ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දොළොස් මසක්, ජීවිත දොළහක්: ඉන්දියාවේ 'බහුතරයේ සතුට, කාශ්මීරයට කඳුලක්'
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාශ්මීරය වෙත ලබා දී තිබූ සුවිශේෂී ස්වයං පාලන බලතල ඉන් ඉවත් කර, එය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන කලාප දෙකකට බෙදා වෙන් කිරීමට ඉන්දීය ආණ්ඩුව විසින් පියවර ගනු ලැබුවේ 2019 අගෝස්තු 05 වෙනිදාය. ඒ සමග කාශ්මීර කලාපය තුළ දැඩි ඇඳිරි නීතියක් සමඟ සංචරණ සීමා (ලොක්ඩවුන්) පනවන ලද අතර සන්නිවේදන ජාල අවහිර කර දහස් ගණනක් රැඳවුම් භාරයට ගනු ලැබිණි.
2020 මාර්තු මස ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම ආරම්භ වුව ද කෝවිඩ්-19 වසංගතය හමුවේ එම සීමා යළි පැනවිණි. එය දොරගුළු වසා දමා, කෝපයෙන් සහ බියෙන් යුතුව ගත වුණු වසරකි. එකී දොළොස් මස තුළ තමා දිවි ගැටගසාගත් ආකාරය පිළිබඳ කාශ්මීර වැසියන් 12 දෙනෙකු බීබීසීය වෙත අදහස් පළ කළේය.
26 හැවිරිදි සනා ඉර්ෂද් මැටූ
"අපේ මේ වෘත්තීය තුළ පෞද්ගලිකත්වය සහ වෘත්තීය ජීවිතය වෙන් කර තබන්න බැහැ," යනුවෙන් වසර කිහිපයක සිට මාධ්‍යවේදිනියක් වශයෙන් කටයුතු කරන මැටූ පවසන්නීය.
"මීට කලින් අවුරුදුවලත් අපි ලොක්ඩවුන්වල ජීවත් වෙලා තිබෙනවා. ඒත් ගිය අවුරුද්දේ, තැතිගත් මානසිකත්වයක් සහිත වටපිටාවක් පැවතුනේ. වෙන්නේ කුමක්ද කියා අපි දැන සිටියේ නැහැ. අපි අතර සන්නිවේදන සිදු කරන ආකාරය වෙනස් වුණා. අපේ හඬ ඇසෙන්න සලස්වන්න වෙනත් ක්‍රම සොයා ගත්තා."
ආරක්ෂක අංශ සාමාජිකයන් වාර්තාකරුවන් කෙරෙහි දැක්වූ තරමක කෝපකාරී ආකල්පය පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු තවදුරටත් වර්ධනය වූ බව මැටූගේ අදහසය.
"දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා, අත්අඩංගුවට පත් වෙනවා, ඔවුන් තොරතුරු ලබා ගන්න මූලාශ්‍ර හෙළි කිරීමට බල කෙරෙනවා. සමාජ ජාල තුළ පොස්ට් එකක් දාන්න කලින් දෙතුන් වරක් හිතන්න වෙනවා, මොකද මාත් වැඩ කළ යුතුයි. සෑම මොහොතකම බයක් දැනෙනවා."
"ගෙදර අය මා ගැන යම් බියකින් පසු වෙනවා. ඒත් මගේ වෘත්තීය සම්බන්ධ දේවල් මම ගෙදර අයට කියන්නේ නැහැ. මම ඒ දේවල් ගැන ඔවුන් සමග කතා කරන්නේ නැහැ. සමහර අවස්ථාවල බොරු කියන්නත් සිද්ධ වෙනවා."
55 හැවිරිදි අල්තෆ් හුසේන්
අගෝස්තු 05 වෙනිදා ආණ්ඩුව දුන් නියෝගයෙන් පසු, මුලින්ම මරණයට පත් පුද්ගලයන් අතර අල්තෆ් හුසේන්ගේ පුතු ද වෙයි.
තමා ලුහුබැඳ ආ හමුදා භටයින්ගෙන් බේරීමට අසල වූ ගඟකට පැන ඇති 17 හැවිරිදි උසේයිබ් අල්තෆ් එහිදී දියේ ගිලී ඇත. නමුත් ආරක්ෂක අංශ එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
වසරක් ගතව ඇතත් ඔහුගේ මරණය තවමත් නිල වශයෙන් පිළිගෙන නැත. උසේයිබ් අවසන් හුස්ම හෙලූ රෝහලේ බලධාරීන් පවා ඔහුගේ පවුල වෙත මරණ සහතිකයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
"ෆුට්බෝල් ගහන්න ගිය පුතා ගෙදර ආවේ මිනී පෙට්ටියෙන්. ඒ දවසේ කවුරුත් මැරුණේ නැති බව පොලිසිය තදින්ම කියා සිටිනවා. ඔහු මරා ගත්ත බව ඔවුන් පිළිගන්නේ නැහැ. ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටියත් ඔවුන් පැමිණිල්ල ලියා ගන්නේ නැහැ. අපි පොලිසියට, අධිකරණයට ගියා. ඒත් සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැහැ."
6 හැවිරිදි මුනීෆා නසීර්
කුඩා මුනීෆා, ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර විරෝධතාවක් හට ගැනීමෙන් පසු සිදු වූ වෙඩි තැබීමකට මැදි විය.
කැටපෝලයකින් එල්ල වූවා යයි සිතිය හැකි පහරක් ඇයගේ දකුණු ඇසට වැදිණි.
"මම දවස් ගානක් රෝහලේ ගත කළා. ඒත් දැන් ඒ ගැන එච්චර මතක නැහැ. මට ඉස්කෝලේ පාඩම් අමතක වෙලා ගිහින්. මම ඉස්කෝලේදී ලකුණු සීයෙන් සීයම ගත්තා. මගේ ඇහැ සනීප වුණාම මම දොස්තර කෙනෙක් වෙනවා. මම දොස්තරලට කැමතියි, මොකද මට සනීප වෙන්න ඔවුන් උදව් කළා" යනුවෙන් ඇය සඳහන් කළාය.
ප්‍රාදේශීය පුවත් ආයතනයක කැමරා ශිල්පියෙකු වශයෙන් සේවය කරන ඇයගේ පියා පවසන්නේ සිය දියණියගේ ඇසේ පෙනීම සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවය. තවදුරටත් පාසල් ගාස්තු ගෙවීම දුෂ්කර බැවින් ඇය ඉන් ඉවත් කර ගැනීමට ඔහුට සිදු විය.
"මට පෙන්නේ ඡායාව විතරයි. මට පොත් කියවන්න බැහැ. මම කොහෙවත් යන්නේ නැහැ. දවස් පහළොවකට පස්සේ ඉස්කෝලේ යන්න පුළුවන් වේවි කියල දොස්තරලා කිව්වා. ඒත් දැන් අවුරුද්දක් ගත වෙලා." යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.
34 හැවිරිදි ෆාරුක් අහ්මඩ්
අහ්මඩ්, පොඩි තැනින් පටන් ගෙන ඉහළ නැගි අයෙකි.
ඔහු රැකියාව ආරම්භ කළේ ගැටවර වියේදීමය. ඒ ඉන්දීය පාලිත කාශ්මීරයේ අග නගරය වන ශ්‍රීනගර් හි බස් අංගනයක රියදුරු සහායකයෙකු වශයෙනි.
සිය බිරිඳගේ කණකර විකුණා, අත ඉතිරි කර ගෙන සිටි මුදල් ද යොදවා ඔහු තමාටම කියා බස් රථයක් මිලට ගත්තේ 2003 වසරේදීය.
අද වන විට ඔහු, හවුල්කරුවෙකුගේ උපකාර සහ බැංකු ණය ඇතිව මිලට ගත් බස් රථ හතක හිමිකරුවෙකි. එහෙත් ඔහුගේ බස් රථවලට වැඩ නැත. ප්‍රවාහනය, මේ වසරේදී කලාපය තුළ බරපතල ලෙසම බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර අතරින් එකකි.
"සතයක් හම්බ නොකර, රුපියල් 400,000 විතර වියදම් කරලා මේ අවුරුද්දට රක්ෂණ වාරික අලුත් කළා. මා ගාව වැඩ කරන හත් දෙනෙක් නොකා නොබී ජීවත් වෙන තත්ත්වෙට පත් වෙලා. මගේම පවුලේ අය දුක් විඳිද්දී මම කොහොමද ඔවුන්ගේ පවුල් ගැන සොයා බලන්නේ? අපි වගේ මිනිස්සු, නම්බුකාර විදිහට ජීවත් වෙන්න අපි සතුව තිබුණු වටිනා දේවල් විකුණා තිබෙනවා. අපි හරි හම්බ නොකරන කොට කොහොමද අපි, අපේ ණය තුරුස් ගෙවන්නේ?"
සිය ණය ගෙවා දැමීමේ උත්සහයක් ලෙසින් ඔහු දැන් කුලී වැඩවල නිරතව ආදායමක් උපයා ගැනීමට තැත්කරයි.
28 හැවිරිදි ඉක්රා අහ්මඩ්
ඉක්රා ඇයගේම විලාසිතා නිර්මාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. අන් කිසිවෙකු යටතේ වැඩ කිරීමට මනාපයක් නොවූ බැවින් මෙවැනි වෘත්තීයක් තෝරා ගත් බව ඇය පවසන්නීය.
ඇය පවසන්නේ, සිය විලාසිතා ඔස්සේ කාශ්මීර සංස්කෘතිය ප්‍රචලිත කිරීමට තමන්ට අවශ්‍ය බවය. ඉක්රා සිය නිර්මාණ අලෙවි කරන්නේ අන්තර්ජාලය (ඔන්ලයින්) ඔස්සේය.
"ඉන්ටර්නෙට් නවතා දැමීම මගේ ව්‍යාපාරයට දැඩි පහරක් වුනා. 2G වලින් එතරම් වැඩක් නැහැ. ඇමරිකාව, බුබායි සහ ඔස්ට්‍රේලියාව වගේ ලෝකයේ සෑම තැනම මගේ පාරිභෝගිකයෝ ඉන්නවා."
"ඒත් මගේ පාරිභෝගිකයන්ගෙන් වැඩි දෙනෙක් කාශ්මීර වැසියන්. 2G වලින් පිංතූර බලන්න බැරි නිසා ඔවුන්ට මගේ නිපැයුම් දැක බලා ගන්න බැහැ. මීට කලින් මට, සතියකට ඇනවුම් 100 ත් 110 ත් අතර ප්‍රමාණයක් ලැබුනා. දැන් ලැබෙන්නේ පහක් හෝ හයක් විතරයි."
ඇනවුම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් විදෙස් රටවල සිටින පාරිභෝගිකයන්ගේ කනස්සල්ල පළ වී තිබේ. මාස හයක කාලයකට පසු තමා වෙත ඇනවුමක් ලැබීම සම්බන්ධයෙන් එක් පාරිභෝගිකයෙක් ඇය වෙත සතුට පල කර ඇත. අන්තර්ජාල පහසුකම් නවතා තිබුණු කාලයේ එවන ලද පණිවිඩයකට (මැසේජ්) පිළිතුරු ලබා නොදීම හේතුවෙන් තවත් පාරිභෝගිකයෙකු ප්‍රතිචාරය පළ කර තිබුනේ "තොලොංචි වෙලා පල" යනුවෙනි.
"මෙහෙම ගියොත් තවදුරටත් මගේ ව්‍යාපාරය රැකේවී කියා මම හිතන්නේ නැහැ. මගේ මාසික වියදම රුපියල් 200,000 ට ලං වෙලා. මම කීයක්වත් හම්බ නොකළොත් මගේ සේවකයෝ හත් දෙනාට පඩි ගෙවන්නේ කොහොමද?"
24 හැවිරිදි බද්රුද් දූජා
"නීති ශිෂ්‍යයෙක් වශයෙන් මම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය, මූලික අයිතිවාසිකම් සහ නීතිය හරි හැටි ක්‍රියාත්මක වීම වැනි කාරණා පිළිබඳ ඉගෙන ගන්නවා. නමුත් මේවා හුදෙක් වචන පමණයි. අපිට පුද්ගල නිදහස නැති වෙමින් තිබෙනවා. සියලුම ශිෂ්‍යයන්ට සහ ගුරුවරුන්ට, නීතිය ඉගෙන ගැනීම විහිළුවක් බවට පත් වෙලා."
බද්රුද් තමන් විසින් තෝරා ගන්නා ලද වෘත්තීය සම්බන්ධයෙන් පවතින මුලාවෙන් මිදෙමින් සිටී.
"මිනිස්සු සමග කතා කිරීම කාලයක් අත්බෙහෙතක් වුණා. ඒත් දැන් කතා කිරීම නිසා හිරේ යන්න පුළුවන්. මාධ්‍ය වලට අදහස් දක්වපු මනුස්සයෙක් වෑන් රථයකට බලහත්කාරයෙන් ඇදල දාගත්ත විදිය කාශ්මීරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ආයතනයක පුහුණු වන්නෙකු වන මම වරෙක දුටුවා. අපේ අධ්‍යාත්මය විනාශ වෙමින් පවතිනවා. මේක සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු විරහිත තත්ත්වයක්. නීතිය පවත්වාගෙන යන අයට ඒ සඳහා පැඩියක් ගෙවනවා, ඒත්, ඒ අය විසින්ම ඊට හානි කරනවා දකින්න නෙමෙයි අපි නීතිය ඉගෙන ගත්තේ. මම දැන් වෙනත් රැකියාවක් සොයමින් ඉන්නේ."
29 හැවිරිදි මන්සූර් බට්
මන්සූර්, ඉන්දියාවේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියාය. කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කරනු ලැබුවේ පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසිනි.
භාරතීය ජනතා පක්ෂයට එක් වීම නිසා තමන් සිය පවුලෙන් නෙරපා හැර ඇති බව ඔහු පවසයි. ඒ හේතුවෙන් තමන් "අපාගත නොවනු ඇති බව" ඔහු කියා සිටී. ඒ වෙනුවට තමන් කලාපයේ ජනයාට උපකාරයක් කරන්නේ යයි හැඟෙන බව ඔහු සඳහන් කරයි.
"මගේ ඉලක්කය බලය හෝ මුදල් ඉපයීම නොව අන් අයගේ ජීවිත වෙනස් කිරීමයි. අපේ බාල පරපුර අවි අතට ගන්නවා, ඒත් ඒක විසඳුමක් නොවෙයි. කාශ්මීරයේදි මැරුණු අය මගෙත් සහෝදරයෝ, නමුත් ප්‍රචණ්ඩත්වය උත්තරයක් නොවෙයි."
35 හැවිරිදි ජාවෙඩ් අහ්මඩ්
'දල්' විල ශ්‍රීනගර් හි දර්ශනීය ස්ථාන අතරින් එකකි. සංචාරකයන් ඉහළ පහළ රැගෙන යන ජාවෙඩ් පුරා වසර විසි පහක් එහි ඔරු පදවන්නෙකු වශයෙන් ජීවිකාව ගෙන යයි. එය යහමින් මුදලක් ඉපයිය හැකි ජීවනෝපායකි. ඔහු එමගින් දිනකට රුපියල් පන්සියයක පමණ ආදායමක් ලබයි.
"දැන් ජීවිතේ ගැට ගහගන්න මට එළවලු විකුනන්න වෙලා. ඒත් ලොක්ඩවුන් කරලා තියෙද්දී බඩු ගන්න මිනිස්සු කොහෙද?" ඔහු ප්‍රශ්න කරයි.
සිය දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීම පවා දුෂ්කර වී ඇති බව ඔහු කියා සිටී.
"අපේ අනාගතය විනාශ වෙලා. සංචාරකයෝ බය නිසා මෙහෙ එන්නේ නැහැ. කාශ්මීරයේ හැමෝටම අමාරු කාලයක් මේක. ඒත් වැඩිම බලපෑම එල්ල වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තයටයි,"
එක් ඔරු පදවන්නෙකුට රුපියල් 1,000 බැගින් ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රතිඥා දී තිබුන ද එය මාසික විදුලි බිල්පත ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව ජාවෙඩ් පවසයි.
"මට කිසි බලාපොරොත්තුවක් නැති නිසා මම මේක දෙයියන්ට භාර දීල තියෙන්නේ."
12 හැවිරිදි ෆාලාහ් ශා
"ඉන්දියාවේ අන් සෑම තැනම ඉන්න සිසු සිසුවියන් ඉදිරියේ, හොඳම අධ්‍යාපන අවස්ථා පවතිනවා. මට මූලික අධ්‍යාපනය පවා ලැබෙන්නේ අඩුවෙන්. මේ මොහොතේ අපට වැදගත් පාඩම් මග හැරෙනවා නම්, ඉස්සරහට තරගකාරී විභාග සමත් වෙන්නේ කොහොමද?" ෆාලාහ් ප්‍රශ්න කරන්නීය.
"විද්‍යාව සහ ගණිතයට අදාළ මූලික පාඩම් මට අමාරුයි. ඉන්ටර්නෙට් නැති නිසා ඒවට උත්තර හොයන්න පුළුවන්කමකුත් නැහැ. දැන් ඉන්ටර්නෙට් තිබුනත් ස්පීඩ් එක හරිම අඩුයි. පොතක් කියවන්න හැදුවත් පාඩම් ගැන මූලික දැනුමක් නැති නිසා ඉන් ඵලක් වෙන්නේ නැහැ."
සිය පාසල - ගුරුවරුන් සහ මිතුරු මිතුරියන් මතක් වෙන බව ඇය පවසන්නීය.
"මම ගෙදරින් එලියට යන්නේ නැහැ. අවුරුද්දක් මම මෙතන හිර වෙලා. වෙන ප්‍රාන්තයක් අවුරුද්දක කාලයක් ලොක්ඩවුන් කරා නම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එළියට ඇවිත් උද්ඝෝෂණ කරාවි. ඔවුන් ගෙදරට වෙලා ඉන්න එකක් නැහැ. ඒත් අපිට උද්ඝෝෂණ කරන්න බැහැ. අපිව හිරේ දාන්න පුළුවන්."
43 හැවිරිදි සාජිද් ෆාරුක්
සාජිද් හෝටල් හිමිකරුවෙකි. පරම්පරා තුනක ව්‍යාපාරික පවුල් පසුබිමකින් පැවත එන ඔහු පවසන පරිදී කාශ්මීරය තුළ අනාගතයක් නොමැත.
ප්‍රාන්තය තුළ ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ පිබිදීමක ආරම්භය සටහන් වූ 1990 සිට තමා දැක ඇති මරණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඔහු මතකය අවදි කරයි.
"මේ හෝටලය ගොඩ නගන්න පරම්පරා තුනක් ගත වුනා. නමුත් 1990 සිට අපි දිවි ගැට ගහගන්නවා විතරයි."
ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බව ඔහු පවසයි.
"මගේ හෝටලයේ විදුලිය පාවිච්චි කළත් නැතත් මම ඒ සඳහා රුපියල් 200,000 ක් ගෙවිය යුතුයි. ඊට අමතරව තවත් වියදම් තියෙනවා. මේ දේවල් හොඳ අතට හැරෙන බවක් මට පේන්න නැහැ. කාශ්මීරය හඬා වැළපෙන දේ, රටේ අනෙක් අයට ප්‍රීතිමත් සැමරිල්ලක්. රටේ අනෙක් අය සමරන දේ අපට දුකක්. සෑම දේම දේශපාලනීකරණය වෙලා. සෑම දෙයක් තුළම ගැටුමක්. ඉතින් කොහොමද ව්‍යාපාරයක් ගෙනයන්නේ?"
35 හැවිරිදි බිලාල් අහ්මඩ්
බිලාල් කාශ්මීරයේ වෙසෙන පලතුරු ගොවියෙකි. පලතුරු ගොවිතැන කලාපයේ ප්‍රධාන කෘෂිකාර්මික ආදායම් අතරින් එකකි.
කාලගුණික වෙනස්කම් සහ ලොක්ඩවුන් නීති නිසා තම ඉඩම ද විකුණා දමන තැනට වැඩ සිදුව ඇති බව ඔහු පවසයි.
නොසිතූ පරිදී හටගත් හිම පතනය ඔහුගේ ඇපල් සහ පීච් ඵලදාවට හානි ගෙන දී තිබේ. ප්‍රමාණවත් තරම් කම්කරුවන් නොමැතිකම හමුවේ බෝගවලට අවශ්‍ය පොහොර ඉසීමට නොහැකිව අස්වැන්න අඩු වී ඇති බැවින් තත්ත්වය තවත් නරක අතට හැරී ඇත.
"අපිට වැඩ නැතිව අවුරුද්දක් වෙනවා. ඇපල් නිෂ්පාදනයෙන් රුපියල් 10,000 ත් 150,000 ත් අතර මුදලක් උපයන්න පුළුවන්කම තිබුනා. ඒත් මේ අවුරුද්දේ මට උපයා ගන්න පුළුවන් වුණේ රුපියල් 30,000 ක් පමණයි. මගේ සහෝදරයා පීච් පෙට්ටි 1,200 නෙළුවා. ඒත් ගැනුම්කරුවෝ නැති නිසා ඉන් වැඩි හරියක් විසි කර දාන්න වුණා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් මට ඉඩම විකුණා දාන්න වේවි. මම වෙන වැඩක් දන්නේ නැහැ, මම වැඩිය ඉගෙන ගෙන නැහැ."
49 හැවිරිදි මොහොමඩ් සිදික්
මොහොමඩ් මැටි කර්මාන්තයේ නිරතවන්නෙකි. අමුද්‍රව්‍ය සොයා ගත නොහැකි බැවින් ඔහුගේ රැකියාව අතරමග නැවතී තිබේ.
ප්‍රදේශයෙන් බැහැර කොන්ත්‍රාත්කරුවන්ට වැලි ගොඩ දැමීමේ සහ ගල් කැඩීමේ බලපත්‍ර ලබා දීමට ප්‍රාන්ත ආණ්ඩුව මෑතකදී කටයුතු කිරීම නිසා මොහොමඩ් වැනි ප්‍රදේශයේ වෙසෙන දහස් ගණනකට වැඩ නැති විය.
"ආණ්ඩුව පස් කැපීම තහනම් කර තිබෙනවා. ඒක අධිකරණ නියෝගයක් බව ඔවුන් කියනවා. ඒත් අවුරුදු ගානක් යනකම් මේ අධිකරණ කොහෙද තිබ්බේ? අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ පවුල් ගැන මේ නඩුකාරයෝ හිතන්නේ නැද්ද? ඔවුන්ට ඕන අපි බඩගින්නේ මැරෙනවා දකින්නද? ලොක්ඩවුන් සීමා නිසා මගේ එක බඩුවක්වත් විකිණෙන්නේ නැහැ. මම මැටි බඩු අලුතෙන් හදන එක නැවැත්තුවා. ඒ වෙනුවට කුලී වැඩක් කරනවා."
ඡායාරූප: අබිද් බට්, ජෙහන්ගීර් අලී විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි.
කාශ්මීරයට අදාළ තවත් පුවත්: