ලොක්ඩවුන් ගැන ලියා දේශද්‍රෝහී ලේබලය වැදුණු වූහාන් කත

ඡායාරූප මූලාශ්‍රය, Wu Baojian
- Author, ෆෑන් වෑන්ග් සහ ග්‍රේස් ත්සොයි
- Role, BBC ලෝක සේවය, හොංකොං
වූහාන් නගරය පුරා කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පැවති මුල් අවධියේ ලියා තැබූ දිනසටහන් හේතුවෙන් ඇය චීන ජාතිකවාදීන්ගේ උදහසට ලක්වී සිටින්නීය.
මෙම දින සටහන් වලින් විස්තර කෙරෙන්නේ වූහාන් වාසීන්ගේ ජීවිත ගැනය.
කෙසේ නමුත් තමන් නිහඬ නොවන බව ෆැන්ග් ෆැන්ග් (Fang Fang) නමැති චීන ලේඛිකාව පවසන්නීය.
"මෙවැනි විපතකට මුහුණ දෙන විට තමන්ගේ මතය පල කිරීම හා උපදෙස් ලබා දීම ඉතා වැදගත් වෙනවා." බීබීසී චීන අංශය සමඟ විද්‍යුත් තැපෑල ඔස්සේ කළ සාකච්ඡාවක දී ෆැන්ග් පැවසුවාය.
ජාත්‍යන්තර මාධ්‍යයකට මෙවැනි සාකච්ඡාවක් චීනයෙන් ලැබෙන්නේ කලාතුරකිනි.
පසුගිය ජනවාරියේ අගභාගය වන විට කොරෝනාවෛරසය හමුවේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත්කෙරුණු ලොව පළමු නගරය බවට වූහාන් වාර්තාගත විය.
ෆැන්ග් ගේ දිනසටහන් අන්තර්ජාලයට එක් වන්නට පටන් ගත්තේ එතැන් පටන් ය. වූහාන් නගරයේ ජීවත් වන මිලියන 11ක් වූ ජනයාගෙන් බහුතරයකට මෙම දින සටහන් අස්වැසිල්ලක් විය. ඔවුන් ද යම් යම් දේ හෙළිදරව් කරමින් මෙම අන්තර්ජාල සටහනට එක් විය.
65 හැවිරිදි මෙම ලේඛිකාව තම දින සටහන් අන්තර්ජාලයේ ලියා තැබුවේ Weibo ගිණුම හරහා ය. එය ට්විටර් වැනි චීන සමාජ මාධ්‍ය ජාලයකි.
65 හැවිරිදි ෆැන්ග් තම බලු සුරතලා සමඟ ගත කළ හුදෙකලා ජීවිතය පිළිබඳව මෙන්ම චීන බලධාරීන් මෙම වකවානුව තුළ ක්‍රියා කළ ආකාරයේ අඳුරු පැතිකඩ ද මෙම සටහන් හරහා වාර්තා වී තිබිණ.
මුලදී යහපත් ප්‍රතිචාර ලැබුන ද පසුව තත්වය වෙනස් විය. මෙය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස දුටු පිරිස ඊට දැඩි විවේචන එල්ල කරන්නට විය.
තම ක්‍රියාව හෙලා දැකීමට ලක්වූ නමුත් හඬක් නැගීම පිළිබඳව තමන් පසුතැවිලි නොවන්නේ මන්දැයි බීබීසී සියක් කාන්තාවෝ ලිපි පෙළ වෙනුවෙන් ෆෙන්ග් පැහැදිලි කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුළු ලෝකයෙන් ම වෙන් වී හුදෙකලා වීම තමන්ට දැනෙන්නේ කෙසේදැයි ඇය ලියා තැබුවාය. මරණයට පත් වන මිනිසුන් දැකීමෙන් තමන්ට ඇතිවන දුක සහ වේදනාව සටහන් කළාය. එමෙන්ම මෙම අර්බුදය හමුවේ නිසියාකාරව කටයුතු නොකරන බලධාරීන් පිළිබඳව සිය කෝපය ඇය කුරුටු ගෑවාය.
මෙය විවිධ මාධ්‍ය ඔස්සේ අගය කිරීමට ලක් විය. ප්‍රශංසා හිමි විය.
නමුත් මෙම සටහන් ජාත්‍යන්තර අවධානයට ලක් වීමත් සමඟ එම ප්‍රතිචාර වෙනතකට යොමු විය. මෙම දින සටහන් එක්සත් ජනපදයේ ප්‍රකාශකයෙකු විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙමින් පවතින බවට ප්රවෘත්ති පළවීමෙන් එය තවත් උත්සන්න විය.

ඡායාරූප මූලාශ්‍රය, Fang Fang
"වසංගත කාලේ තැබූ දින සටහන් 60ක් නිසා බලධාරීන් මාව දකින්නේ සතුරෙකු විදියට." ඇය පැවසුවාය.
ඇයගේ දින සටහන් පල නොකරන ලෙසට චීන මාධ්‍යවලට බලධාරීන් දැනුම් දී ඇතැයි ෆෙන්ග් පවසන්නීය.
සිය ග්රන්ථ මුද්‍රණය කොට බෙදා හැරීමෙන් චීන ප්‍රකාශන සමාගම් ඉවත් වී ඇත.
"එය ලේඛකයෙකුට කරන සැහැසි කමක්." ඇය බීබීසීයට පැවසුවාය.
"එහෙම වෙන්න ඇත්තේ මම රජය වර්ණනා කරනවාට වඩා සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි අනුකම්පාවක් දැක්වීම නිසා වෙන්න ඇති. මම ආණ්ඩුව අගය කරමින් ලිව්වේ නැහැ. ඒ නිසා මම වැරදිකාරියක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆැන්ග් ෆැන්ග් යනු ආරූඩ නාමයකි. ඇයගේ සැබෑ නාමය වැන්ග් ෆැන්ග් ය. ඇය පවසන පරිදි තමන්ට එරෙහි වී ඇත්තේ ආණ්ඩුව පමණක් නොවේ.
ඇයට පරිභව කොට එවා ඇති පණිවිඩ දහස් ගණනකි; ඒ අතර මරණ තර්ජන ද පවතී. සමාජ මාධ්‍ය මත ඇය ලේබල් කොට ඇත්තේ ද්‍රෝහියෙකු වශයෙනි. චීනයට පහර දීම සඳහා බටහිර රටවල් සමඟ කුමන්ත්‍රණය කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.
මෙම දින සටහන් ලිවීම සඳහා ඇමරිකානු ඔත්තු සේවය වන CIA සංවිධානයෙන් ඇයට මුදල් ගෙවා ඇති බවට ද ඇතැමුන් චෝදනා කර තිබුණි.
මෙම චෝදනා කෙතරම් විසකුරු දැයි තමන් විශ්මයට සහ වික්ෂිප්තභාවයට පත් වී සිටින බව ෆෙන්ග් පවසන්නීය.
"ඔවුන් මා කෙරෙහි දක්වන වෛරය මට තේරුම් ගන්න අපහසුයි. මගේ වාර්තා විෂය මූලිකයි; මෘදුයි." ඇය පැවසුවාය.
තමන් වෙත එල්ල වී ඇති ප්රහාරයන්, චීනයේ සංස්කෘතික විප්ලවය සිදු වූ 1966-1976 කාල වකවානුව සිහිපත් කරවන බව ෆෙන්ග් පවසන්නීය. එම කාලය ඇතුළත උගතුන්ට සහ බටහිර සමඟ සබඳතා ඇති පිරිසට එරෙහිව ප්‍රචණ්ඩකාරී පාලනයක් තිබුණු බව ඇය ප්‍රකාශ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
"විශේෂයෙන්ම සංස්කෘතික විප්ලවය සිදු වූ කාලයේ භාවිතයට ආ 'පන්ති අරගලය' සහ 'නිර්ධන පන්තියේ ආඥාදායකත්වය' වගේ වචන දැන් ආයෙත් මතුවෙලා. එහි තේරුම, චීන ප්‍රතිසංස්කරණයන් දැන් විනාශය සහ පිරිහීම කරා ගමන් කරමින් සිටිනවා."
ලොව සෑම අස්සක් මුල්ලක් කරා ම කොරෝනාවෛරසය ව්‍යාප්ත වූ ආකාරය බලන කල වූහාන් දින 76කට හුදෙකලා කර තැබීමට ගත් තීරණය නිවැරදි බව ෆෙන්ග් පවසන්නීය.
"වෛරසයේ තර්ජනය නොමැතිව අද අප ගෙවන ජීවිතය සඳහා අප ගෙවූ විශාල වන්දිය තමයි එදා ලොක්ඩවුන් වීම."
අප්‍රේල් මාසයේ පටන් මේ දක්වා වූහාන් නගරය තුළින් කිසිදු කොවිඩ් 19 රෝගියෙකු වාර්තා වී නොමැත.
"දැඩි ක්‍රියාමාර්ග නොගත්ත නම් වූහාන් නගරයේ තත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට එන්න තිබුනා. ඒ නිසා මම රෝග පාලන ක්‍රියාමාර්ග සියල්ලටම මගේ සහයෝගය පල කළා." ෆෙන්ග් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඇය තව දුරටත් කියා සිටියේ චීනය දෙස බලා අනෙකුත් රටවල්වලට ද පාඩම් ඉගෙන ගත හැකි බවය.
"වෛරසය ව්‍යාප්ත වූ කාලය ඇතුළත සියලු ජන ඒකරාශී වීම් තහනම් කෙරුනා. සියලු දෙනා මුව ආවරණ පැළඳිය යුතු වුනා. නිවාස සංකීර්ණවලට ඇතුළු වීම සඳහා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දුන් QR කේත අවශ්‍ය වුනා. මම හිතන්නේ මේ වගේ ඉතා හොඳ පියවර ගැනීම නිසා තමයි චීනයට මේ වෛරසය පාලනය කරන්න හැකි වුණේ."
උගත් පාඩම්
වෛරසය පාලනය කරගැනීම අතින් චීනය සාර්ථක වූ නමුත් මුලදී බලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කළ යුතුව පවතින බව ෆෙන්ග් ගේ මතයයි.
"මෙය පාලනය කර ගැනීම සඳහා එතරම් කාලයක් ගත වූයේ ඇයිදැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වුණේ නැහැ." ෆෙන්ග් ප්‍රකාශ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම වෛරසය "වැළක්විය හැකි සහ පාලනය කළ හැකි" බව මුලදී ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ ඇයිදැයි ෆෙන්ග් ප්‍රශ්න කරන්නීය.
කෙසේ නමුත් මෙම වසංගතයෙන් චීනය පමණක් නොව ලෝකයම පාඩම් ඉගෙන ගත යුතු බව ඇය පැවසුවාය.
"මානව අහංකාරකම සහ නොසැලකිල්ල නිසා තමයි වෛරසයට මේ තරම් පුළුල් ලෙස දිගු කාලයක් තිස්සේ ව්‍යාප්ත වෙන්න පුළුවන් වුනේ."
ෆෙන්ග් ගේ දිනසටහන් මහාචාර්ය මයිකල් බේරී විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදි.
"ඇය රාජ්‍ය විරෝධී කාන්තාවක් නොවෙයි. ආණ්ඩුව පෙරළිය යුතු බව ඇය පවසන්නේ නැහැ. වූහාන් ලොක්ඩවුන් කළ සමයේ තමන් දැකපු දේ, තමන්ට හිතුණු දේ සහ තමන් අත්දුටු දේ වාර්තා කළ එක් පුද්ගලයෙක් පමණයි." මහාචාර්යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Zhang Jinfan
කෙසේ නමුත් එමගින් විශාල ප්‍රශ්න කීපයක් විමසිල්ලට ලක් කෙරෙන බව ඔහු පවසයි.
"වසංගතය හැසිරවූ ආකාරය පමණක් නොවෙයි; චීන වැසියන්ට අවශ්‍යව පවතින්නේ කොයි ආකාරයේ සමාජයක් ද යන්නත් ඉන් ප්‍රශ්න කෙරෙනවා."
ලොක්ඩවුන් සමය පුරා ෆෙන්ග් ගේ තනියට සිටියේ සිය බලු සුරතලා පමණි. 16 හැවිරිදි එම බලු සුරතලා පසුගිය අප්‍රේල් මාසයේ දී මිය යාම ඇගේ ජීවිතයට දැඩි කම්පනයක් ගෙන ආවේය. නමුත් ඇය එය විඳ දරා ගත්තාය.
කවදා හෝ තමන්ගේ ම රට තුළ තම ග්රන්ථ යළි ප්රකාශනයට පත් වේය යන අපේක්ෂාවෙන් ෆෙන්ග් තවමත් ලියමින් සිටින්නීය.
ඒ සටහන් ලිවීම ගැන කිසිදු පශ්චාත්තාපයක් නොමැති බව ද ඇය පවසන්නීය.
"මම කවදාවත් නිහඬ වීමට එකඟ වෙන්නේ නැහැ."
(වැඩි විස්තර ලාරා ඔවන් ගෙනි)
BBC 100 Women names 100 influential and inspirational women around the world every year, and tells their stories. Follow us on Instagram and Facebook and join the conversation, using#BBC100Women.











