සුපිරි සෙබළා කියන්නේ කවුද? එය විය හැක්කක්ද?

චීනය, 'කැප්ටන් ඇමෙරිකා' චරිතය මෙන් වූ තමන්ගේ ම මාදිලියක් නිර්මාණයට උත්සාහ දරනවා ද? ඇමෙරිකානු බුද්ධි තොරතුරු නම් කියා සිටින්නේ එවැන්නක්. නමුත් අතිශයෝක්තියෙන් ඔබ්බට ගිය විට, 'සුපිරි සෙබළෙක්' නිර්මාණය කිරීමේ හැකියාව එතරම් අමුත්තක් නොවන අතර ම ඒ සඳහා උනන්දුව දක්වන්නේ චීනය පමණක් ම නොවේ.

අන්‍යයන්ට වඩා උසස් තැනකට ඒම වෙනුවෙන් ලෝකයේ හමුදා නව තාක්ෂණික අත්හදා බැලීම්වලට නිතර යොමුවනවා.

උදාහරණයකට 'ඩක්ට් ටේප්' (duct tape) නමින් හැඳින්වෙන වෙලුම් පටිය දෙස හැරෙමු. එය ඇමෙරිකාවේ ඉලිනොයි හි පිහිටි යුද්ධෝපකරණ කම්හලක සේවිකාවක ගෙනා යෝජනාවක ප්‍රතිඵලයක්. දෙවෙනි ලෝක යුද සමයේදී ඇයගේ පුතුන් නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියා.

ඒ කාලයේදී පතුරම් පෙට්ටි මුද්‍රා තැබීමට යොදා ගත් වහා කැඩී යන සුලු කඩදාසි පටි නිසා, වෙඩි ප්‍රහාර මැද සෙබළුන් අපහසුතාවලට ලක්වෙනු දැක කණස්සලු වූ වෙස්ටා ස්ටවුඩ්ට් හට විසඳුමක් හමුවුණා. ඒ, ජලයට ඔරොත්තු දෙන රෙදි පටියක්. තමන්ගේ යෝජනාවට සිය වැඩ පරීක්ෂකයින්ගෙන් සහයෝගයක් නොලැබෙන බව දුටු තැන ඒ ගැන ජනාධිපති රූස්වෙල්ට් වෙත දන්වා යැවුවා. එහි ප්‍රථිඵලය වුණේ වෙස්ටාගේ අදහස යථාර්ථයක් බවට පෙරලන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබීමයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා 2014 වසරේ දී නව වැඩපිළිවෙලක් ගැන නිවේදනයක් කරමින් "අපි 'අයන් මෑන්' (Iron Man) නිර්මාණය කරමින් සිටින බව ප්‍රකාශ කරන්නයි මෙතැනට ආවේ" යි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.

එහිදී සිනහ මතුවුවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බරපතල වූවක්. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව ඒ වනවිටත් වැඩ ආරම්භ කර තිබුණා. ඒ, 'ටාලෝස්' (Talos - Tactical Assault Light Operator Suit) නමින් හැඳින්වෙන ආරක්‍ෂිත ඇඟලුමක්. එය ඇඟලු පුද්ගලයෙක් සතුරු ස්ථානයකට ඇතුලුවෙන ආකාරය හා ඇඳුමේ සන්නාහයේ වැදී ඉවතට වෙඩි උණ්ඩ යන ආකාරයක් නිරූපණය කෙරෙන වීඩියෝ ක්‍රීඩාවක් වැනි ප්‍රවර්ධනාත්මක දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරුණා.

'අයන් මෑන්' බිහිවන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත් වසර 5 කදී එම වැඩපිළිවෙල හමාර වෙද්දී එහි නිර්මාපකයින්ගේ අපේක්ෂාව වූයේ අදාළ ඇඟලුමේ කොටස් අනාගතයේදී වෙනත් ආකාරයකින් භාවිත කෙරෙනු ඇති බවයි.

සිය සෙබළුන්ගේ ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා බාහිර සැකිල්ලක් ගැන අවධානය යොමු කිරීම, හමුදා විසින් සොයමින් සිටින එවැනි අපේක්ෂා සහගත තාක්ෂණික ක්‍රමවේදවලින් එකක් පමණයි.

