කොවිඩ් මරණ වැළැක්වීම: පුරුෂයන්ට සාපේක්ෂව කාන්තා දේශපාලනඥයින් ඉදිරියෙන්

    • Author, මරියානා සන්චේස්
    • Role, BBC බ්‍රසීල්

මේ වසංගත සමයේ දී කාන්තා නායකත්වය කෙරෙහි ප්‍රබල අවධානයක් යොමුව තිබේ; ඒ සාධනීය හේතූන් නිසාවෙනි.

කොවිඩ් පැතිරීම ඇරඹුණු මුල් අවධියේම නවසීලන්තයේ ජසින්ඩා ආඩන්, තායිවානයේ සායි ඉන්-වෙන්, හා බංග්ලාදේශයේ ෂෙයික් හසීනා වැනි රාජ්‍ය නායිකාවෝ, වසංගතය ආරම්භයේදීම ඊට එරෙහි පියවර ගැනීම සහ තවදුරටත් පැතිරීම අඩාල කිරීම සම්බන්ධයෙන් පැසසුම් ලැබුවෝ ය.

කෙසේ නමුත්, ස්ත්‍රීපුරුෂභාවය සහ සෞඛ්‍ය ප්‍රතිපත්තීන්හි ඵලයන් අතර සම්බන්ධය මෙතෙක් පැවතියේ හුදෙක් පුද්ගලානුබද්ධ මතයක් ලෙස පමණි.

බ්‍රසීලයේ දී සිදුකෙරුණු නව අධ්‍යයනයකින් ඉඟි කරන ආකාරයට, පුරුෂයෙකුගේ නායකත්වයට සාපේක්ෂව කාන්තාවක් ඉහළම පුටුවේ සිටීම වසංගත සමයක දී වැඩි ජීවිත ගණනක් බේරා දිය හැකිය.

එරට කාන්තා දේශපාලනඥයින් පාලනය කළ නගරවලින් වාර්තා වූ කොවිඩ් මරණ ප්‍රතිශතය පිරිමි දේශපාලනඥයින් විසින් පාලනය කෙරුණු නගරවලට සාපේක්ෂව 43%කිනුත්, කෝවිඩ් නිසා සිදුවූ රෝහල්ගත කිරීම් 30%කිනුත් පහළ බව පර්යේෂකයෝ සොයාගත්හ.

ඔවුන් පවසන්නේ, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, ජනයා එක්රොක්වීම තහනම් කිරීම වැනි සායනික නොවන ක්‍රියාමාර්ගයන් බලාත්මක කිරීමට කාන්තාවන් වැඩි නැඹුරුවක් දැක්වීම මඟින් මෙම සංසිද්ධිය පැහැදිලි කළ හැකි බවය.

"අපගේ මේ සොයාගැනීම්, ගෝලීය ප්‍රතිපත්තිමය ගැටලුවක් සම්බන්ධයෙන් කටයුතු කරද්දී කාන්තා දේශපාලනඥයින් සිය පුරුෂ පාර්ශවය අභිබවා යන බවට විශ්වසනීය සාක්ෂි සපයන්නේයැ"යි පර්යේෂකයෝ පවසති.

"අපගේ පර්යේෂණ ප්‍රතිඵලවලින්, ජනප්‍රියත්වය සොයනා නායකයින් ජාතික මට්ටමෙන් ගන්නා වැරදි ප්‍රතිපත්ති නිශ්ප්‍රභ කිරීමෙහිලා ප්‍රාදේශීය නායකයින්ට ඉටුකළ හැකි කාර්යයභාරය ද පෙන්නුම් කරයි."

දස දහස් ගණනින් දිවි රැකීම

පර්යේෂකයෝ, 2016 බ්‍රසීල මැතිවරණයේ දී එරට නගර සභා බලප්‍රදේශයන් පන්දහස් පන්සියයෙන් පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර දැඩි අවසන් තරගයක් දක්නට ලැබුණු නගර හත්සියයකට පමණක් සිය අධ්‍යයනය සීමා කළහ.

