Netflix:මිලියනයකට ආසන්න පාරිභෝගික අහිමි වීමක;Stranger Things අහිමිවෙන නරඹන්නන් බැඳ තබාගන්නට සමත් වුනාද ?

ස්ට්‍රීමිං ලොව කිරුළු පැළඳ සිටින Netflix දැන් පාරිභෝගිකයන් තමා වෙත රඳවා තබාගැනීමේ දැඩි සටනකට මුහුණ දී සිටියි.

වැඩි වැඩියෙන් පාරිභෝගිකයන් ඉන් ඉවත්වීමට තීරණය කිරීම නිසා අප්‍රේල් සහ ජූලි අතර කාලයේ දී මිලියනයකට ආසන්න සබ්ස්ක්‍රයිබර් පිරිසක් ඊට අහිමිවිය.

මේ, එලෙස ඔවුන්ට පාරිභෝගිකයන් අහිමි වූ අඛණ්ඩ දෙවන කාර්තුව වන නමුත්, එය ඔවුන් බලාපොරොත්තුවූවාට වඩා අඩු අගයක් විය.

පාරිභෝගිකයින් ඉවත්වීමේ වේගය පහත වැටීමට හේතුව ලෙස ආයතන ප්‍රධානී රීඩ් හේස්ටිංස් පැවසුවේ, "ඒකට එක හේතුවක් තියෙනවා නම්, ඒ Stranger Things නිසා" බව යි.

එම ජනප්‍රිය ටෙලිකතාවේ නවතම කතාමාලාව ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති අතර, Netflix පාරිභෝගිකයින්ගේ නික්මයාම නැවැත්වීමට පාදක වන්නට ද ඇත.

සමාගම 2011න් පසු වාර්තා වූ පළමු පාරිභෝගික පහත වැටීම අප්‍රේල් මාසයේ දී වාර්තා කළේ ය. එය සිදුවූයේ සමාගම සියගණනක් සේවකයින්ගේ රැකියා කප්පාදු කිරීමෙන් හා සමාගමේ කොටස් මිලෙහි තියුණු පහත වැටීමක් වාර්තාවීමෙන් පසුව ය.

මිල ඉහළයාම් ද සමඟ ප්‍රතිවාදී සේවාවන් ද ඔවුන් හා කරට කර තරග කරමින් සිටියි.

සමාගම ජුලි 19 දා වාර්තා කරන ලද පාරිභෝගික බිඳවැටීම සමාගම් ඉතිහාසයෙන් වාර්තා වූ ඉහළම අගය වූ අතර, පසුගිය මාස තුන තුළ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වැඩිම බැහැරවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. යුරෝපය තෙවැනි වැඩිම පාරිභෝගික බිඳවැටීම වාර්තා කළේ ය.

ඇම්පියර් ඇනෑලිසිස්හි විධායක අධ්‍යක්ෂ ගායි බිසන් පැවසුවේ වෙළඳපොළ තුළ Netflix බිඳවැටීම "නොවැළැක්විය හැකි" දෙයක් බව යි.

"තමන් [වෙළඳපොළේ] පුරෝගාමියෙක් නම් තමන්ට යන්න තියෙන්නේ එක දිශාවකටම විතර යි. විශේෂයෙන් ලොකු තරගයක් තියෙද්දී එහෙම යි. Netflix එකට මේ ගෙවුණු අවුරුදු වල වුණේ එක," ඔහු පැවසීය.

ලොව පුරා ජනතාවට විනෝදාස්වාදය පිළිබඳ නව මාවතක් හෙළිපෙහෙළි කළ Netflix ආයතනය වසර ගණනාවක් තිස්සේ නොනවතින වර්ධනයක් භුක්ති වින්දේ ය.

2020 දී වසංගතය සමග එය තවදුරටත් ජනතාවට ළංවූ අතර, විනෝදාස්වාදය සඳහා ස්වල්ප ක්‍රියාකාරකම් පමණක් සහිතව නිවසේ සිරවී සිටි ජනතාව ස්ක්විඩ් ගේම් සහ ද ක්‍රවුන් වැනි කතා මාලාවන් වටා රොක්වූහ.

නමුත් වසංගතය පහව යත්ම Netflix වෙත ලැබුණු නව ලියාපදිංචිකිරීම් සංඛ්‍යාව අඩු වූ අතර දැනට සිටින පාරිභෝගිකයන් රඳවා තබාගැනීම ද අපහසුවිය. විශේෂයෙන් ඉහළ යන ජීවන වියදම සමඟ ඉන් ඉවත්වීමට ජනතාව ගත් තීරණ ද ඊට හේතුවිය.

Apple TV, HBO Max, Amazon Prime සහ Disney+ වැනි සමාගම්වලින් ද ඔවුනට දැඩි තරගයක් ඇතිවිය. Netflix කලක් එකම සේවා සම්පාදකයා වශයෙන් වීඩියෝ කුලියට දෙන බ්ලොක්බස්ටර් වැනි වෙළඳසැල් බංකොළොත් කළ නමුත් දැන් ඔවුන් ද බංකොළොත් වෙමින් සිටියි.

Netflix සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට ගත් පියවර ඇතැම් පාරිභෝගිකයින්ගේ නික්ම යාමට හේතුවිය.

මිල වැඩි කිරීම 'අවදානම්'

එකම නිවසේ සිටින පුද්ගලයින්ට එකවර උපාංග දෙකකින් නෙට්ෆ්ලික්ස් නැරඹීමට ඉඩ සලසන මූලික පැකේජය එක්සත් ජනපදය සඳහා දැන් ඩොලර් 15.49ක් වී තිබේ. ජනවාරි මාසයේ දී එය ඩොලර් 14ක් පමණක් වූ අතර 2019 දී පැවතියේ ඩොලර් 11ක් ලෙස ය.

එක්සත් රාජධානියේ මූලික සහ දෙවන පැකේජ දෙකම ජනවාරි මාසයේ සිට මසකට යූරෝ 1ක් බැගින් යූරෝ 6.99 සහ යූරෝ 10.99 දක්වා ඉහළගොස් තිබේ.

"යම් අවස්ථාවක සැලකිය යුතු පාරිභෝගික පිරිසක් 'දැන් ඇති' කියන සීමාවට ළඟා වෙනවා," බිසන් පැවසීය. "මිල වැඩි කරන එක අවදානම් සැලසුමක්."

දැනට, සමීක්ෂණවලින් පෙනී යන්නේ Netflix එහි ප්‍රතිවාදීන්ට සාපේක්ෂව තමන්ගෙන් ඉවත්වගිය පාරිභෝගිකයන් විශාල කොටසක් ආපසු ලබාගැනීමට සමත්ව ඇති බව යි. බොහෝ නිවෙස් එය එකම විකල්පය ලෙස දකිනා බැවින් ඇතැම් පාරිභෝගිකයින් රැඳී සිටීමේ ප්‍රවණතාවක් ඇති වේ.

සමස්තයක් ලෙස ගත්කල, ජුනි මස අවසානයේ දී සමාගමට දළ වශයෙන් පාරිභෝගිකයන් මිලියන 220ක් සිටි අතර එය හොඳ තරගකාරී මට්ටමකි.

එහෙත්, දිගුකලක් තිස්සේ ක්‍රමානුකූල වර්ධනයක් දැක්වූ සමාගම දැන් බරපතල මන්දගාමීබවකට මුහුණ දෙමින් සිටියි. අප්‍රේල්-ජූනි කාර්තුවේ එහි ආදායම ඩොලර් බිලියන 7.9ක් විය. ඒ, 8.6%ක වාර්ෂික වර්ධනයක් පමණි.

ආයෝජක අපේක්ෂාවන් බිඳවැටීම නිසා සමාගමේ කොටස් මිල ද 60%කට වඩා පහත වැටී තිබේ.

"Netflixහි පාරිභෝගිකයන් අඩුවෙන එක අපේක්ෂා කරන්න පුළුවන් වුණත් මාසික දායකත්ව මුදලක් මත සම්පූර්ණයෙන් යැපෙන සමාගමක් විදියට ඒක දැඩි පහරක් වෙන්න පුළුවන්," Insider Intelligenceහි විශ්ලේෂක රොස් බෙනස් පවසයි.

"Netflix තවමත් වීඩියෝ සේවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටියත් නිසි ක්‍රමවේදයක් සොයාගත්තේ නැත්නම් ඔවුන්ගේ තරගකරුවන්ටත් වඩා පහළට වැටෙන්න පුළුවන්."

පසුකාලීනව කොටස් මිල 7%කට වඩා වැඩිවීම නිසා, ඔවුන් ලද පාඩුව එතරම් විශාල එකක් බවට පත්නොවීය. කෙසේ වෙතත් ඔවුන්ට පාරිභෝගිකයන් මිලියන 2ක් පමණ අහිමිවිය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබී තිබුණි.

Netflix ආයතනය පවසන්නේ ඔවුන් වෙළඳ දැන්වීම් සහිත නව සේවා පැකේජ හඳුන්වා දෙන බවයි. එසේම, එක්තරා අධ්‍යයනයකට අනුව, ගිණුම් හුවමාරු කරගන්නා පාරිභෝගිකයන් නිසා වසරකට ඩොලර් බිලියන හයක අලාභ සිදුවන බව අනාවරණය වී තිබුණි. මෙය ද වැළැක්වීමට කටයුතු කරන බව Netflix කියයි.

මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සමහර රටවල ගිණුම් බෙදාගැනීම් සඳහා දැනටමත් වැඩි මුදලක් අය කෙරේ. මෙම ආකෘතිය ලොව පුරා අනුගමනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත්, සමාගම වසර ගණනාවක් තිස්සේ ගිණුම් බෙදාගැනීමේ ගැටළු පිළිබඳව අවබෝධයෙන් පසුවන අතර, මෙතෙක් ඊට විසඳුමක් සොයාගැනීමට අපොහොසත් වී ඇත.

සමාගම තම කොටස් හිමියන් වෙත පැවසුවේ, "කලින්ම දැනගෙන ක්‍රියාත්මක වුණු නිසා ලතින් ඇමරිකාවේ ගිණුම් බෙදාගන්නා පාරිභෝගිකයින්ගෙන් ඒ සඳහා අය කළ හැකි වූ" බව යි.

2023 මුල්භාගයේ දී "වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා බොහෝ මුදලක් ගෙවීමට පෙළඹෙන වෙළඳපොළවල" දැන්වීම් සහිත නව අඩු මිල පැකේජ හඳුන්වා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළේ ය.

"අනිත් වැඩසටහන් වගේම අපිට ඕන ඉක්මනින් එය ක්‍රියාත්මක කරලා පාරිභෝගික අදහස් අනුව වේගයෙන් ක්‍රියාත්මක වෙන එක," සමාගම පවසයි.

අඩු මිල වෙළඳ දැන්වීම් පැකේජය නිසා මිල ඉහළ දැමීම් නිසා සේවාව අතහරින්නන් රඳවා ගත හැකි බවත්, වැඩි මිල නිසා සබඳතාවක් මිලට නොගෙන සිටින්නන් ආකර්ෂණය කරගත හැකි බවත් බිසන් කියයි.

මෙමඟින්, Netflix වෙත පෙර ලාභයම හෝ ඊටත් වඩා උපයා ගන්නට හැකි වනු ඇති බව ඔහුගේ අදහස යි.

වඩාත් හොඳ අන්තර්ගතයන්

"වැඩේ හරියට කළොත්, ඒ කිව්වේ මිල පහත දැම්මොත් සහ හරියට ප්‍රචාරණය කළොත් ඒක එයාලට ලොකු වාසියක් වේවි," ඔහු කියයි.

නමුත් ඔහු පැවසුවේ Netflix ගතයුතු තීරණාත්මක පියවර වන්නේ සිත්ගන්නාසුළු නැරඹුම් ද්‍රව්‍ය ඇතැ යි සහතිකවීම බව යි. පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවීමට ගන්නා උත්සාහයේ දී එය වඩාත් දුෂ්කර වී තිබේ.

උදාහරණයක් ලෙස, දැන් දැන් එක්සත් ජනපදයේ නව ලියාපදිංචිකිරීම් වැඩි ගණනක සිටින්නේ වැඩිහිටි පිරිසකි. ඔවුන් තරුණයන් ප්‍රියකරන ටෙලිකතාවලට රුචියක් නොදක්වයි.

"ඔවුන් වැඩි වැඩියෙන් තරග කරන්නේ පොදු ප්‍රේක්ෂකයින් සනසන්න යි. මේ නිසා අඩංගු වන අන්තර්ගතයන්හි විවිධත්වය වැඩි වෙනවා. 'දැන් [නෙට්ෆ්ලික්ස්] එකේ මම අකමැති දේවල් ගොඩක් තියෙනවා' කියලා මිනිසුන් කියන්නේ ඒ නිසා යි," බිසන් පැවසීය. "ඒක ලොකු අභියෝගයක්."

විප් මීඩියාහි එරික් ස්ටයින්බර්ග් පවසන්නේ නිතර ප්‍රසිද්ධ වන නැරඹුම් ද්‍රව්‍ය Netflixට අවශ්‍ය බව යි. එමඟින්, හැරයන්නන් නවතාගත හැකි ආකාර අත්හදා බැලීමට අවස්ථාවන් පවතින බව ඔහු කියා සිටියි.

මේ වසරේ Stranger Thingsහි සිව්වන කතා මාලාව කොටස් දෙකකින් නිකුත් කරමින් සමාගම දැනටමත් එවන් නිසි පියවර ගෙන ඇති නමුත් "ලොකු අභියෝගයක් තිබෙනවා" ඔහු පවසයි.

"එයාලට තවත් පහළට වැටෙන්න ඕන නැහැ," ඔහු කියයි. "අපි දැන් ඉන්නවා වගේ වේගයෙන් මිල ඉහළ යන පසුබිමක ඉන්න ගමන්, [තරගකරුවන් අතින්] හොඳ සැලසුම් එහෙමත් එළියට එද්දී, මිනිස්සු හිතන්න ගන්නවා තමන් කොච්චර මුදලක් ගෙවීමට සූදානම් ද කියන එක."