ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සාමාන්‍ය දුරකථන ආරෝපණ කේබලය සඳහා යුරෝපා සංගමය දින නියම කරයි
ගැලපෙන චාජරයක් මිළදී ගැනීම සඳහා කේබල කීපයක කනෙක්ටරය පරීක්ෂා කිරීමට සිදුවීමේ අවසන් දිනය ළඟදීම උදාවනු ඇත.
අතේ ගෙන යා හැකි සියලුම ඉලෙක්ට්‍රෝනික උපාංග 2024 අවසන් කාර්තුව වන විට තනි USB Type-C ආකාරයේ කේබල් භාවිතා කළ යුතු බවට යුරෝපා සංගමය තාවකාලිකව එකඟ වී ඇත.
එක්සත් රාජධානිය ද එවැනිම නීති සම්මත කිරීමට අදහස් කරන්නේදැ යි BBC ප්‍රවෘත්ති සේවය එරට රජයෙන් විමසීය.
නමුත් වත්මන් පශ්චාත්-බ්‍රෙක්සිට් විධිවිධාන යටතේ, යුරෝපා සංගමයේ තීන්දුව උතුරු අයර්ලන්තයට අදාළ වන බව යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ නිලධාරීන් පවසයි.
2021 දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තු වාර්තාවකට අනුව, "බ්‍රෙක්සිට් ගිවිසුමේ උතුරු අයර්ලන්ත ප්‍රොටෝකෝලයේ නියමයන් යටතේ, උතුරු අයර්ලන්තයේ අලෙවි කරන උපාංග සඳහා ද නව නියාමනයන් අදාළ විය හැකි අතර, එය එක්සත් රාජධානියේ අනෙකුත් ප්‍රදේශවලට බලපවත්නා සම්මත උපාංග ප්‍රමිතීන්වෙතින් [උතුරු අයර්ලන්තය] අපසාරණය වීමට හේතුවනු ඇත."
මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ වෙළඳපොළ තුළම පවතින්නේයැ යි සලකමිනි. බ්‍රිතාන්‍යය එයින් පිටත පවතියි.
උතුරු අයර්ලන්ත ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර ඇති වූ ගැටුම නොවිසඳී පවතියි.
'නවෝත්පාදනය අඩාල වෙනවා'
අයිෆෝන් සහ අයිපෑඩ් වැනි ඇපල් නිෂ්පාදනයන්ට නව රෙගුලාසියට අනුකූලවීමට සිදුවන අතර, පසුකාලීනව ලැප්ටොප් පරිගණක ද ඊට එක් කෙරෙනු ඇත. දැනට පවතින උපාංග මෙම නීතියෙන් නිදහස් කෙරේ.
ගිම්හාන නිවාඩුවෙන් පසු මෙම ගිවිසුම යුරෝපීය පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති අතර, එහිදී එය විධිමත් ලෙස අනුමත කර ප්‍රකාශයට පත් කරනු ඇත.
ඇපල් සමාගම BBC වෙත පැවසුවේ මේ සම්බන්ධයෙන් නව මතයක් ඔවුන් වෙත නැති බව යි.
මන්ද, 2021 සැප්තැම්බරයේ දී මෙම ගිවිසුම ප්‍රථම වරට හඳුන්වාදුන් විට ඇපල් සමාගම ඊට එරෙහි විය. එම අවස්ථාවේ ප්‍රකාශකයෙකු BBCය වෙත මෙසේ පැවසීය: "තනි කේබලයක් පමණක් අනුමත කරන එකෙන් නවෝත්පාදනය දිරිමත් කරනවා නෙවෙයි, අඩාල කරනවා. ඒකෙන් යුරෝපයේ වගේම මුළු ලෝකයේම පාරිභෝගිකයන්ට වෙන්නේ හානියක්."
තමා නිපදවන ඇතැම් උපාංගවලට විශේෂ ආකාරයේ ආරෝපණ පෝට් භාවිතා කරන විශාලතම නිෂ්පාදකයා ඇපල් සමාගම යි. ඔවුන්ගේ අයිෆෝන් ශ්‍රේණිය ඇපල් සමාගමටම සුවිශේෂී වූ 'ලයිට්නිං කනෙක්ටර්' නම් සම්බන්ධකය භාවිතා කරයි.
යුරෝපා සංගමයට අනුව, නව රීතිය "කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ" රැසක් ආවරණය කරනු ඇත. ඊට පහත දෑ අයත් වේ:
- ජංගම දුරකථන
- ටැබ්ලට්
- හෙඩ්ෆෝන් සහ හෙඩ්සෙට්
- ජංගම වීඩියෝ ක්‍රීඩා කොන්සෝල
- ජංගම ස්පීකර්
උපාංගයේ නිෂ්පාදකයා කවුරු වුවත්, කේබලයක් භාවිතයෙන් ආරෝපණය කරන මේ උපකරණ සියල්ලේම USB Type-C පෝට් එකක් අඩංගු කළ යුතු වේ.
ලැප්ටොප් පරිගණක ද මෙම තීන්දුවට අවනත විය යුතු නමුත්, නිෂ්පාදකයින්ට වෙනස්කම් සිදුකිරීම සඳහා ගිවිසුම බලාත්මක වීමෙන් පසු මාස 40ක අවසරයක් හිමිවේ.
පාරිභෝගිකයන්ට ඔවුන් මිලදී ගන්නා නව ඉලෙක්ට්‍රොනික උපකරණ සමග ආරෝපණ කේබලයක් අවශ්‍ය ද නැද්ද යන්න තෝරාගැනීමට ඉඩ සැලසීමේ සැලැස්මක් ද මෙම ගිවිසුමට ඇතුළත් ය.
"මෙම නීතිය යුරෝපා සංගමයේ නිෂ්පාදන වඩාත් තිරසර කිරීමට, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමට සහ පාරිභෝගිකයින්ගේ ජීවිත පහසු කිරීමට වූ පුළුල් ප්‍රයත්නයක කොටසකි," යුරෝපා සංගමය සිය නිවේදනයේ සඳහන් කරයි.
එය, "අනවශ්‍ය චාජර් මිලට ගැනීම නිසා වසරකට යුරෝ මිලියන 213ක් දක්වා වැයවන මුදල්" ඉතිරිකර ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩකඩ සලසන අතර, වසරකට ටොන් 11 000ක අපද්‍රව්‍ය ප්‍රමාණයක් තුරන් කරනු ඇතැ යි යුරෝපා සංගමය ප්‍රකාශ කළේ ය.