මැතිවරණය එක් වාරයකින්ම පැවැත්වූ නගර පමණක් මෙහිදී තෝරාගත් හෙයින් අධ්‍යයනයට අයත්වූයේ ජනගහනය දෙලක්ෂයට අඩු නගර පමණි.

පර්යේෂකයින්ට අවශ්‍ය වූයේ, මේ නීතිරීති පිළිපදිමින් හැකිතාක් දුරට "අහඹු" පරීක්ෂණයක් නිර්මාණය කිරීමට ය.

අවසානයේ ඔවුහු කාන්තාවක හෝ පුරුෂයෙකු නායකත්වයට පත්වීමේ සම්භාවිතාව සමාන වන, එකිනෙක සංසන්දනය කළ හැකි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සමූහයක් පර්යේෂණය සඳහා තෝරාගත්හ.

නිල දත්තවලට අනුව, පිරිමින් පාලනය කළ නගරවලට සාපේක්ෂව කාන්තාවන් විසින් පාලනය කෙරුණු නගරවල කෝවිඩ් මරණ වාර්තා වූයේ වැසියන් 100 000කට 43.7%ක් අඩුවෙන් බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ.

එම නගරවල රෝහල්ගත කිරීම් සංඛ්‍යාව ද 30%කින් පහළ විය.

තවත් ලිපි:

මේ ප්‍රතිඵල, බලයේ සිටි කාන්තාවන් විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ සමග අනුකූල විය.

මෙම අධ්‍යයනයට අනුව, සාපේක්ෂව ගත්කල කෝවිඩ් වසංගතය පාලනය සඳහා සායනික නොවන පිළිවෙත් වැඩි වශයෙන් ක්‍රියාවේ යොදවා ඇත්තේ නගරාධිපතිවරියන් විසිනි.

විශාල ජනරාශීන් තහනම් කිරීමේ දී 5.5%කින් ද, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ දී 8%කින් ද, සිය නගරයට පිවිසෙන්නන්ට කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගැනීම අනිවාර්ය කිරීමේ දී 14%කින් ද කාන්තා දේශපාලනඥයින් පුරුෂ දේශපාලනඥයින්ට වඩා ඉදිරියෙන් සිටින බව ද පර්යේෂණයෙන් හෙළි විය.

කාන්තාවන් ගත් මෙම තීරණවල වැදගත්කම අවධාරණය කිරීම සඳහා, බ්‍රසීලයේ නගර සංඛ්‍යාවෙන් අර්ධයක් කාන්තාවන් විසින් පාලනය කෙරුනේ නම් කොවිඩ් මරණ සංඛ්‍යාව කෙසේ පහත බසිනු ඇත්දැ යි ඇස්තමේන්තු කිරීමට පර්යේෂකයින්ට අවශ්‍ය විය (වර්තමානයේ නායිකාවන් අතින් පාලනය වන්නේ බ්‍රසීලයේ නගරවලින් 13%ක් පමණි).

එය එසේ වී නම්, බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 15%කින් පහත බසින්නට තිබුණැයි ඔවුහු තක්සේරු කළහ.

වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම්, කෝවිඩ්-19 හේතුවෙන් දිවි අහිමි වූ බ්‍රසිලියානුවන් පන්ලක්ෂ හතළිස්දහසෙන් හැත්තෑ පන්දහසක් අදටත් ජීවතුන් අතර සිටින්නට ඉඩකඩ තිබුණි.

"අපට අවශ්‍ය වුණේ, ජනතා ප්‍රතිපත්ති පිහිටුවද්දී මේ සංසිද්ධිය කොතරම් දුරට අදාළ වෙනවාදැ යි, වැදගත්දැ යි පෙන්වා දෙන්න යි," අධ්‍යයනයේ සමකතුවරයෙකු වූ, බාසිලෝනා විශ්වවිද්‍යාලයේ අලෙක්සන්ද්‍රෝස් කැව්ජියාස් BBC වෙත ප්‍රකාශ කළේ ය.

විවිධාකාරයේ තීරණ...

කෙසේ නමුත්, ඔවුන්ගේ අධ්‍යයනය ප්‍රකාර, කාන්තාවන් පිරිමින්ට වඩා හොඳ තීරණ ගන්නන් බවට පත්කරන්නේ කුමක් ද?

මෙහිදී වයස, අධ්‍යාපන මට්ටම ඇතුළු 'වියහැකි සාධකයන්' පරාසයක් පර්යේෂකයන් සළකා බැලූමුත්, ඒවා අතර සහසම්බන්ධයක් සොයාගැනීමට ඔවුහු අසමත් වූහ.

එසේම වසංගත සමයට පෙර ගන්නා ලද රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීම, මහජන සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනයන් සිදුකිරීම වැනි සෞඛ්‍ය දර්ශකයන් ඉහළ දමන ක්‍රියාමාර්ගයන් සමග පර්යේෂණ ප්‍රතිඵලයේ සම්බන්ධයක් නොමැති බව ද ඔවුන් විසින් සොයාගනු ලැබුණි.

සිත්ගන්නාසුළු කරුණ වන්නේ, බ්‍රසීලයේ උග්‍ර දක්ෂිණාංශික ජනපති ජායිර් බොල්සොනාරෝ ඉහළ ඡන්ද සංඛ්‍යාවන්ගෙන් ජයගත් නගර සභා ප්‍රදේශයන් පාලනය කරන නායිකාවන් ද මෙවන් සීමා කිරීමේ ක්‍රියාමාර්ගයන් ගෙන තිබීම යි.

බොල්සොනාරෝ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සියලු පන්නයේ සීමා කිරීම්වලට දැඩිව විරුද්ධ වූ අතර, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමේ පිළිවෙත තමාම අවඥාවට ලක්කළේ ය.

"ඇත්තෙන්ම කිව්වොත්, පක්ෂ සහ පාක්ෂිකභාවය සම්බන්ධ දත්ත සලකා බලද්දී පෙනෙන කරුණක් තමයි, නගරාධිපතිනියන් ඔවුන්ගේ සම මට්ටමේ පිරිමි නිලධාරීන්ටත් වඩා ස්වල්පයකින් හෝ ගතානුගතික යි," අධ්‍යයනයේ සමකතුවරයෙකු වන, ඉන්ස්පර් ආයතනයේ රෆායෙල් පවසයි.

ඉතාලියේ මිලාන් බිකොකා විශ්වවිද්‍යාලයයේ මහජන ප්‍රතිපත්ති සම්බන්ධ පර්යේෂිකාවක වන ගජේති-මිරාන්දා (මෙම අධ්‍යයනයට සම්බන්ධ නැත) පවසන්නේ, මෙය සාමාන්‍යයෙන් කාන්තාවන් සතුයැ යි සැලකෙන ගතිලක්ෂණයක් - එනම්, අවදානම් මඟ හැරීමට පෙළඹීම - හරහා පැහැදිලි කළ හැකි බව යි.

"පොදුවේ ගත්තොත්, කොවිඩ් හා සටන් කිරීමේ සායනික නොවන ක්‍රියාමාර්ගයන් වන මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ආදිය පිළිපැදීමට කාන්තාවන් වැඩි නැඹුරුවක් පෙන්වන බව දැනටමත් අධ්‍යයනයන් මඟින් පෙන්වා දී තිබෙනවා," ඇය BBC හා සඳහන් කළා ය.

"ඉතින් සාමාන්‍ය කාන්තාවන් මෙය පිළිපදිනවා කියන්නේ, නගරාධිපතිනියන් ද මෙය පිළිපදිනවා විය යුතු යි. සාමාන්‍ය ජනතාවත් එම පියවර අනුගමනය කළ යුතු යි කියලා නියම කිරීමට අවශ්‍ය දේශපාලන බලය ඔය දෙවැනි පිරිස සතු වෙනවා," ගජේති-මිරාන්දා පැවසුවා ය.

