ඇමෙරිකානු ජනපතිවරණය 2020: ක්‍රිස්තියානි භක්තිකයන් ජයග්‍රාහකයා තීන්දු කළ හැකි ආකාරය

"දෙවියන් වහන්සේ අපව මැවුවේ උන් වහන්සේගේම රූපකායෙන්, ඒ නිසා අපි සියලු දෙනාම එක් පුද්ගලයෙක්."
"උන් වහන්සේ අපට ආදරෙයි, උන් වහන්සේට අවශ්‍ය අපි සියලු දෙනා එකිනෙකා සමඟ සතුටෙන් ඉන්නවා දකින්න, බෙදිලා නෙවෙයි."
19 හැවිරිදි රෝස් ඕර්ටිස් ඇමෙරිකානු ජනපතිවරණයේ සිය අපේක්ෂා ගැන මෙම ලිපිය සැකසූ වාර්තාකාරිය සමඟ අදහස් දැක්වූයේ උතුරු කැරොලිනාවේ චාලට් නගරයේ පිහිටි සිය නිවසේ සිට 'සූම්' (zoom) ඔස්සේය. මෙවර ජනපතිවරණය ඇය පළමුවරට ඡන්දය භාවිත කරන අවස්ථාවය.
ඇමෙරිකානු ඉතිහාසයේ වැදගත්ම මැතිවරණය ලෙසින් ඇතැමුන් හඳුන්වන ඡන්ද විමසීමට තවත් තිබෙන්නේ සති කිහිපයක් පමණි.
සංගීත ශිල්පීන්ගේ පෝස්ටර් ගොඩක් මැද අසුන්ගෙන සිටින රෝස්, තමන් අදහන කිතුනු දහම සහ එය තමන්ගේ ඡන්දයට බලපාන්නේ කෙලෙසද යන්න ගැන සෙමෙන් එහෙත් ඉතා උද්‍යෝගයෙන් අදහස් දැක්වූවාය.

දැඩි ආගමික සම්බන්ධතා තිබෙන අපේක්ෂකයන් දෙදෙනා අතරින් සිය ඡන්දය භාවිත කළ යුත්තේ කවර අපේක්ෂකයාට ද යන්න ගැන සති ගණනක් මුළුල්ලේ කල්පනා කළත් රෝස් ට තවමත් තීරණයකට එළඹිය නොහැකිය.
ඇමෙරිකානු ඉතිහාසයේ පළමු වතාවට එරට විශාලතම වාර්ෂික ගබ්සා විරෝධී රැලියට සහභාගි වූ ජනාධිපතිවරයා වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි ඇය තුළ ප්‍රසාදයක් පවතී. ඒ පසුගිය ජනවාරි මාසයේදී ය.
"ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට, දෙවියන් වහන්සේ කිසිම ගබ්සාවක් දකින්න කැමති නැහැ," ඇය පවසයි. "ඒක මම ට්‍රම්ප් ගේ පාර්ශවය එක්ක එකඟවෙන දෙයක්."
ජෝ බයිඩන් ගේ කතෝලික විශ්වාසය රෝස් ට ද සමීප වුව ද, තරුණ ක්‍රිස්තියානි ප්‍රජාව සමඟ සම්බන්ධවීම පිණිස ඔහු තවත් බොහෝ දේ කළ යුතු බව ඇය ගේ හැඟීමය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම් රටවල ආගම සහ දේශපාලනය බද්ධ නොවුව ද, ඇමෙරිකාවේ පවතින්නේ ඊට වඩා වෙනස් වාතාවරණයකි.
උතුරු කරෝලිනා වැනි ප්‍රාන්තවල ආගම යනු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක ලෙසින් බලපාන සාධකයකි. ඇමෙරිකාවේ 'බයිබල් මාවතේ' කොටසක් වන එය ප්‍රධාන ගණයේ දෝලනය වන ප්‍රාන්තයකි. එනම්, එහි ප්‍රතිඵලය ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ජෝ බයිඩන්ට පක්ෂව විය හැකිය.
යළි ජනපති පදවියට තේරී පත්වීම පිණිස, ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ප්‍රාන්ත ජයගත යුතුය. 2016 දී ඔහු උතුරු කැරොලිනාව ජයගත්තේ හිලරි ක්ලින්ටන් 4% කට වැඩි ප්‍රතිශතයකින් පරාජය කරමිනි.
මෙවර තරගය ඊට වඩා කරට කර බව ජනමත සමීක්ෂණවල දැක්වේ. මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වනවිට උතුරු කරෝලිනාව තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ 1% කටත් වඩා අඩු ප්‍රතිශතයකිනි.
ජනපති අපේක්ෂකයන් දෙදෙනාම පැහැදිලිවම ආගම සිය ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් කරගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කිතු දහම ආරක්ෂා කිරීම පිණිස සුදුසුම අපේක්ෂකයා තමන් බව ඇමෙරිකාවට වටහා දීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අපේක්ෂාවය.
ඔහුගේ ප්‍රතිවාදී ජෝ බයිඩන් පවසන්නේ, මෙවර ජනපතිවරණය ජාතියේ ආත්මය ('හදවත') වෙනුවෙන් කෙරෙන සටනක් බවය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දදායකයන් අතුරින් හතරෙන් තුනකට වඩා ක්‍රිස්තියානි භක්තිකයන්ය.
සුදු ජාතික ඉවැන්ජලික ඡන්දදායකයින් 2016 මැතිවරණයට එල්ල කළ බලපෑම බොහෝ සේ සාකච්ඡාවට බඳුන් වූවකි.
ඔවුන් සෑම දස දෙනෙකුගෙන්ම අට දෙනෙකුට වැඩි පිරිසක් ඒ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව ජනමත සමීක්ෂණවල දැක්වුණ අතර, ඔවුහු තවමත් ජනපතිවරයාගේ ඡන්ද පදනම නියෝජනය කරති.
එහෙත් කළු ජාතික ක්‍රිස්තියානි කාන්තාවක ලෙසින්, විවිධ ජාතීන් කතෝලික සභාව නියෝජනය කරන බව තමන් දන්නේ යැයි වාර්තාකාරිනිය පවසයි.
එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරය සුදු ජාතික ඉවැන්ජලික භක්තිකයන් නොවන අතර, වාමාංශික දේශපාලන ව්‍යාපාරවල හඬ ද ඉස්මතුවෙමින් පවතී.
පසුගිය මාස කිහිපය මුළුල්ලේ තමන් දැඩි තරගකාරී ප්‍රාන්තයක් වන උතුරු කැරොලිනාවේ මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගත් බව ද වාර්තාකාරිනිය කියා සිටී.

රෝස් වැනි ස්පාඤ්ඤ භාෂාව කතා කරන (හිස්පැනික්) ඡන්දදායකයෝ මේ වසරේ මැතිවරණයේ විශාලතම වාර්ගික සුළුතර කණ්ඩායම වන අතර, ඔවුහු සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් 13% කට මඳක් වැඩිය.
එහෙත් අනෙක් සුළු ජාතීන් මෙන් නොව ඔවුන් සිය ඡන්දය භාවිත කිරීමේ සම්භාවිතාව අඩුය.
"1996 සිට සෑම ජනපතිවරණයකදීම සිය ඡන්දය භාවිත කළ හිස්පැනික් ඡන්දදායකයන් පිරිස ඡන්දය නොදුන් පිරිසට වඩා අඩු," බව Pew පර්යේෂණ ආයතනය පවසයි.
සාමාන්‍යයෙන් හිස්පැනික් ක්‍රිස්තියානි භක්තිකයන් සැලකෙන්නේ අවසාන මොහොතේ සිය ඡන්දය තීරණය කරන පිරිසක් ලෙසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජනපදයේ හිස්පැනික් ඡන්දදායකයන් අතරින් අඩක් පමණම කතෝලිකයන් වන අතර, ඔවුන්ගේ සමාජමය ආකල්ප ගතානුගතිකවාදීය. එහෙත් සංක්‍රමණිකයන් සම්බන්ධ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිය හේතුවෙන් ඔවුන්ට ඔහුට සහය දීම ද දුෂ්කර කරුණකි.
රෝස් ගේ මව හොන්ඩියුරාස් හි කාන්තාවකි. ඇයට එක්සත් ජනපදයේ රැඳි සිටීමට අවසර ලැබුණු තාවකාලික වීසා වැඩසටහනේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී.
මේ අවිනිශ්චිතභාවය සිය පවුලට බලපා ඇති අන්දම ගැන අදහස් දක්වද්දී ඇය හඬන්නට විය.
"මට අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන් වුණා නම් මම කැමති සංක්‍රමණිකයන්ට අවස්ථාව දෙන අපේක්ෂකයෙකුට. රටින් පිටුවහල් කරාවි කියල බයෙන් ඉන්නේ නැතුව ඔවුන්ට මේ රටේ නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව දෙන්න."


ක්‍රිස්තියානි භක්තිය සම්බන්ධයෙන් උතුරු කැරොලිනාවට තිබෙන්නේ පොහොසත් ඉතිහාසයකි.
දකුණේ චාලට් නගරය, ලෝක ප්‍රසිද්ධ ඉවැන්ජලිකයෙකු වන බිලි ග්‍රැහැම් උපන් ස්ථානයයි. ඔහුගේ පුත් ෆ්‍රැන්ක්ලින් ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහය දක්වයි.
උතුරේ ග්‍රීන්ස්බරෝ, කළු ජාතික ඉවැන්ජලික දේවගැතිවරයෙකු වන ආචාර්ය විලියම් ජේ බාබර් ගේ නගරයයි.
ඔහු සමාජ සහ ආර්ථික සාධාරණය වෙනුවෙන් රට පුරා දියත්ව තිබෙන Poor People's Campaign නම් ව්‍යාපාරයේ ප්‍රධානියාය.
වෙස්ලි මොරිස් දේවගැතිවරයා එම ව්‍යාපාරයේ සාමාජිකයෙකි.

අසාධාරණයට එරෙහිව නැගී සිටීම බයිබලයේ දැක්වෙන යුතුකමක් බව ඔහුගේ අදහසය.
"මම, සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් එක්ක ගැටුම් සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තියෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයෙක්. දේශනා පවත්වන්න නැගී සිටින හැම මොහොතකම මම ඒක හිතනවා."
පසුගිය ජනපතිවරණයේ දී කළු ජාතික ඡන්දදායකයන්ගේ සහභාගිත්වය බරපතල ලෙස අඩුවිය. 2012 දී එය 66.6% ක් වූ නමුත් 2016 දී එය 59.6% ක් බවට පත්විය.
කළු ඇමෙරිකානුවන්ගේ ඡන්ද ප්‍රතිශතය එසේ 7% කින් අඩුවීම ඉතිහාසයේ වැඩිම බිඳ වැටීම විය. Pew පර්යේෂණ ආයතනය පවසන පරිදි වසර විස්සක් ඇතුළත වැඩිම කඩා වැටීම එය විය.
ඇමෙරිකාවේ කළු ජාතික පල්ලිය ඓතිහාසිකව දැවැන්ත බලපෑමක් එල්ල කරන්නට සමත් වූවකි.

"කළු ජාතිකයන්ගේ පල්ලිය බොහොම ඉහළ ස්ථානයක හිටියේ. මෑතදී බරක් ඔබාමා ජනපති පදවිය දැරුවා. ඊට කලින් ඡන්දය නොදුන් බොහෝ දෙනා බරක් ඔබාමාට ඡන්දය දුන්නා," 28 හැවිරිදි මයිකල් බ්‍රික්හවුස් දේවගැතිවරයා පවසයි.
"බරක් ඔබාමා වෙනුවෙන් ජනතාව ගොනුකරන්න පුළුවන් වුණත් හිලරි ක්ලින්ටන් වෙනුවෙන් අපිට ඒක කරන්න ලැබුණේ නෑ."
ඔහු කොරෝනාවෛරසය ගැන කතා කරයි. මේ වසංගතය මගින් ඇමෙරිකාවේ වාර්ගික අසමානතාව තවදුරටත් පෙන්වා දී තිබේ; වෛරසය සහ රැකියා අහිමිවීම සුදු ජාතිකයන්ට සාපේක්ෂව කළු සහ ලතින් ඇමෙරිකානු ජාතිකයන්ට අසමාන ලෙසින් බලපා තිබේ.
බ්‍රික්හවුස් දේවගැතිවරයා ප්‍රාන්තයේ රැලේ අගනුවර පිහිටි සිය දේවස්ථානයේ නොමිලේ ආහාර බෙදාදෙන සේවාවක් ද පවත්වාගෙන යයි. වසංගතය හේතුවෙන් ඒ සඳහා දස ගුණයකින් ඉල්ලුම ඉහළ ගොස් තිබේ.
"ජනාධිපති ට්‍රම්ප් ක්‍රිස්තියානි හර පද්ධතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියල මම විශ්වාස කරන්නේ නෑ," ඔහු පවසයි. "මම හිතන්නේ ආයෙත් බලයට පත්වෙන්න ජනාධිපති ට්‍රම්ප් ක්‍රිස්තියානි දහම ඉලක්ක කරමින් ඉන්නවා."

පැහැදිලිවම ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති අගය කරන ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. රොන්ඩා ඇලන් ඒ අතරින් කෙනෙකි.
වෙඩි තැබීම පුහුණුකරවන්නියක වන ඇය විශ්වාස කරන්නේ තුවක්කුවක් ළඟ තබා ගැනීම දෙවියන් වහන්සේගෙන් ලද අයිතියක් බවය.
"මේක මගේ අදහස. ආධ්‍යාත්මික යුද්ධය. මේක යක්ෂයාට එරෙහි යහපත. ක්‍රිස්තියානිවරු කියන්නේ මහ පොළවේ දෙවියන් වහන්සේගේ හමුදාව."
ඩොනල්ඩ් ට්‍රම්ප් "ක්‍රිස්තියානිවරුන්ගේ මිතුරෙකු" බව සනාථ කොට ඇතැයි පවසන රොන්ඩා තමන් එවැන්නක් ජෝ බයිඩන් ගෙන් දැක නැති බවද පවසන්නීය.
විශේෂයෙන්ම ගබ්සාව වැනි කරුණු සම්බන්ධ වත්මන් නීති වෙනස් කිරීම පිණිස රටේ ඉහළම අධිකරණයේ බලය අත්පත් කරගැනීම අවශ්‍ය බව අයගේ අදහසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අන් බොහෝ රටවල නොමැති ආකාරයට එක්සත් ජනපදය තුළ ආගම දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කරයි.
2016 දී සිය මෙතෝදිස්ත ආගමට ඇති බැඳීම යටපත් කරගැනීම සහ ක්‍රිස්තියානි ප්‍රජාව වෙත ආමන්ත්‍රණය නොකිරීම හිලරි ක්ලින්ටන් ගේ පරාජයට හේතුව වූ බව වරින් වර තමන්ට දැනගන්නට ලැබුණු බව මෙම වාර්තාකාරිනිය පවසයි.
එය බරක් ඔබාමා අනුගමනය කළ ක්‍රියාමාර්ගයට හාත්පසින්ම වෙනස් වූවක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බීබීසී මාධ්‍යවේදිනියක ලෙස යමක් වාර්තා කරන විට තමන්ගේ හැඟීම් අනුව කටයුතු කළ නොහැකි වුවත් මෙය තමන්ට ඉතා සංවේදී වූ කතාවක් වූ බව මෙම වාර්තාකාරිනිය පවසන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු කැරොලිනාවේ දී තමන් සමඟ අදහස් දැක්වූ සෑම දෙනාම සිය රටට ආදරය කරන අතර ඇමෙරිකාවේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන පසුවන්නේ කණස්සල්ලෙන් බව ඇය කියා සිටී.
ඔවුන් සියලු දෙනාම පාහේ පොදුවේ කියා සිටි එක් දෙයක් විය; එනම් සිය අදහස් සියල්ල පදනම් වන්නේ බයිබලය මත බවය.
ඇමෙරිකාවේ බොහෝ ක්‍රිස්තියානිවරු දේශපාලනය දකින්නේ ආගම තුළිනි. එබැවින් මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මකම සාධකය යේසුස් වහන්සේ විය හැකිය.
(ගෝලීය ආගම් පිළිබඳ වාර්තාකාරීනි ලෙබෝ දිසෙකෝ විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් ඇසුරිණි)
මෙම තොරතුරු ද දැනගන්න:








