ඉන්දියාවේ කොවිඩ්-19: දිල්ලිය හමුදාවේ සහය පතයි

කොරෝනා දෙවැනි රැල්ල ඉතා කුරිරු ලෙස ඉන්දියාව වසාගෙන සිටියදී දිල්ලි අගනුවර බලධාරීහු එරට යුද හමුදාවේ සහාය ඉල්ලා සිටියහ.

දිල්ලි නුවර රෝහල් සතු අධි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර සායනික ඔක්සිජන් හිඟයකට ද මුහුණ දී සිටී.

දිල්ලියේ කොවිඩ් සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාම යුද හමුදාවට පැවරීම දිල්ලි පළාත් පාලන ආණ්ඩුවේ අවශ්‍යතාවය වී තිබේ.

වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය මිලියන 20කට ආසන්න වී ඇත.

පසුගිය සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත, දිනකට 300,000කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පැවතුනි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222,000ක් ලෙස වාර්තා විය.

නමුත සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සහ සිදුවන මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව විශේෂඥ මතය වී තිබේ. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස වෛද්‍ය පරීක්ෂණ සිදු නොවීම සහ වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව බොහෝ දෙනා නිවෙස් තුළ මිය යාමයි.

රෝගීන් පිරුණු රෝහල්

ඔක්සිජන් සැපයීම සහිතව රෝගීන් 10,000කට පමණ ප්‍රතිකාර කළ හැකි සායන සහ තවත් අධි සත්කාර ඒකක දහසක් පමණ යුද හමුදාවේ සහය ඇතිව දිල්ලි නුවර පුරා පවත්වාගෙන යාමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

මේ පිළිබඳව අදහස් දක්වමින් දිල්ලි නුවර නියෝජ්‍ය මහ ඇමතිවරයා කියා සිටියේ, සෞඛ්‍ය සේවයට දරා ගත නොහැකි මට්ටමින් රෝහල් පිරී ඉතිරී යන බැවින් අමතර ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් සහ පිරිස් බලය ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශයේ සහාය ලැබෙන්නේ නම් එය කාලීන වනු ඇති බවය.

එමෙන්ම මේ වන විට අත්‍යවශ්‍යව පවතින ඔක්සිජන් ප්‍රවාහනය සඳහා ද "හදිසි සහාය" ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඉන්දීය හමුදාව සතුව පවතින ඔක්සිජන් සිලින්ඩර රෝහල් කරා ප්‍රවාහනය කරන ලෙස දැනටමත් ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

එමෙන්ම, විශ්‍රාමික හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම සඳහා ඔවුන් නැවත සේවයට කැඳවා ඇත.

සෑම ප්‍රාන්තයකම රෝහල් සඳහා සැපයිය යුතු ඔක්සිජන් කෝටාව තීරණය කරනු ලබන මහ ආණ්ඩුවෙන් දිල්ලියේ රෝහල්වලට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සපයා නොමැති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඔක්සිජන් හිඟයක් පවතින බවට නැගෙන චෝදනා බලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන් කියා සිටියේ ඔක්සිජන් ප්‍රවාහනයේ අභියෝග පවතින බවකි.

ඉන්දියාව දිනකට ඔක්සිජන් ටොන් දහස් ගණනක් නිෂ්පාදනය කරයි. නමුත් බෙදාහැරීමේ ජාලය මත පවතින ආයෝජන හිඟකම හේතුවෙන් ඔක්සිජන් සැපයීම අඩාල වී ඇති බව විශේෂඥයෝ පවසති.

තමන් සතු ඔක්සිජන් ප්‍රමාණය නිමාවෙමින් පවතිද්දී ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමට දිල්ලි රෝහල් බලධාරීහු කටයුතු කරමින් සිටිති.

"සිලින්ඩර් උස්සගෙන දවසම පාරේ"

කුඩා සිලින්ඩර්වලට ඔක්සිජන් නැවත පුරවා ගැනීම සඳහා දීර්ඝ පෝලිම්වල පැය ගණන් ගත කිරීම දිල්ලි වාසීන්ගේ දෛනික ජීවිතයේ අංගයක් බවට පත්වී තිබේ.

"මේක අපි දිනපතාම සටන් කරන යුද්ධයක්," දිල්ලියේ ශ්‍රී රාම් සිං රෝහල පවත්වාගෙන යන වෛද්‍ය ගෞතම් සිං පැවසීය.

"මගේ කාර්ය මණ්ඩලයෙන් අඩක්ම සිලින්ඩර් උස්සගෙන දවසම පාරේ ඇවිදිනවා ඒවාට ඔක්සිජන් පුරවගන්න තැනක් සොයමින්."

අගනුවරින් පිටත පවා ඇත්තේ මේ හා සමාන පීඩාකාරී තත්වයකි.

ඉන්දියාවේ දකුණු දිග කලාපයේ කර්ණාටක ප්‍රාන්තයේ එක් රෝහලක පමණක් රෝගීන් 24 දෙනෙක් මිය ගියහ. නමුත් මෙම රෝගීන් සියලු දෙනාම මිය ගියේ ඔක්සිජන් නොමැති වීම හේතුකොට ගෙන බවට පළවූ වාර්තා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.

ඉන්දියාවේ කොවිඩ් අර්බුදය තවත් දරුණු වීමට උදාසීන ලෙස එරට දියත් වූ එන්නත් කිරීමේ වැඩසටහන ද හේතුවුණු බවට මත පළවේ.

එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා

ලෝකයේ එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා ඉන්දියාව වුවත් ඉන්දියාව තුළ කොවිඩ් එන්නත හිඟ විය.

ජනවාරි මාසයේ පටන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ, බිලියන 1.4ක් වූ ඉන්දීය ජනගහනයෙන් 10%කට පමණි. මාත්‍රා දෙකම සම්පුර්ණ කර ඇත්තේ සමස්ථ ඉන්දීය ජනගහනයෙන් 2%ක් පමණි.

ඉන්දියාව තුළ පවතින එන්නත් හිඟය තවත් මාස ගණනක් ගතවන තුරු පවතිනු ඇති බවට ඉන්දියාවේ 'Serum' ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා අනතුරු ඇඟවීමක් කළේය. 'Serum' ආයතනය ලෝකයේ දැවැන්තම එන්නත් නිෂ්පාදකයා ය.

අදාර් පූනවල්ලා 'Financial Times' පුවත්පතට පවසා ඇත්තේ ප්‍රමාණවත් පරිදි එන්නත් සැපයීමට නොහැකිවීම සම්බන්ධයෙන් තම ආයතනයට අසාධාරන ලෙස අවමන් කර ඇති බවය.

එන්නත් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට ඔහු කල්තියා පියවර ගෙන නොමැත. ඊට හේතු දක්වමින් ඔහු කියා සිටියේ "ඇණවුම් නොතිබුණු අතර වසරකට එන්නත් බිලියනයකට වඩා අවශ්‍ය වේයැයි කිසිවෙකු නොසිතූ" බවය.

ආදාහනාගාර

සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇති බව ද පසුගිය සතියේ වාර්තා විය.

දිල්ලි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා වෙන් කර නොමැති ආදාහනාගාරවල පවා, පවුලේ සාමාජිකයන් ආදාහනය කිරීමට මිනිසුන්ට මේ වන විට සිදුව ඇති බවය.

"ඒ නිසා අපි යෝජනා කළා තවත් ආදාහනාගාර පිහිටුවිය යුතුයි කියලා," පොලිස් නිලධාරියා එන්ඩීටීවී පුවත් නාලිකාවට පැවසීය.

කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේදී සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කළේය. වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහාවූ විශේෂ ක්‍රියාමාර්ග ද එහි ඇතුළත්ව තිබිණි.

වසංගතය පාලනය කිරීම සහ මෑත සතිවලදී විශාල මැතිවරණ රැලි සහ ආගමික උත්සව පැවැත්වීමට ඉඩදීමට ගත් තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම රජය දැඩි විවේචනවලට මුහුණ දී සිටියි.