ඩෙප්-හර්ඩ් නඩු විභාගය: තීන්දුවෙන් පසු පිළිතුරු ලැබුණු ප්‍රශ්න තුනක්

Johnny Depp

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් යන දෙදෙනාම ප්‍රසිද්ධ ප්‍රකාශවල දී එකිනෙකා අපකීර්තියට පත්කර ඇති බවට එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ජූරි සභිකයින් තහවුරු කරගෙන ඇත්තේ ය.

සිය පෙර බිරිඳගෙන් ඩොලර් මිලියන 50ක් ඉල්ලා නඩු පැවරූ 58 හැවිරිදි ඩෙප් ඔහු ඉදිරිපත් කළ චෝදනා තුනම ඔප්පුකිරීමට සමත්වීම නිසා, ඩොලර් මිලියන 10.4ක වන්දියකට හිමිකම් ලබා තිබේ.

36 හැවිරිදි හර්ඩ් ඩොලර් මිලියන 100කට නඩු පවරා තිබූ නමුත්, ඇය ඩෙප්ට එරෙහිව දිනාගත්තේ ඇය ඉදිරිපත් කළ චෝදනා තුනෙන් එකක් පමණි. ඒ අනුව ඇයට ඩොලර් මිලියන 2ක් ලැබෙනු ඇත.

අධිකරණ ශාලාවේ රංගනය අවසන්වීමත් සමග මීළඟට පහත දෑ සිදුවිය හැකි ය:

ඩෙප් සහ හර්ඩ් ගෙවිය යුතු වන්දි මොනවාද?

සිවිල් උසාවීන්, පැමිණිලිකරුවන්ට ඔවුන්ගේ දුක් වේදනාවලට වන්දි ලබාගැනීමට හෝ යම් සිදුවීමකින් පසු සිදුවන පාඩු පියවා ගැනීමට වන්දි නියම කරනු ලැබේ.

මෙයින්, හානිපූරක වන්දි ගෙවනු ලබන්නේ අනාගත ඉපැයීම් ද ඇතුළුව සැබෑ අහිමිවීම් සහ පාඩු අත්විඳ ඇති පැමිණිලිකරුවෙකුට ය.

විත්තිකරුවෙකුගේ නොසැලකිලිමත් ක්‍රියාවන් සඳහා දණ්ඩනීය වන්දි නියම කෙරෙන අතර, එමඟින් ඔවුන් එවැනි වරදක් නැවත සිදුකිරීම ද වළකනු ලබයි.

ජූරි සභාව මුලින් ඩෙප්ට හානිපූරක වන්දි වශයෙන් ඩොලර් මිලියන 10ක් සහ දණ්ඩනීය වන්දි ලෙස ඩොලර් මිලියන 5ක් ප්‍රදානය කළේ ය.

විනිසුරු පෙනී ඇස්කරේට්, වර්ජිනියාවේ දණ්ඩනීය වන්දි පිරිනැමීම සඳහා වන ව්‍යවස්ථාපිත සීමාවට ගැලපෙන ලෙස එම මිලියන 5ක මුදල ඩොලර් 350,000 දක්වා අඩු කළා ය. ඒ අනුව හර්ඩ් දැන් ඔහුට ඩොලර් මිලියන 10.4ක් පමණ ගෙවිය යුතු ය.

මේ අතර, හර්ඩ්ට හානිපූරක වන්දි වශයෙන් ඩොලර් මිලියන 2ක් පිරිනමන ලද නමුත්, එයට දණ්ඩනීය වන්දියක් ඇතුළත් නොවේ. ඇය තම නඩුවෙන් ඉල්ලා සිටි ඩොලර් මිලියන 100ට සාපේක්ෂව එය ඉතාමත් සුළු වන්දියකි.

හර්ඩ්ට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිද?

වර්ජිනියාවේ ෆෙයාර්ෆැක්ස්හි ජූරි සභාව බොහෝ දුරට ඩෙප්ගේ කතාවට පක්ෂ විය.

සත් පුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුවෙන් කියා සිටියේ, හර්ඩ් සිය විවාහය පිළිබඳව කළ "අසත්‍ය" ප්‍රකාශ මඟින් ඇගේ පෙර සැමියා අපකීර්තියට පත්කර ඇති බව යි. එම ප්‍රකාශයන් "සැබෑ ද්වේශයෙන්" - විපාක පිළිබඳ නොසැලකිලිමත්ව සිදුකර ඇති බව ද ඔවුහු පැවසූහ.

හර්ඩ්ගේ එක් චෝදනාවක් ඔප්පු විය: ඒ, 2020 දී ඩෙප්ගේ නීතීඥයා ඩේලි මේල් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් ඇගේ අපයෝජන චෝදනා ප්‍රෝඩාවක් ලෙස හැඳින්වූ බව ඉදිරිපත් කිරීමෙනි.

තීන්දුවට ප්‍රතිචාර දක්වමින් නිළිය කියා සිටියේ තමා "වචනයෙන් කිව නොහැකි තරම් කලකිරුණු" බව සහ "හදවත බිඳුණු" බව යි.

ජූරියේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයට අවස්ථාව තිබේ. ඇගේ ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ ඇය එසේ කිරීමට අදහස් කරන බව යි.

නමුත් මෙම සති හයක උසාවි රැඟුමෙහි අඩංගු නොවූ නව සාක්ෂි ඉස්මතු නොවන්නේ නම්, එහි ප්‍රතිඵලය බදාදා ලබාදුන් තීන්දුවට එතරම් වෙනස් නොවනු ඇත.

ඩෙප් සහ හර්ඩ්ගේ වත්කම්වල වටිනාකම කොපමණද?

ඩෙප්, ළමා තරුවක් වී සිට පසුව ලොව ඉහළම වැටුප් ලබන නළුවෙකු බවට පත්වූවෙකි.

ඔහු පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට මාලාවෙන් පමණක් ඩොලර් මිලියන 300කට වඩා වැඩි වැටුපක් උපයා ඇති බව පැවසේ.

දැනට ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් මිලියන 150ක් පමණයැ යි ගණන් බලා තිබේ.

හර්ඩ් ද 'ඩැනිෂ් ගර්ල්' සහ 'ඇක්වාමෑන්' වැනි චිත්‍රපටවලින් නමක් දිනාගෙන ඇති අතර, ඇය ලබන වසරේ දී එහි නව චිත්‍රපටයේ රඟපෑමට නියමිත ය. නමුත් ඇගේ ප්‍රසිද්ධ රංගන දිවිය ආරම්භ වූයේ මෑතක සිට ය.

ඇයගේ වර්තමාන ශුද්ධ වත්කම අපැහැදිලි නමුත් එය ඇගේ පෙර සැමියාගේ වත්කමට වඩා සැලකිය යුතු ලෙස අඩු ය. සමහර මූලාශ්‍රයයන් පවසන්නේ එය ඩොලර් මිලියන 8ක් පමණ වන බව යි. එය සෘණාත්මක අගයක් විය හැකි බව අනෙකුත් මූලාශ්‍ර වාර්තා කරයි.

ඩෙප්ට ඩොලර් මිලියන 10කට වැඩි වන්දියක් ලබාදීමට නියමව ඇති, ඇයට ඔහුගෙන් ලැබෙන්නේ ඩොලර් මිලියන දෙකක් පමණක් වන පසුබිමක, හර්ඩ්ගේ මූල්‍ය තත්ත්වයට මෙම නඩු තීන්දුව විශාල පහරක් විය හැකි ය.