කාන්තාවන්ගේ දේශපාලන බලය

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන අධ්‍යයනය සිදුකරන ලද්දේ බාසිලෝනා සහ සාඕ පාවුලෝ විශ්වවිද්‍යාලවල සහ ඉන්ස්පර් ආයතනයේ පර්යේෂකයන් විසිනි.

මෙය දැනට අප්‍රකාශිත අධ්‍යයන අවධියේ (pre-print form) පවතින අතර, විද්වතුන් විසින් සමාලෝචනය කර (peer-reviewed) නොමැත.

නමුත් මෙහි සොයාගැනීම්, සමාන නිගමනයන් ලබාදුන් වෙනත් අධ්‍යයනයන්ට සමගාමීව පවතියි.

2020 වසරේ දී The Journal of Applied Psychology ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් මඟින්, එක්සත් ජනපදයේ ආණ්ඩුකාරවරියන් විසින් පාලනය කෙරුණු ප්‍රාන්තයන්ගෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ආණ්ඩුකාරවරුන් විසින් පාලනය කෙරුණු ප්‍රාන්තවල මරණ ගණනට වඩා අඩු බව අනාවරණය කර තිබුණි.

වැඩිදුර විශ්ලේෂණයන්ගෙන් පෙනී ගොස් තිබුණේ, මාධ්‍ය හමුවල දී ද කාන්තාවන් වැඩි සහකම්පනයක් සහ විශ්වාසයක් පෙන්නුම්කර ඇති බව යි.

එංගලන්තයේ ලිවර්පූල් සහ රෙඩින් විශ්වවිද්‍යාලයයන්හි පර්යේෂකයන් පිරිසක් විසින් මේ වසරේ පළ කෙරුණු අධ්‍යයනයකින් අනාවරණය කරගෙන තිබුණේ කාන්තාවන් පාලනය කළ රාජ්‍යයන් පුරුෂයින් පාලනය කළ රාජ්‍යයන්ට සාපේක්ෂව කොවිඩ් වසංගතයට එරෙහිව විධිවත්ව ක්‍රියාකර ඇති බව යි.

මෙම රටවල නායිකාවන් වසංගතයට ප්‍රතිචාර දැක්වූ සක්‍රිය සහ ක්‍රමානුකූල ආකාරය මෙයට හේතු වන බව පර්යේෂකයෝ පවසති.

මෙසේ කෙතරම් සාර්ථක ප්‍රතිඵල ලබාදුන්න ද කාන්තාවන්ට ලැබෙන දේශපාලන අවකාශය පිරිමින්ට ලැබෙනවාට වඩා කුඩා බව නිතර ඉස්මතු කෙරෙන අතර, මෙම පසුබිම කාන්තාවන් අර්බුදයක් හසුරුවන ආකාරයට බලපෑම් කරනු විය හැකිය.

"බ්‍රසීලයේ දේශපාලනයේ තවමත් බොහෝසෙයින්ම පැතිරෙන්නේ පිරිමින්ගේ අධිපත්‍යය යි. මේ නිසා පිරිමියෙකුට වඩා කාන්තාවකට මැතිවරණයකින් තේරී පත්වෙන්න අපහසු යි. ඉතින් මැතිවරණ දිනන්නේ හෝ දිනුම් කණුව අසලටම එන්නේ වඩාත්ම සුදුසුකම් ඇති කාන්තාවන් විතර යි," ගජේති-මිරාන්දා කියා සිටියා ය.

බෲස් (අධ්‍යයනයේ සම කතු) මෙය භව්‍ය හේතුවක් ලෙස පිළිගනියි.

"සමහර විට නගරාධිපතිවරියන් පීඩාකාරී අවස්ථාවන්වල දී හොඳ තීරණ ගන්නේ ඔවුන් සිය දේශපාලන ගමන තුළ දැඩි පීඩනයට සහ අමතර අභියෝගයන්ට මුහුණ දෙන නිසා විය හැකියි," ඔහු පවසයි.

"නමුත් එය අපට සංඛ්‍යාත්මක දත්ත මාර්ගයෙන් මනින්න හෝ නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි."