කොවිඩ්: G-7එන්නත් බිලියන සියයත් ලෝකයට ප්‍රමාණවත් නොවන්නේ ඇයි?දුප්පත් රටවල් මුහුණ දෙන අභියෝගයක්!

G7 දියුණු කාර්මික රටවල සංවිධානය ලෝකයේ දුප්පත්ම රටවලට කොරෝනා එන්නත් කෝටි සියයක් පරිත්‍යාග කරන බවට පොරොන්දු විය.

එක්සත් රාජධානියේ මෙවර පැවැත්වුණු G7 දියුණු කාර්මික රටවල සංවිධානයේ සමුළුවට සහභාගී වූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියාසිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය එන්නත් දශ ලක්ෂ 500ක් පරිත්‍යාග කරන බවය.

''මෙතෙක් මෙතරම් අතිවිශාල එන්නත් සංඛ්‍යාවක් ප්‍රදානය කළ තනි රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්වෙනවා''

ලබන වසර ඇතුළත එන්නත් දශ ලක්ෂ සියයකට අධික ප්‍රමාණයක් සපයන බවට එක්සත් රාජධානිය ද ප්‍රතිඥාවක් දී ඇත.

මෙම ප්‍රදාන සම්බන්ධයෙන් පළවෙමින් ඇති ප්‍රතිචාරය කුමක්ද?

G7 සමුළුවේ දී මාත්‍රා දශ ලක්ෂ 870ක අතිරේක ප්‍රතිඥාවක් ලැබුණු අතර 2021 පෙබරවාරි මාසයේ පටන් ලද ප්‍රතිඥා මගින් සැපයීමට නියමිත සමස්ත එන්නත් ප්‍රමාණය බිලියනයක් බවට පත්වෙයි.

මෙම එන්නත් සපයනු ලබන්නේ ප්‍රධාන වශයෙන් 'කොවැක්ස්'(Covax) එන්නත් ව්‍යාපෘතිය මගිනි. ලෝකය පුරා සියලු ජාතීන්හි වඩාත් අනතුරුදායක මට්ටමක සිටින ජනතාවට ඒවා සැපයීම අදාළ අපේක්‍ෂාව වෙයි.

G7 දියුණු කාර්මික රටවල සංවිධානයේ ප්‍රතිඥාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා ලේකම් ටෙඩ්රෝස් ගේබ්‍රියෙසුස් (Tedros Ghebreyesus) කියාසිටියේ ''තමන්ට තවත් එන්නත් අවශ්‍යකරන අතර ඒවා ඉක්මණින් සැපයිය යුතුව'' ඇති බවය.

''තවත් බොහෝ රටවල කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවතිනවා. ඔවුන් එන්නත් නොමැතිකමින් ප්‍රශ්නයකට මුහුණදී සිටිනවා''

''එන්නත් බිලියනයක් වුණත් එක පුද්ගලයකුට මාත්‍රා දෙකක් දිය යුතුවීම අනුව එය මිලියන 500ක් බවට පත්වෙනවා. අපට ඊට වඩා එන්නත් අවශ්‍යයි'' දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා(Cyril Ramaphosa) පවසයි.

''අපට අපේම එන්නත් නිෂ්පාදනය කිරීමක් අවශ්‍ය කරනවා. නමුත් අපට ඒ සඳහා ධාරිතාවක් නැහැ''

'Pfizer-BioNTech' ආයතනයෙන් එන්නත් මිලියන 500ක් ''ලාභ රහිත මිලකට'' ලබාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී සිටියි.

''කොවිඩ් වසංගතයට එරෙහි සටනේ දී එක්සත් ජනපදය ''එන්නත් අවි ගබඩාව'' බවට පත්වනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සපථ කොට ඇත.

දැනට පවතින සැලසුම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදය මේ වසර අවසන් වනවිට එන්නත් මිලියන 200ක් සපයනු ඇත. ඉතිරි මිලියන 300 2022 ජූනි මාසය වනවිට සපයනු ඇත.

ලෝකය පුරා රටවලට එන්නත් මිලියන 80ක් දීමට එක්සත් ජනපදය දැනටමත් පොරොන්දුවක් දෙනු ලැබ තිබුණි.

ඒ අතරවාරයේ එක්සත් රාජධානිය එළැඹෙන සැප්තැම්බර් අවසානය වනවිට එන්නත් මිලියන පහක් ප්‍රදානය කරනු ඇත. අනතුරුව 2021 වර්ෂය අවසානය වනවිට තවත් එන්නත් මිලියන 25ක් ද එක්සත් රාජධානිය සපයයි. එක්සත් රාජධානිය විසින් සපයනු ලබන එම ප්‍රදාන සිදු කෙරෙන්නේ 'කොවැක්ස්' ව්‍යාපෘතිය යටතේය.

දුප්පත් රටවලට කොතරම් එන්නත් අවශ්‍යද?

ප්‍රමාණය විශාල සංඛ්‍යාවකි. එසේම ඒවා කඩිනමින් සපයනු ලැබීම අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇත.

එන්නත්කරණය සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජගත් සන්ධානයේ (Gavi) ආරාධනයෙන් මෙම ජුනි මාසය මුල සමුළුවක් පැවැත්වුණි. විවිධ රටවල් සඳහා එන්නත් දශ ලක්ෂ 132 කට අධික ප්‍රමාණයක් ඒවනවිට සපයනු ලැබ ඇතැයි එම සමුළුවේ දී ප්‍රකාශ කරනු ලැබුණි.

බෙල්ජියම, ඩෙන්මාර්ක් සහ ජපානය විසින් කෙටිකාලීන මට්ටමින් සපයන ලද එන්නත් මිලියන 54ක් මෙන්ම ස්පාඤ්ඤය සහ ස්වීඩනය විසින් සපයන ලද අතිරේක සැපයුම් ද ඊට ඇතුළත් වෙයි.

''වෛරසයේ විවිධ ප්‍රභේද සහ චලනය මගින් එල්ල කෙරෙන අභියෝගය අනුව ඉතා ඉක්මණින් අවශ්‍ය එන්නත් ලොවපුරා ලබා ගැනීමට හැකිවනු ඇතැයි'' එන්නත්කරණය සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජගත් සන්ධානයේ (Gavi) ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලේ (Seth Berkley) බීබීසියට පැවසීය.

'කොවැක්ස්' එන්නතේ මාත්‍රා බිලියන 2.5කට අධික ප්‍රමාණයක් ඇණවුම් කරනු ලැබ ඇති නමුත් ඒවා සැපයුම මේ වසරේ අවසාන අදියර තෙක් සිදුනොවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

සැප්තැම්බර් මාසය වනවිට සෑම රටකම ජනගහනයෙන් 10%ක් එන්නත් කිරීමට තවත් එන්නත් මිලියන 250ක් අවශ්‍ය කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා ලේකම් ටෙඩ්රෝස් ගේබ්‍රියෙසුස් (Tedros Ghebreyesus) පවසයි. ජුනි සහ ජූලි මාස සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට එන්නත් මිලියන 100ක් අවශ්‍ය කරයි.

'කොවැක්ස්' ව්‍යාපෘතියේ ආරම්භක ඉලක්කය වූයේ 2021 අවසන්වන විට ලෝක මට්ටමින් එන්නත් මාත්‍රා බිලියන 200ක් සැපයීම විය. එහෙත්, දැන් ඉලක්කය වී තිබෙන්නේ 2022 වසරේ මුල් අදියර වනවිට අඩු ආදායම් ආර්ථික සහිත රටවල් 92කට එන්නත් මාත්‍රා බිලියන 1.8ක් සැපයීමය.

මෙම ප්‍රතිඥාවන් ඉටුකරනු ලැබීම කල්ගතවන සුලුය. සමස්ත ලෝකවාසීන්ගෙන් 70%ක් සඳහා එන්නත් ලබාදීමට මාත්‍රා බිලියන 11ක් අවශ්‍යකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි. එම ඉලක්කය කරා ළඟාවුවහොත් වෛරසය පැතිරයාම සැලකිය යුතු මට්ටමකින් පාලනය කළ හැකි වනු ඇත.

එන්නත් නිෂ්පාදනය ගැටලු මතුකරන කාර්යයක් වී ඇත.

'කොවැක්ස්' ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත මත පදනම් වෙයි.

එසේවුවද, ඉන්දියාව කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලට ගොදුරුවීමත් සමඟ 'කොවැක්ස්' එන්නතේ සියලු ප්‍රධාන අපනයනය කිරීම් නතරකරන ලද අතර ඉනනතුරුව පසුගිය මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවල සැපයුම්වලට දැඩි පහරක් එල්ල වුණි.

එන්නත් නිෂ්පාදනය අතින් ඉන්දියාවේ ප්‍රධානතම ආයතනය වන සීරම් ආයතනයෙන් (SII) ඇණවුම් කරන ලද කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනෙකා) මාත්‍රා බිලියන 1.1 ක් විය.

මේ දක්වා සීරම් ආයතනය විසින් සපයනු ලැබ තිබෙන්නේ 'කොවැක්ස්' එන්නත් මාත්‍රා මිලියන තිහක් පමණි. මේ අතර එන්නත් මිලියන 190ක් සඳහා එම ආයතනය අරගලයක නිරතවෙමින් ඇත.

මේ වසර අවසානයේ දී සැපයුම් අපනයනය ආරම්භ කරන බව සීරම් ආයතනය පවසයි. එසේම ඉන්දියාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය සැපයීමටත් ආයතනය අවධානය යොමුකරයි.

මේ අතර තවත් ගැටලු මතුවෙයි. දැනට සපයා ඇති එන්නත් කඩිනමින් නොලැබීම සහ බෙදා හැරීම පිළිබඳව ඇතැම් රටවල ගැටලු මතුවී තිබේ. එසේම ඇතැම් අප්‍රිකානු රටවලට දී ඇති එන්නත් ඒවායේ කල් ඉකුත්වීමට පෙර භාවිත කිරීමට නොහැකි විය.

"තවත් එන්නත් සැපයුම ඉතා වැදගත් කරුණක් නමුත් අප්‍රිකාවේ සමහර රටවල් තමන්ට ලැබී ඇති එන්නත් ඉක්මණින් පාවිච්චි කිරීමට පියවර ගත යුතුව ඇත'' යි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.