කොංග්‍රස් ගොඩනැගිල්ලේ විරෝධතා: "මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්" - ජෝ බයිඩන්, වොෂිංටන් නුවරට ඇඳිරි නීතිය

Tear gas is used to disperse protesters at the Capitol building

ඡායාරූප මූලාශ්‍රය, Reuters

වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය.

ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ.

කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය.

කාන්තාවක් මිය යයි

කැපිටල් ගොඩනැගිල්ල

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය.

විදේශ නායකයෝ හෙලා දකිති

මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය.

ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව "දැඩි කම්පනයට පත් වූ" බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්" බවය.

ජෝ බයිඩන්

ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් "පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු," බව පැවසීය.

ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් හි සිට ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේ, "මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්" බවය. රූපවාහිනිය හමුවට ගොස් "මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න" යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප් ට කියා සිටියේය.

"ඔබ දැන් ගෙදර යා යුතුයි"

ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, "මා දන්නවා, ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා," යැයි විරෝධතාකරුවන්ට පැවසුවේ මැතිවරණය "සොරකම් කරලා" යැයි යළිත් වැරදි සහගත ලෙස කියා සිටිමිනි.

"හැම දෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි." යනුවෙන් කී ට්‍රම්ප් "මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපිට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි" ද කියා සිටියේය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය.

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි.

විරෝධතාකරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

විරෝධතාකරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි.

කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූ අතර ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදුණහ. ඉන් ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි.

අත්අඩංගුවට පත්වීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"අපට ඕනෑ ට්‍රම්ප්" යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගියහ.

කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින්
විරෝධතාකරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ප්‍රචණ්ඩ ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය.

විරෝධතාකරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විරෝධතාකරුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාකරුවෙක්

සිය අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්‍ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ "පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න" යනුවෙනි.

"ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි," යැයි ලියූ ට්‍රම්ප් "සාමකාමී වන්න" යැයි කියා සිටියේය.

ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය "කොල්ල කෑ" බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ.

ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් "ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින" බවය.

බෙදා හැරීම අවහිර කෙරුණු ට්විටර් පණිවුඩය

ඡායාරූප මූලාශ්‍රය, Twitter-

කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යන තත්ත්වය මත එතුළ කඳුළු ගෑස් ප්‍රහාර ප්‍රහාර එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

ධවල මන්දිර ප්‍රකාශිකා කයිලී මැක්එනානි පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් ගේ ඉල්ලීම මත ජාතික ආරක්ෂක බලමුළුව කැඳවා ඇති බවකි.