ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජංගම දුරකතන ''සයිබර් අවකාශයේ සිදුකෙරෙන අපරාධ බෝ කරන මෙවලමක්''- බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමති පවසයි.
දරුවන් පාසල් කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියි. අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන්(Gavin Williamson) එම ප්‍රකාශය කරන්නේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට 'ලොක්ඩවුන්' කර තිබියදී ජංගම දුරකතන භාවිතය සිසුන්ගේ ''විනය සහ පිළිවෙල'' කෙරෙහි අහිතකර බලපෑමක් සිදුකරනු ලැබ ඇතැයි පෙන්වා දෙමිනි.
තම ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි කරන බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා ''පාසල් දිනයෙහි ළමුන් ජංගම දුරකතන භාවිත කිරීමෙන් හෝ අඩුතරමින් එය දැකීමෙන් පවා ඈත්කොට තැබිය යුතුව ඇතැයි'' සඳහන් කරයි. එහෙත් එම සීමාව ක්‍රියාවට නංවනු ලැබීමට අදාළ ස්වීය වූ ප්‍රතිපත්ති සම්පාදනය ඒ ඒ පාසල්වලට පැවරෙන කාර්යයක් වන බවත් අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන් පවසයි.
ජංගම දුරකතනය සයිබර් අවකාශයේ සිදුකෙරෙන හිරිහැර ''බෝකරන මෙවලමක්''("breeding ground") ලෙස යොදාගත හැකි අතර සමාජ මාධ්‍ය මානසික සෞඛ්‍යයට හානිකර විය හැකි බවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙයි.
''එබැවින් තිර (screens) භාවිතය, විශේෂයෙන්ම ජංගම දුරකතන භාවිතය ඈත් කිරීමට දැන් කාලය පැමිණ ඇතැයි'' බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය භාර බලධාරියා යෝජනා කරයි.
''ප්‍රශ්නය තියෙන්නේ පන්ති කාමරය ඇතුළේ. පාසලේ දී ජංගම දුරකථනවල රැඳී සිටීම නිසා ළමුන් ඔවුන්ගේ සෞඛ්‍යය සඳහා අවශ්‍යකරන ශාරීරික අභ්‍යාසවලින් ඈත්වෙනවා. හිතකාමී සාම්ප්‍රදායික ක්‍රීඩාවලින් ඈත්වෙනවා''
''හැම පාසලක් විසින්ම, එවැනි වැඩපිළිවෙලක් සඳහා සුදුසු පිළිවෙතක් ඒ ඒ පාසල් විසින් සම්පාදනය කරගනු ලබන අතරවාරයේ පාසල් දිනවල - පාසල් කාලය තුළ ජංගම දුරකතන භාවිතය සහමුළින්ම නතර කළ යුතුව ඇතැයි මම තරයේ විශ්වාස කරනවා. ඊට අදාළ අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනු ලබන විදුහල්පතිවරුන්ට අපගේ සහයෝගය ලැබෙනවා'' අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන් අවධාරණයෙන් කියාසිටියි.
පාසල්වලින් ජංගම දුරකථන ඉවත්කරනු ලබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වසරේ අවසාන භාගයේ දී විදුහල්පතිවරුන්ට උපදෙස් දෙන බවත් ඔහු පවසයි.
''ඉතාම නරකම දෙය වන්නේ ජංගම දුරකථන සයිබර් අවකාශයේ සිදුකෙරෙන අපරාධ බෝකරන මෙවලමක් බවට පත්වීම. සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි නුසුදුසු ලෙස භාවිත කිරීමේ මෙවලමක් කර ගැනීම''
දවසකට ගුරුවරුන් 8500ක් පමණ අධීක්ෂණය කරනු ලබන 'Teacher Tapp' නම් 'ඇප්' මෘදුකාංගය මගින් සපයනු ලබන දත්ත තොරතුරුවලට අනුව පාඩම් පැවැත්වෙද්දී පන්ති කාමරය තුළ ජංගම දුරකථන භාවිතය සීමා කෙරෙන පිළිවෙත් දැනටමත් බ්‍රිතාන්‍ය පාසල් අති බහුතරයක ක්‍රියාත්මක කෙරෙයි.
එම 'ඇප්' මෘදුකාංගයට අනුව බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් වැඩි ප්‍රමාණයක සහ ද්වියීතික පාසල්වලින් අඩක පමණ විවේක කාලය තුළ හෝ දිවා ආහාර වේලාවේදී ජංගම දුරකථන භාවිතයට අවසර නොලැබෙයි.
දුරකථනයට ඇබ්බැහිවීම
බ්‍රිතාන්‍ය සමාජයේ පාසල් දරුවන්ගේ දෙමව්පියන්ගෙන් අඩක්ම පාසල තුළ ජංගම දුරකථන තහනමට සහයෝගය දක්වන බව 'uSwitch' මගින් පසුගිය වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කෙරෙයි.
''අප්‍රිකානු මමී'' (African Mommy) නම් 'මාපිය බ්ලොගය' පවත්වාගෙන යන ෂයිල් ඉස්මයිලා (Shile Ismaila) පවසන්නේ '' ළමුන් පාඩම්වලින් ඈත්වීම වළක්වා ගැනීමට ජංගම දුරකථන තහංචිය මගින් ආධාරයක් ලැබෙන අතර ඒ සමඟ ඔවුන් අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමුකෙරෙන'' බවය.
''සාමාන්‍ය කාලයේ පැවති තත්ත්වයට වඩා වසංගත කාලය තුළ ළමුන් ජංගම දුරකථනවල ගතකරන කාලය වැඩි වුණා'' ෂයිලා පවසන්නීය.
''ළමුන්ට ඔවුන්ගේ සම වයසේ අයත් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට තියෙන ප්‍රධාන මෙවලම ජංගම දුරකථනය බවට පත්වුණා. මෙය අඩු හෝ වැඩි මට්ටමේ ඇබ්බැහිවීමක්.''
දරුවන් නැවත පාසලට පැමිණෙන විට විනය සහ ඊට අදාළ වැඩපිළිවෙළක් පැවතීමේ උවමනාව පිළිබඳව ද බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන් සඳහන් කරයි.
දුරස්ථ අධ්‍යාපනය නිවසේ පසුවෙන පාසල් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය නොකඩවා කරගෙන යාම අතින් විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කරන නමුත් විනය හෝ විධිමත් ව්‍යුහයක් නොවුවහොත් එය ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නියත බලපෑමක් සිදුකරන බවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ අත්දැකීම කුමක්ද?
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් නොපැවැත්වීම නිසා ශ්‍රී ලංකාවේ ද පාසල් දරුවන් දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලියේ දී සමාජ මාධ්‍ය ජාල භාවිත කළ අතර ඔවුන්ගෙන් 40%ක් පමණ භාවිත කරනු ලැබ තිබෙන්නේ 'ස්මාර්ට්' ජංගම දුරකතන බව ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරිකා ආචාර්ය සුජාතා ගමගේ පවසයි.
''ඔවුන් උපයෝගී කරගෙන තිබෙන්නේ ජංගම දුරකථන සහ ඒ ඔස්සේ 'වට්ස්ඇප්' පහසුකම්'' ආචාර්ය සුජාතා ගමගේ බීබීසී සිංහල අංශය විසින් කරනලද විමසීමක දී සඳහන් කළාය.
''ස්මාර්ට්ස් දුරකතනවල ළමුන්ගේ අවධානය වෙනත් දිශාවන්ට යොමුකෙරෙන දේවල් වැඩියි. ඒ නිසා අපි හිතන්න ඕන ළමුන් අතට දීම යහපත්වන්නේ මොනවගේ මෙවලමක් (device)දෙනවද කියන කාරණය ගැන. ඒ වගේම ගෙදරදී පාවිච්චියයි පාසලේ දී පාවිච්චියයි යන දෙක වෙනස් දෙයක් කියල හිතන්න නරකයි. කොවිඩ් කාලෙදි පාසල සහ ගෙදර යන දෙක අධ්‍යාපනයේ දී වෙන්කරන්න බැරි වුණා.''
පාසලේ පන්ති කාමරයක ගුරුවරයා සිටින වෙලාවේ වුනත් දරුවකුට දුරකතනයක් දුන්නොත් ඔවුන් පාඩමට යොමුනොවෙන අතර වෙනත් වෙනත් දේවල් කෙරෙහි යොමුවෙන බව ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දෙයි.
''ඔවුන් ෆේස්බුක් බලනවා. ඉන්ස්ටග්‍රෑම් වලට යනවා. ඒවා නතරකරන්න අමාරුයි. ඒ නිසා පන්ති කාමරය තුළ තාක්ෂණය භාවිත කළ යුතුවන්නේ අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍යනම් පමණයි''
එවැනි පසුබිමක් යටතේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා පාසල් දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් දරන ස්ථාවරය නිවැරදි එකක් වන බව තම අදහස යැයි ඇය සඳහන් කළාය.
සිය අදහස තහවුරු කරමින් තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සුජාතා ගමගේ කොවිඩ් වසංගත සමයේ දෙමව්පියන් ඔවුන්ගේ ජංගම දුරකතන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට දුන් අතර ඇතැම් අවස්ථාවන්හි එමගින් වෙනත් අයහපත් ප්‍රතිපල උද්ගතව ඇතැයි ද කියාසිටියාය.
''එමගින් ළමුන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ ජංගම දුරකතනවල ඇතුළත් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු බලාගන්න අවස්ථාව ලැබුණා.''
''මෙම ප්‍රශ්නයේ තවත් පැත්තක් තියෙනවා. ළමුන් පාසලේ දී ජංගම දුරකථනයට ඇබ්බැහිවීම නිසා සෙසු ළමුන් සමඟ සම්බන්ධවීම බිඳ වැටෙනවා. ළමුන්ට සිය සගයන් සමඟ මුසුවීමට තියෙන හොඳම අවස්ථාව පාසල''
පාසල් දරුවන් පාසලේ දී ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමෙන් ඔවුන් අතර සිදුවෙන කතාබස් කිරීම් සංවාද වැනි සියල්ල ඔවුන්ට අහිමිවන බව ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දෙයි.
කියවන්න;