි ගුවන් සමාගමට අයත් 691 ගුවන් යානයේ සහායක නියමුවෙකු ලෙස අන්ජු ඛතිවාඩා සේවය කරමින් සිටියදී සංචාරක නගරයක් වන පොඛාරා අසල දුර්ග මාවතකට කඩා වැටුනු අතර එය එරට වසර 30කට පසු ඇති වූ දරුණුතම ගුවන් ව්‍යසනයක් ලෙස සනිටුහන් කරමින් යානයේ ගමන්ගත් සියල්ලන් මරුමුවට පත් විය.
ඇයගේ සැමියා වන දීපක් පොක්‍රෙල් ද මිය යන විට යෙටි ගුවන් සමාගමේ (Yeti Airlines) සහාය නියමුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහුගේ මරණය අංජුට එම ගුවන් සේවයේම තම වෘත්තිය ආරම්භ කිරීමට පෙලඹවීය.
අංජු තම ස්වාමියාගේ අහිමි වීමත් සමඟ කලකිරී, ඔවුන්ගේ කුඩා දරුවා සමඟ තනිව සිටියදී, ඇයගේ ශෝකය ඇයව පෙලඹවීමේ ශක්තියක් බවට පත් විය.
"එයා එයාගේ හීනය වෙනුවෙන් පෙනී හිටපු තමන්ගේ සැමියාගේ හීනය හැබෑ කරපු අධිෂ්ඨානශීලී කාන්තාවක්" යැයි පවුලේ සාමාජිකයකු වූ සන්තෝෂ් ෂර්මා පැවසීය.
2006 වසරේ ජූනි මාසයේදී බටහිර ජුම්ලා නගරයට බත් සහ ආහාර රැගෙන යමින් තිබූ 'ට්වින් ඔටර් ප්‍රොප් යානය' කඩා වැටී ගිනිගෙන පුපුරා ගොස් එහි සිටි පුද්ගලයින් 9 දෙනාම මිය ගිය අතර එහි නියමු කුටියේ දීපක් ද විය.
වසර හතරකට පසු බොහෝ බාධක ජයගෙන අංජු ගුවන් නියමුවරියක වීමේ තම සිහිනය සැබෑකරගැනීමට එක්සත් ජනපදයේ පුහුණුව ඇරඹීය. තම සුදුසුකම් ලැබීමෙන් පසු ඇයද යෙටි ගුවන් සේවය හා සම්බන්ධ වූවාය.
පැය 6,400 කට ආසන්න කාලයක් පියාසර කර ඇති පුරෝගාමී චරිතයක් වූ අංජු ගුවන් සමාගම විසින් ගුවන් නියමුවන් ලෙස සේවයේ යොදවා ඇති කාන්තාවන් හය දෙනාගෙන් කෙනෙකි.
"එයා ගුවන් සේවයේ තනිව ගුවන් යානා පැදවූ පූර්ණ කපිතාන්වරියක්" යැයි යෙටී ගුවන් සේවයෙහි සුදර්ශන් බර්ටූලා පැවසීය."එයා නිර්භීත කාන්තාවක්."
අංජු සිය වෘත්තීය ජීවිතය ගොඩනඟා ගත් බැවින් පසුව නැවත විවාහ වූ අතර ඇය දෙවන දරුවාද ලැබුවාය. මිතුරන් සහ පවුලේ අය පවසන්නේ ඇය ඇගේ රැකියාවට මහත් සේ ඇළුම් කළ බවයි.
පොඛාරාහි යානය කඩාවැටුණු ස්ථානයේ, අංජු සහාය නියමුවකුව සිටි ගුවන් යානයේ කොටස්, කැඩුණු සෙල්ලම් බඩු කැබලි මෙන්, සෙත් නදියේ ඉවුරේ විසිරී තිබුණි.
ගුවන් යානයේ කුඩා කොටසක් ගිරි දුර්ගයක් මත රැඳී ඇති අතර, යානාවේ ජනෙල නොකැඩි, යෙටී ගුවන්සේවයෙහි කොළ සහ කහ පැහැය තවමත් දක්නට ලැබේ.
මෑත දශක කිහිපය තුළ ගුවන් අනතුරුවලින් සිය ගණනක් මිය ගිය හිමාලයානු රාජ්‍යයේ ගුවන් සේවාවන් හි ආරක්ෂාව පිළිබඳ සංවාදය මෙම සතියේ ඛේදවාචකයත් සමඟ යළි ඇරඹි ඇත.
නේපාලයේ වසර ගණනාවක් පුරා පැවතෙන දුර්වල ගුවන් සේවා ආරක්ෂණ වාර්තාවන් සඳහා සාධක ගණනාවක් හේතුවී ඇති බවට දෝෂාරෝපණය එල්ල වී තිබේ.
කඳුකර ගමන්මාර්ගය සහ බොහෝ විට අනපේක්ෂිත කාලගුණය යානය හැසිරවීමට දුෂ්කර විය හැකිබවට බොහෝ විට හේතු ලෙස දක්වා ඇත. නමුත් තවත් අය පෙන්වා දෙන්නේ යල් පැන ගිය ගුවන් යානා, ලිහිල් රෙගුලාසි සහ දුර්වල අධීක්ෂණය එයට සමාන වැදගත් සාධක බවයි.
ඉරිදා කඩා වැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.
මියගිය අයගේ පවුල්වල අය පොඛාරා හි රෝහලෙන් පිටත ඔවුන්ගේ ඥාතීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වූ පසු දේහයන් නිදහස් කරන තෙක් බලා සිටියහ.
මේ අධික සීතල ජනවාරියේ, බිම්සෙන් බෑන් පැවසුවේ තම මිතුරිය වන නීරාගේ දේහය ඉක්මනින් ඇගේ ගමට ආපසු ගෙන යාමටත් ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.
21 හැවිරිදි නීරා චන්ටියාල් බොහෝ විට යෙටී ගුවන් සේවයේ පියාසර කළ ගායිකාවකි. අඩු වියදම් ගුවන් ගමන් රටේ මධ්‍යම පාන්තිකයින්ට එම කඳුකර රාජ්‍යය හරහා ගමන් බිමන් යෑම සඳහා දැරිය හැකි සහ ජනප්‍රියම මාර්ගයක් බවට පත්ව ඇත.
කත්මණ්ඩු නුවර පදිංචියට ගොස් ඇති නීරා පොඛාරා හි පැවති සංගීත උළෙලකට සහභාගී වීමට යමින් සිටියදී මෙම ගුවන් අනතුරට මුහුණ දී ඇත.
"ජන ගී ගායනා කිරීමට පුරුදුවෙලා හිටපු එයා ඉතා දක්ෂ කලාකාරිනියක්. එයා ගොඩක් වෙලාවට හිටිවන කවි ගායනා කළා," බිම්සේන් පැවසුවේ හැඬීමෙන් රතු වූ දෑස් දල්වාගෙනය.
"මට වෙච්ච පාඩුව කියන්න වචන නෑ."
අතිරේක වාර්තාකරණය : රයිනිෂ් බන්ධාරි, ඇන්ඩෲ ක්ලැරන්ස්.