පැරසිටමෝල් සහ ඉබුප්‍රොෆෙන් ගැන අලුත් වෛද්‍ය මතයක්

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තුවාලයක් හෝ වෙනත් සායනික තත්වයක් මත ඇති නොවූ, බොහෝ කාලයක් තිස්සේ පවතින (නිදන්ගත) කැක්කුමක් හෝ වේදනාවක් සඳහා පැරසිටමෝල් සහ ඉබුප්‍රොෆෙන් වැනි, බහුලව භාවිත කෙරෙන වේදනා නාශක නිර්දේශ නොකරන ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලැබී තිබේ.

සෞඛ්‍ය සහ වෛද්‍ය සත්කාර සේවා වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති The National Institute of Health and Care Excellence (NICE) ආයතනය පවසන්නේ නිදන්ගත වේදනා සඳහා මෙම වේදනා නාශක වලින් සහනයක් ලැබෙන බවට සනාථ වන සාධක ඉතා අල්ප බවය.

එමෙන්ම එවැනි වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කිරීම හානිකර විය හැකි බවට සාධක පවතින බව ද NICE ආයතනය සඳහන් කර තිබේ.

ඔපියම් ශාකයේ රසායනයන්

ඔවුන් සකසා ඇති උපදෙස් ලේඛනයේ සඳහන් වන්නේ නිදන්ගත වේදනා සඳහා පැරසිටමෝල් හෝ ඉබුප්‍රොෆෙන් වැනි බහුලව භාවිත කෙරෙන වේදනා නාශක වෙනුවට විෂාදනාශක (antidepressants), කටු චිකිත්සාව (acupuncture) හෝ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සුදුසු බවය.

එමෙන්ම, නිදන්ගත වේදනා සහිත රෝගීන් සඳහා ඔපියම් ශාකයේ පවතින රසායනයන් සහිත ඖෂධ වර්ග (opioids) නිර්දේශ කිරීම ද නුසුදුසු බව මෙම බ්‍රිතාන්‍ය උපදෙස් මාලාවෙන් අවධාරණය කර තිබේ.

එවැනි ඖෂධ ප්‍රතිඵලදායක බව සනාථ කිරීම සඳහා "පවතින සාධක ප්‍රමාණවත් නොවන" බවත් ඒවා දිගු කාලීනව භාවිත කිරීම හානිකර වීමේ අවදානමක් පවතින බවත් එම ලේඛනයේ සඳහන් වෙයි.

Science Photo Library

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

'දිගු කාලීනව පවතින මූලික වේදනාව' (Chronic primary pain), මෙම මාර්ගෝපදේශන මාලාවේ අර්ථ දක්වා ඇත්තේ "තවත් රෝග විනිශ්චයක් වශයෙන් සැළකිය නොහැකි" සෞඛ්‍ය තත්වයක් ලෙසිනි.

එක්සත් රාජධානියේ මුළු ජනගහනයෙන් 33%ත් 50%ත් අතර ප්‍රමාණයකට මෙවැනි පැහැදිලි කළ නොහැකි වේදනා පවතින බව ඉහත කී ලේඛනය ඇස්තමේන්තු කර තිබේ.

මෙවැනි වේදනාවක් තමන්ගේ මූලික ප්‍රශ්නය ලෙස දක්වන රෝගීන් සඳහා ප්‍රතිකාරයක් වශයෙන් පැරසිටමෝල් ලබා දීම ඵලදායී වන බවට සාධක නොමැති බව, ඉහත කී උපදේශන මාලාව සකස් කළ කමිටුව පැවසීය.

එමෙන්ම, ඉබුප්‍රොෆෙන් සහිත ඖෂධ වර්ගවලින් "එම වේදනාව සහිත පුද්ගලයාගේ ජීවන තත්වයට, මානසික පීඩාවට හෝ එම වේදනාවට කිසිදු වෙනසක් ඇති නොවන" බවද ඔවුහු පැවසූහ.

මෙම ඖෂධ දෙවර්ගයම ආමාශයට සහ අක්මාවට හානි පැමිණවීමේ අවදානමක් සහිතය.

ගංජා අඩංගු ඖෂධ

මෙවැනි රෝගීන් සඳහා ගංජා අඩංගු ඖෂධ වර්ග ලබා දීම ද මෙම කමිටුව නිර්දේශ නොකරයි. එය ද ඵලදායී ප්‍රතිකාරයක් ලෙස සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තවම නොමැති බව ඔවුහු පවසති.

නිදන්ගත වේදනා සඳහා විෂාදය සමනය කිරීම සඳහා ලබාදෙන ඖෂධ වර්ග (antidepressant) ලබා දීම සහ කටු චිකිත්සාව භාවිත කිරීම යෝග්‍ය බව නිර්දේශ කරන අතරතුර ඔවුන් තවදුරටත් කියා සිටින්නේ එවැනි වේදනාවක් දෙස රෝගියා සිතන ආකාරය වෙනස් කිරීම සඳහා ඥානාත්මක ප්‍රතිකාර විධික්‍රම (cognitive therapy) යොදා ගත හැකි බවය.

බ්‍රිතාන්‍යයේ කායික වෛද්‍යවරුන්ගේ රාජකීය විදුහල මෙය හඳුන්වා ඇත්තේ "ඖෂධීය ප්‍රතිකාර වෙනුවට වෛකල්පිත ප්‍රතිකාර කෙරෙහි දැඩි නැඹුරු වීමක්" ලෙසිනි.

"වේදනාවකින් පෙලෙන බොහෝ රෝගීන්ට උවමනාවක් නැහැ දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගන්න. වෛද්‍යවරුන්ටත් එසේ කිරීමට අවශ්‍යතාවක් නැහැ. නමුත් ඇතැම් වෙලාවට සහනයක් ගෙනදිය හැකි එකම මාර්ගය වෙන්නේ ඖෂධයක් ලබා දීම පමණයි," බ්‍රිතාන්‍යයේ කායික වෛද්‍යවරුන්ගේ රාජකීය විදුහලේ ප්‍රධානී, මහාචාර්ය මාටින් මාෂල් පැවසීය.