කොරෝනා වෛරසය ගැන මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍යවරයාගේ අනුවේදනීය අවසානය

වෛද්‍ය ලී වෙන්ලියැන්ග් රෝහලේ ඇඳක් මත සිටියදී මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයට මුදා හරියේ ජනවාරි 31වැනිදාය

ඡායාරූප මූලාශ්‍රය, Weibo

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය ලී වෙන්ලියැන්ග් රෝහලේ ඇඳක් මත සිටියදී මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයට මුදා හැරියේ ජනවාරි 31වැනිදාය
    • Author, ස්ටෙෆනී හෙගාර්ඩ්
    • Role, BBC

කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසය පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම සිදුකළ චීන ජාතික වෛද්‍යවරයා මියගොස් වසරක් ගෙවී අවසන්ය.

ලී වෙන්ලියැන්ග් නමැති මෙම වෛද්‍යවරයා ගේ ජීවිතය ද බිලි ගත්තේ කොරෝනාවෛරසයම ය. කොරෝනාවෛරසය වූහාන් නගරයෙන් මතුවූ මුල් අවදියේ ම මෙම වෛද්‍යවරයා ලොවට අනතුරු එළිය දැල්වූයේ ය. එවක් පටන් ඔහුට හිමිවූ ජන ප්‍රසාදය අති මහත්ය.

මේ වෛද්‍යවරයා රෝගී වීමෙන් අනතුරුව වුහාන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු සේවය කරමින් සිටියේ ද එම රෝහලේම ය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එකිනෙකට පරස්පර වාර්තා චීන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළවිය. පසුගිය ජනවාරියේදී වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගිය බව වූහාන් රෝහල සනාථ කළේය. මිය යනවිට ඔහු 34 හැවිරිදි විය.

2019 වසරේ දෙසැම්බරයේ දී, මෙම අභිරහස් වෛරසය පිළිබඳව සහ එහි අවදානම පිළිබඳව අනෙකුත් වෛද්‍යවරයන් දැනුවත් කරමින් ඔහු පණිවිඩ යවමින් සිටියේය. ගතවූයේ දින තුනක් පමණි. හදිසියේම පොලිස් කණ්ඩායමක් ඔහු හමුවට පැමිණියහ. මෙම පණිවිඩ යැවීම වහාම නතරකරන ලෙස දැනුම් දුන්හ.

රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදී මෙම වෛද්‍යවරයා රෝගාතුර විය. මිය යාමට ප්‍රථම සති තුනක් පමණ රෝහල්ගතව සිටියේය.

රෝහලේ ඇඳක් මත සිටියදී තමන්ගේ කතාව සමාජ මාධ්‍යයට මුදා හැරියේය. කොරෝනාවෛරසය ගැන පමණක් නොව චීන බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරය ගැන ද එහි ලියවී තිබුණි.

2019 දෙසැම්බරයේ දී කොරෝනාවෛරසය ආසාදිතයන් හත් දෙනෙකු රෝහලේ සිටිනු ඔහු දුටුවේය. මෙය සාර්ස් වෛරසයට සමාන විය හැකි බවට ඔහු සැක පහළ කළේය. සාර්ස් යනු 2003 වසරේදී ගෝලීය වසංගතයක් බවට පත් වෛරසයකි.

මෙම රෝගීන් පැමිණ ඇත්තේ හුවානාන් මාළු වෙළඳපොල පිහිටි ප්‍රදේශයෙනි. ඔවුහු වූහාන් රෝහළේ හුදෙකලා කර සිටියහ.

ලී වෙන්ලියැන්ග් 2019 දෙසැම්බර් 30 වැනිදා අනෙකුත් වෛද්‍යවරුන්ට පණිවිඩයක් යැව්වේය. එහි සඳහන් වූයේ මෙම වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා ආරක්‍ෂිත උපාංග පළඳින ලෙසයි.

මෙම වෛරසය අලුත්ම කොරෝනාවෛරසයක් බව වෛද්‍ය ලී, ඒ වනවිට දැන සිටියේ නැත. එම වෛරසය මුළු ලෝකයෙන්ම පලිගනිවී යැයි ඔහු දැන සිටියේ නැත.

Dr Li's post on Weibo

ඡායාරූප මූලාශ්‍රය, Weibo

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් රෝගී වීමෙන් පසුවත්, රෝහල් සේවකයන්ට ආසාදනය වී නොමැති බව බලධාරීන් පවසන්නේ මන්දැයි මෙම වෛද්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්නකර තිබුණි

දින හතරක් ගත විය. මෙම වෛද්‍යවරයාට පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා නියෝගයක් ලැබුණි. ඔහු පොලිසිය ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව ලිපියකට අත්සන් තබන ලෙස නියෝග කෙරිණි. මෙම ලිපියේ සඳහන් වන්නේ මෙම වෛද්‍යවරයා "ජන ජීවිතය අතිශය කලබලයට පත්කරවන ආකාරයේ සාවද්‍ය ප්‍රකාශ" සිදු කළ බවය.

"අපි දැඩි ලෙස ඔබට මෙයින් අවවාද කර සිටින්නෙමු: ඔබ හිතුවක්කාරී ලෙස ඉදිරියටත් මෙවැනි නීතිවිරෝධී, නොහික්මුණු ක්‍රියාවන්හි යෙදුනහොත් නිතිය ඉදිරියට ගෙන එන්නෙමු - එය තේරුම් ගෙන එකඟ වන්නේ ද?" මෙම වදන් පෙළට යටින් "ඔව්, එය තේරුම් ගතිමි," ලෙසින් වෛද්‍ය ලී වෙන්ලියැන්ග් ගේ අත්අකුරින් සටහන් කර තිබේ.

"කටකතා පැතිරවීම" යන චෝදනාව යටතේ ලී ඇතුළු අටදෙනෙකුට එරෙහිව පරීක්ෂණ පවත්වා ඇත.

2020 ජනවාරි අග භාගය වන විට, මෙම සිද්ධිය විස්තර කරමින් වෛද්‍ය ලී ඉහත කී ලිපියේ පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය.

අනතුරුව අදාළ පළාත් පාලන අධිකාරිය වෛද්‍ය ලී ගෙන් සමාව ඉල්ලා සිටියේය, නමුත් එම සමාව අයැදීම නිකුත් වන විට පමා වී වැඩිය.

ජනවාරි මාසයේ පළමු සති කීපය තුළ වූහාන් බලධාරීන් අවධාරණය කර සිටියේ, ආසාදිත වන සතුන් ස්පර්ශ කිරීමෙන් හැරෙන්නට මිනිසුන් හරහා මෙම වෛරසය ආසාදනය නොවන බවකි. මෙය සම්පුර්ණයෙන් ම වැරදි නිගමනයක් බව අප දැන් දනිමු. එවකට වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොතිබුණි.

කෙසේ නමුත් පොලිසියේ මැදිහත්වීම සිදු වී සතියකට පමණ පසුව වෛද්‍ය ලී, අක්ෂි ආබාධයක් සහිත කාන්තාවකට ප්‍රතිකාර කරමින් සිටියේය. ඇයට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව කිසිවෙකු දැන සිටියේ නැත.

පොලිසිය වෛද්‍යවරයාගෙන් අත්සන් ලබාගත් ලිපිය

ඡායාරූප මූලාශ්‍රය, Li Wenliang

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය වෛද්‍යවරයාගෙන් අත්සන් ලබාගත් ලිපිය
white spacer

ජනවාරි 10 වැනිදා වන විට තමන්ට කැස්සක් ඇතිවූ ආකාරය වෛද්‍ය ලී සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර කර තිබුණි. පසු දා උන වැළඳී තිබුණි. ඉන් දෙදිනකට පසුව ඔහු රෝහල්ගත විය. ඔහුගේ දෙමාපියන් ද රෝගාතුර වූ බැවින් රෝහල්ගත කරන්නට සිදු වී තිබේ.

දින 10කට පසුව - එනම්, ජනවාරි 20වැනිදා, මෙය හදිසි තත්ත්වයක් ලෙසට චීන ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ තවත් මාස දෙකකට පසුවය.

මේ කාලය වන විට ආසාදිතයන් සොයා කෙරුණු වෛද්‍ය පරීක්ෂණ එතරම් නිරවද්‍ය වූ බවක් පෙනෙන්නට නොතිබුණි. තමන් කීප වතාවක් ම කොරෝනාවෛරසය සඳහා පරීක්ෂාවට ලක් කෙරුණ නමුත් ඒ හැම වතාවකම තමන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබුණේ යැයි වෛද්‍ය ලී ප්‍රකාශ කර තිබුණි.

Dr Li Wenliang

ඡායාරූප මූලාශ්‍රය, Weibo

ඡායාරූප ශීර්ෂ වැකිය, ලී වෙන්ලියැන්ග් කටකතා පතුරුවන බවට පොලිසිය චෝදනා කර තිබුණි
white spacer

ජනවාරි 30වැනිදා වෛද්‍ය ලී යළිත් වරක් සමාජ මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කළේය.

"මා ආසාදිතයෙක් බව අද කෙරුණු වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ විය." මෙම පණිවිඩය සමඟ ඔහු ඉමෝජියක් ද සටහන් කර තිබුණි. එය දිව පහළට දිගුවී, ඇස් ලොකුකර බලන බල්ලෙකුගේ රූපයකි. මෙම පණිවිඩයට දහස් ගණනක් ප්‍රතිචාර ලැබී තිබුණි. එය පුදුමයට කරුණක් නොවේ.

"වෛද්‍ය ලී වෙන්ලියැන්ග් වීරයෙක්. මින් ඉදිරියට රෝග ව්‍යාප්තියක් පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීමට වෛද්‍යවරුන් ඉදිරිපත් නොවනු ඇත," යනුවෙන් එක් ප්‍රතිචාරයක ලියා තිබුණි.

"ආරක්‍ෂිත වූ මහජන සෞඛ්‍ය වාතාවරණයක් උදෙසා ලී වෙන්ලියැන්ග් ලා කෝටි ගණනක් අවශ්‍යයි." ඒ තවත් ප්‍රතිචාරයකි. නමුත් පෙබරවාරි 7වැනිදා (2020) ඔහු මිය ගියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 34ක් පමණි.

ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයාගේ මරණය සැලවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ මහජන කෝපය ගලා එන්නට විය.

"චීන ආණ්ඩුව ලී වෙන්ලියැන්ග් ගෙන් සමාව ගත යුතුයි," සහ "අපට භාෂණයේ නිදහස අවශ්‍යයි," යන උධෘත පාඨ සමාජ මාධ්‍ය වසාගෙන තිබුණි.

මිලියනයකට අධික ප්‍රතිචාර

"ඔබට දැන් දැනෙන හැඟීම අමතක කරන්න එපා. මේ කෝපය අමතක කරන්න එපා. මෙය යළි කවදාවත් සිදුවන්නට ඉඩ නොතැබිය යුතුයි," යනුවෙන් යමෙක් ලියා තිබුණි.

තමන් වෙත එල්ලවන වාග් ප්‍රහාරයන් හමුවේ ආණ්ඩුව මෙවැනි අදහස් වාරණය කරමින් සිටියේය. නමුත් දින, සති, මාස ගෙවෙමින් තිබියදී, මෙම වෛද්‍යවරයා වෙනුවෙන් පළවන ශෝකය පිළිගැනීමට බලධාරීන්ට සිදුවූ බවක් පෙනෙන්නට තිබුණි.

වසරක් ඇවෑමෙන්, ලී වෙන්ලියැන්ග් පළ කළ මුල්ම සමාජ මාධ්‍ය පෝස්ටුවට යටින් මිලියනයකට අධික ප්‍රතිචාර පළවී තිබේ.

එමෙන්ම, මෙම වෛද්‍යවරයා පිළිබඳව සොයා බැලීම සඳහා මිලියන ගණනක් ජනතාව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඇදී ආහ.

මේ මිනිසා එක් දරු පියෙකි. මියයන විට ඔහුගේ බිරිඳ තවත් දරුවෙක් කුස දරා සිටියාය. ටෙලි නාට්‍ය රසිකයෙකි. බැදපු කුකුල්මස් කෑමට ප්‍රිය කළ මිනිසෙකි.

මේ මිනිසාගේ සමාජ මාධ්‍ය ගිණුමට දිනපතා නානාප්‍රකාර උදවිය පැමිණ අදහස් හුවමාරු කරගෙන තිබුණි. ඇතැම්හු සුබ උදෑසනක් ප්‍රාර්ථනා කිරීමට පැමිණියහ. තවත් අයෙක් තමන්ගේ පෞද්ගලික ගැටලුවලට උපදෙස් පතා පැමිණියහ.

"සුභ උදෑසනක් වෛද්‍යතුමනි, හෙට මට ඉංග්‍රීසි විභාගයක් තියෙනවා. ඉහළින්ම සමත්වෙන්න පුළුවන් වෙයි කියල මම හිතනවා." කෙනෙකු ලියා තිබුණි. තවත් සමහරු තම ආදරය පිලිබඳ ගැටලු සාකච්ඡා කර තිබුණි. තවත් බොහෝ දෙනෙක් සාකච්ඡා කර තිබුණේ තමන්ගේ හිතට වද දෙන ප්‍රශ්න පිළිබඳව ය.

නමුත් ඔහුගේ මරණයෙන් වසරක් ගෙවී ගොස් තිබියදී චීනය මේ සාහසික වෛරසය පාලනය කර හමාරය. දැන් මේ වෛද්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් පලවන්නේ තරමක් ශුභවාදී ස්වරයකිනි.

මේ වන විට වූහාන් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට බොහෝ සෙයින් ළඟා වී ඇත. නමුත් සෙසු ලෝකය කෙතරම් වෙනස් වීමට නියමිතව තිබුණේද යන්න මේ වෛද්‍යවරයා දැන නොසිටියා විය හැකිය.

(වැඩි විස්තර සපයන ලද්දේ Yvette Tan විසිනි.)