මේ ආකාරයේ වැඩිදියුණු කිරීම් අලුත් තත්ත්වයක් නොවේ. අවි, ඇඟලුම් හා පුහුණුව ආදිය සම්බන්ධයෙන් අතීතයේ සිට ම කෙරුණු වැඩිදියුණුව හමුදාවන්ට ලැබුණු රුකුලක්.

නමුත් අදවනවිට, වැඩිදියුණු කිරීමේ අර්ථය හුදෙක් සොල්දාදුවෙකුට වඩා හොඳ ගිනි අවියක් දීමෙන් ඔබ්බට යන දෙයක් වෙන්නට පුළුවන්. එහි අර්ථය, ඒ සෙබළා වෙනස්කමකට ලක්කිරීමක් වෙන්නට පුලුවන්.

"න්‍යෂ්ටික බෝම්බයකට වඩා දරුණු" දෙයක් ඉතා ඉක්මණින් නිර්මාණය කරන්නට මානවයා පියවර ගනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් 2017 දී අනතුරු ඇඟවූවා.

"කිසියම් ලක්ෂණ දෙමින් මිනිසකු නිර්මාණය කරන්නට මිනිසාට පුළුවන් යැයි කෙනෙකු හිතන්නට පුළුවන්. ඒ න්‍යායාත්මකව විතරක් නොවෙයි, ප්‍රායෝගිකවත්. ඒ මිනිසා අති දක්ෂ ගණිතඥයෙක්, සංගීතඥයෙක් හෝ සොල්දාදුවෙක්, එනම් බියෙන්, අනුකම්පාවෙන්, පසුත්වීමෙන් හෝ වේදනාවක් නොදැනී සටන් කරන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන්."

එක්සත් ජනපදයේ හිටපු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් පසුගිය වසරේදී චීනයට බාල ගනයේ චෝදනාවක් එල්ල කළා.

"ජීව විද්‍යාත්මක වශයෙන් දියුණු කළ හැකියාවන්ගෙන් පිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ අරමුණින්, මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයින් මත චීනය මානවීය පරීක්ෂණ කර තිබෙනවා." යැයි ඔහු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවතේ ලිපියක් පළකරමින් පවසා තිබුණා.

එම ලිපිය "බොරුවලින් යුත් මිශ්‍රිතයක්" බව චීනය පැවසුවා.

ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂ තනතුරට අලුතින් පත් කෙරුණු ඇව්රිල් හේන්ස් දරන්නෙත් ඇයගේ පූර්වගාමියාගේ මතයමදැයි කළ විමසීමේදී ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ඇගේ කාර්යාලය පැවසුවත් චීනෙයන් එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් ඇය කළ අනතුරු ඇඟවීමක් පිළිබඳ ප්‍රකාශනයක් දෙස යොමු කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ න්‍යාය පත්‍රයේ වූ බොහොමයක් ඉවත ලෑමට බයිඩන් පරිපාලනය ක්‍රියා කලත්, පෙනෙන්නට තිබෙන්නේ චීනය සමග උණුසුම් තත්ත්වය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස ඉදිරියටත් පවතින බවක්.

අපේක්ෂාවට එදිරි යථාර්ථය

සිය නිලයන් අතර සුපිරි සෙබළෙකු සිටීම හමුදාවකට හිරිහැරකාරී අපේක්ෂාවක්. වේදනාව, අතිශය ශීතල හෝ නින්දක අවශ්‍යතාවට එරහිව යන සෙබළෙක් ගැන සිතන්න. නමුත් 'අයන් මෑන්' කෙනෙකු තැනීමේ ඇමෙරිකානු උත්සාහයෙන් පෙනෙන්නේ, ඒ සඳහා ඇති තාක්ෂණිකමය අවහිරතාව විසින් අපේක්ෂාව යටපත් කරන බවක්.

2019 දී ඇමෙරිකානු විද්‍යාර්ථීන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පත්‍රිකාවකින් කියැවුණේ ජාන සංස්කරණය, බාහිර සැකිලි හා මිනිස් - යන්ත්‍ර සුසංයෝගයක් වැනි තාක්ෂණ පිළිබඳ චීන හමුදාව "ක්‍රියාකාරීව ගවේෂණය" කරන බවයි.

එහි එක කර්තෘවරියක වන එල්සා කානියා, රැට්ක්ලිෆ් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක පළ කළා.

"චීන හමුදාව සාකාච්ඡාවේ යෙදෙමින් හා යථාර්ථයක් කිරීමේ අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න අවබෝධ කරගැනීම වැදගත්. නමුත් ඒ අපේක්ෂා මෙන්ම තාක්ෂණය මේ වන විට තිබෙන්නේ කොතැනද යන්න අතර පරතරය හඳුනාගැනීමත් වැදගත්." යැයි නව ඇමරිකානු ආරක්ෂාව පිළිබඳ ආයතනයක සාමාජිකාවක් වන කානියා පැවසීය.

"ලොව පුරා හමුදාවන්, සුපිරි සොල්දාදුවන් තැනීමේ හැකියාව ගැන විශාල අරමුණක සිටිනවා විය හැකි වුණත්... අවසානයේ විද්‍යාව තුළ ඇති හැකියාවට අනුව, මායිම් ඉක්මවා යන කවර හෝ පාර්ශවයකට අවහිරතා මතුකරනවා.

රැට්ක්ලිෆ් මහත්මයා කතා කළේ වැඩිහිටියන් මත කරන පරීක්ෂණ ගැන. ජාන සංස්කරණය භාවිත කර වැඩිහිටියන් තුළ ඇති සමහර ලක්ෂණ වෙනස් කරද්දී, කළල වල ඩී එන් ඒ වෙනස් කිරීමෙන් "සුපිරි සෙබළෙක්" කරා යා හැකි බොහෝ ව්‍යාජ මාර්ග වලින් එකක්."

මෙය කළ හැකිද යන්නට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට විද්‍යාඥයින් පෙළඹේද යන්න බව යැයි ලන්ඩන් යුනිවර්සිටි කොලිජියේ අණුක ජාන විද්‍යාඥයකු වන ආචාර්ය හෙලන් ඕ'නීල් පැවසුවා.

"ජාන සංස්කරණය මෙන්ම ආධාරක ප්‍රජනනයකින් සමන්විත වූ එහි සංයෝගයෙන් යුතු වූ තාක්ෂණයන්, සංක්‍රාන්තිජාන හා කෘෂිකර්මාන්තය ආදියෙහි සාමාන්‍ය භාවිතයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සංයෝගය මානව භාවිතයට ගැනීම දැනට සදාචාරාත්මක නොවන බව පෙනෙන්නට තිබෙනවා."

චීන විද්‍යාඥයෙකු වන හේ ජියන්කුයි 2018 දී වැදගත් නිවේදනයක් කළා. ඒ, එච්අයිවී වැළඳීමෙන් වැළක්වීම සඳහා නිවුන් දැරියන් දෙදෙනෙකුගේ කළල තුළ ඩීඑන්ඒ සාර්ථකව වෙනස් කිරීමට තමා සමත් වූ බවයි.

මෙයට එල්ල වූයේ දැඩි විරෝධයක්. එවැනි ජාන සංස්කරණය චීනය ඇතුළු රටවල් බොහොමයක තහනම් කෙරුණා. එය සාමාන්‍යයෙන් ඉවතලන කෘතීමව සාරවත් බවට පත් කළ (IVF) කළල වලට පමණක් සීමා වී ඇති අතර, ඒවා වහාම විනාශ කර දරුවෙකු බිහි කිරීමට භාවිතා නොකළ යුතුය.

ඔහුගේ පර්යේෂණ වෙනුවෙන් විද්‍යාඥයින් පෙරට ආවත් ආණ්ඩුවේ තහනමට පිටින් යාම නිසා ඔහුට සිරගත කෙරුණා.

ඇතැම් විශ්ලේෂකයින් චීනයේ උත්සාහය දකින්නේ ඇමෙරිකාවට දැක්වූ සෘජු ප්‍රතිචාරයක් ලෙසයි. 2017 දී ගාර්ඩියන් (The Guardian) පුවත්පතේ පළවූ වාර්තාවකින් කියැවුණේ ආක්‍රමණික විශේෂ අතුගා දැමිය හැකි ජාන නෂ්ට තාක්ෂණයක් වෙනුවෙන් ඇමෙරිකානු හමුදා අංශයක් විසින් ඩොලර් දසලක්ෂ ගණනක් ආයෝජනය කර ඇති බවයි. ඊට හමුදා යෙදවුම් ද අයත්විය හැකි බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ද අනතුරු අඟවූවා.

වාසිදායක තත්ත්වයක් බලාපොරොත්තු වන්නේ චීනය හා ඇමෙරිකාව පමණක් ම නොවේ. "වැඩි දියුණු කළ සෙබළුන්" නිර්මාණය සඳහා ප්‍රංශ සන්නද්ධ හමුදාවලට ද අනුමැතිය දී තිබූ තිබුණේ එම පර්යේෂණ සඳහා සකස් කෙරුණු ආචාරධර්ම පිළිබඳ සීමා ද සමගයි.

"අපි කරුණුවලට මුහුණ දෙන්න ඕනෑ. හැම දෙනාම අපි වගේ සැක සංකා ගැන තකන්නේ නැහැ. අනාගතයේ වෙන දේට අපි සූදානම් වෙන්න ඕනෑ" යැයි ආරක්ෂක අමාත්‍ය ෆ්ලොරන්ස් පාර්ලි සඳහන් කළා.

පුද්ගලානුබද්ධතා වැඩිදියුණු කිරීම ආරක්ෂිතව ඉටුකිරන්නට විද්‍යාඥයින්ට හැකිවුණත්, හමුදා ක්ෂේත්‍රයේ එය භාවිතයට ගැනීමේදී ඊටම අවේනික වූ ගැටලු මතු කළ හැකියි.

උදාහරණයක් ලෙස, හමුදාවේ විධාන ව්‍යුහය තුළ අවදානම් සහිත විය හැකි කාර්යයක් සම්බන්ධයෙන් එකඟනොවීමට තරම් නිදහසක් සෙබළෙකුට ලැබේවිද? චීනය මෙන්ම රුසියාවද සිය හමුදා ආශ්‍රයෙන් කෝවිඩ් එන්නත් අත්හදා බලන ලද බව වාර්තා වුණා.

"හමුදාවක් පවතින්නේ සෙබලාගේ අභිමතාර්ථ ඉෂ්ට කරන්නට නොවෙයි. එය පවතින්නේ උපක්‍රමික වාසියක් ලැබීමට හෝ යුද්ධයක් දිනන්නටයි," යැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාරධර්ම පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ජුලියන් සවුලෙස්කු කියා සිටියා.

"සොල්දාදුවන් මත පැටවිය හැකි අවදානම්වල සීමාවක් තිබෙන නමුත් ඒවා සාමාන්‍ය සමාජය මත පැටවුණු දේට වඩා අඩුයි."

කවරෙක් සඳහා වුණත්, වැඩි දියුණු කිරීමකින් ලැබෙන වාසියට වඩා අවදානම කිරා මැනීම වැදගත් බව මහාචාර්ය සවුලෙස්කු ගේ අදහසයි.

"නමුත් ඇත්තෙන්ම" යැයි තවත් එකතු කිරීමක් කළ ඔහු, "හමුදාව තුළ මෙහි තිබෙන්නේ වෙනස් තත්ත්වයක්. තනි පුද්ගලයින් අවදානම් දරුවත් බොහෝවිට ඔවුන්ට ප්‍රතිලාභ ලබන්නේ නැහැ." යැයි පැවසුවා.

මේ ගැනත් දැනගන්න:

සෙබළුන්ව තබන්නේ ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කෙරෙනවා නම් වැඩිදියුණු කිරීම් පිළිගැනීමට ලක්වේවි යැයි සිතන්නට හැකියි.

නමුත් එය එතරම් ලෙහෙසි දෙයක් ලෙස, කැලිෆෝර්නියා පොලිටෙක්නික් ප්‍රාන්ත සරසවියේ දාර්ශනිකයෙකු වන මහාචාර්ය පැට්‍රික් ලින් නොසලකයි.

"හමුදා වැඩිදියුණු කිරීම් යන්නෙන් අදහස් කෙරෙන්නේ පර්යේෂණ කිරීම හා තමන්ගේ පුරවැසියන් අවදානමේ හෙලීමයි. ඉතින්, වැඩිදියුණු කරන ලද සොල්දාදුවන් කොතරම් දුරට ආරක්‍ෂිත ද යන්න පැහැදිලි නැහැ. සිද්ධවෙන්නේ එහි අනෙක් පැත්තයි. ඔවුන්ව වඩා අනතුරුදායක මෙහෙයුම්වල යොදවාවි. නැතිනම් වැඩිදියුණු නොකළ අය නොගන්නා තරමේ වැඩි අවදානම් තත්ත්ව භාරගැනීමයි"

'කැප්ටන් ඇමෙරිකා' තවමත් පෙනෙන මානයක නැහැ. නමුත් පුදුමය දනවන නිර්මාණයක් කිරීමේ හැකියාව සැමවිටම තිබෙනවා.

"හමුදාව තුළ යම්දේ මතුවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ක්‍රියාවට නැගීම දුෂ්කරයි. ස්වභාවයෙන්ම, ජාතික අරමුණු ආරක්ෂාකිරීම වෙනුවෙන් වූ රහස්‍ය භාවයක් මෙන්ම පුද්ගලිකත්වයක් ඊට තිබෙනවා," යැයි මහාචාර්ය සවුලෙස්කු පවසනවා.

"ඉතින්, සදාචාරත්මකව ගත්විට එය දැඩි වූවක්. හැමදේම සාමාන්‍යයෙන් විවෘත නිසා මේ කාලයේ විද්‍යාව හෝ වෛද්‍යමය ක්ෂේත්‍රවල සැලකිය යුතු දැඩි බවක් තිබෙනවා."

මෙම ක්ෂේත්‍රය නියාමනය කරන්නට කළ හැකි හෝ කළ යුතු දේ සැලකීමේදී මහාචාර්ය ලින් සඳහන් කරන ආකාරයට "පවතින ප්‍රධාන අභියෝගයක් නම් මෙය ද්වී භාවිත පර්යේෂණයකට සමීප බවයි. උදාහරණයක් ලෙස සැලකුවොත්, බාහිර සැකිලි පිළිබඳ පර්යේෂණයේදී මුලින් අවධානය යොමු කළේ සෞඛ්‍යමය තත්ත්වයක සිටින පුද්ගලයන්ට උදව් කිරීම හෝ සුව කිරීමයි. ඒ අංශභාග තත්ත්ත්වයට පත් රෝගීන් නැවත ඇවිද්දවීම වැනි දෙයක්."

"නමුත් මේ චිකිත්සක භාවිතය පහසුවෙන් ම අවියක් බවට පෙරලන්නට පුළුවන්. එය සිදුවීම වැළක්විය හැක්කේ කෙසේද යන්න පැහැදිලි නැති අතර එයින් කියවන්නේ, චිකිත්සක පර්යේෂණ ද කළකිරවන තරමේ පුළුල් නියාමනයකින් තොරව මෙය නියාමනය කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි නැහැ. "

ආචාර්ය ඕ'නීල් ට අනුව ජානමය පර්යේෂණ අතින් චීනය දැනටමත් ඉදිරියට ගිහින්. අනෙක් රටවල් තමන් ම අවාසිදායක තත්ත්වයකට ගෙන ගිහින්.

"මම හිතන්නේ මේ සම්බන්ධයෙන් දැන් පවතින යථාර්ථය ගැන අවධානය යොමු කරනවාට වඩා, සදාචාරාත්මක බව පිළිබඳ තර්ක විතර්ක මැද අපි කාලය අපතේ හැරලා." ඇය පවසනවා.

"අනුමාන හා දුෂ්පෝෂණය සම්බන්ධයෙන් ඕනෑවට වඩා ශක්තිය වැය කරලා. තාක්ෂණය යොදා ගැනීම වගේම සැබෑ අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් බොහෝ ශක්තියක් වැය කළ යුතුයි. එතකොටයි අපට එය හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. මොකද කීවොත්, එය වෙනත් තැනක සිද්ධ වේවි. ඒ වගේම මේ වෙනකොටත් වෙනත් තැනක එය සිදුවෙනවා. එය වරදින්න පුළුවන් කොතැනද කියා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ අඛණ්ඩ පර්යේෂණවලින් පමණයි "

(බීබීසී පුවත් හි තොම් පූල් සකස් කළ ලිපියක් ඇසුරිණි)