TikTok ගැන ට්‍රම්ප්ගෙන් "ළඟදීම තීරණයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීනයේ නිෂ්පාදිත ටික් ටොක් (TikTok) මෘදුකාංගය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "ඉදිරි දින කීපය තුළ" තීරණයක් ගනු ඇතැයි එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය.
TikTok මෘදුකාංගය ජාතික ආරක්ෂාවට අවදානමක් විය හැකි බව ජනාධිපතිවරයා විශ්වාස කරන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂය වෙත සෘජුවම දත්ත ලබාදෙන ඇප් උපාංග අතර TikTok සිටින බවය.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙම ප්‍රකාශය කළේ TikTok වීඩියෝ උපාංගය එක්සත් ජනපදය තුළ තහනම් කරන බව ජනාධිපති ට්‍රම්ප් පැවසීමෙන් දින කීපයකට පසුවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
චීන රජය විසින් මෙම උපාංගය පාලනය කරනු ලබන බවට හෝ එහි දත්ත චීන රජයට ලබා දෙන බවට නැගෙන චෝදනා TikTok මෙහෙයවන සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ෆොක්ස් නිව්ස් සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධතා ඇති මෘදුකාංග හරහා ජාතික ආරක්ෂාවට ඇතිවිය හැකි අවදානම පුළුල් ලෙස සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගනු ඇති බවය.
චීන රජයට දත්ත ලබාදෙන තවත් සමාගම් රාශියක් එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසීය.
එම දත්තයන් අතර ලිපිනයන්, දුරකථන අංක මෙන්ම මුහුණු හඳුනා ගැනීමේ හැකියාව ද පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.
"ජනාධිපති ට්‍රම්ප් කිව්වා 'දැන් ඇති' ('enough') කියලා. ඒ නිසා අපි ඒක යථා තත්වයට පත් කරනවා," රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ෆොක්ස් නිව්ස් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එක්සත් ජනපදය තුළ පමණක් TikTok ක්‍රියාකාරී සාමාජිකයෝ මිලියන 80ක් පමණ සිටිති.
එය එක්සත් ජනපදය තුළ තහනම් කිරීම සඳහා තමන් විධායක නියෝගයක් අත්සන් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූයේ පසුගිය සිකුරාදා ය.
TikTok වීඩියෝ උපාංගය වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ වයස අවුරුදු 20ට අඩු පිරිසය. මෙම මෘදුකාංගයේ අයිතිය චීන සමාගමක් වන ByteDance සතුය.
TikTok පරිපාලනය එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලැබීම සඳහා ByteDance සමාගම සැලැස්මක් යෝජනා කර තිබේ. මෙම සැලැස්මට එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභිකයන් කීප දෙනෙකුගේ සහයෝගය ලැබී තිබේ.
"නිවැරදි පිළිතුර කුමක්ද? මයික්‍රොසොෆ්ට් වැනි ඇමරිකානු සමාගමකින් TikTok පවරා ගැනීම. එයින් දෙපාර්ශවයට ම දිනුම ගෙන දෙන දෙනවා. තරඟකාරිත්ව එලෙසම පවත්වාගෙන යන ගමන් දත්ත චීන රජය අතට පත්වීම නවතිනවා," සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෙහැම්, ට්විටර් පණිවිඩයක ලියා තිබුණි.
මයික්‍රොසොෆ්ට් (Microsoft) යනු පරිගණක ක්ෂේත්‍රයේ වැජඹෙන යෝධ සමාගමකි.
එක්සත් ජනපදය තුළ සිදු කෙරෙන TikTok මෙහෙයුම් මිලදී ගැනීම සඳහා සිදු කෙරෙමින් පවතින සාකච්ඡා ඉදිරියට යමින් තිබෙන බව මේ අතරතුර මයික්‍රොසොෆ්ට් සමාගම තහවුරු කළේය.
තම සමාගමේ ප්‍රධානියා වන සත්‍යා නඩෙලා, මේ පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සමඟ ඉරිදා සාකච්ඡා කළ බව ද මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.
TikTok ඇතුළු චීනයට අයත් මෘදුකාංගවලට එරෙහිව මෙම තර්ජනය මතු වී ඇත්තේ චීන රජය සහ ට්‍රම්ප් පරිපාලනය අතර පවතින මතභේද උත්සන්න වෙමින් පවතින අතරතුරය.
මෙම මතභේද ඇති වීමට මුල් වූ කරුණු කීපයකි. දෙරට අතර සිදුවන වෙළඳ ගනුදෙනු පිළිබඳව පවතින ආරවුල් සහ කොරෝනාවෛරස වසංගතය හමුවේ චීනය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පවතින මතභේද ඒ අතර වෙයි.
TikTok යනු කුමක් ද?
ටික් ටොක් (TikTok) භාවිතා කරන්නන් කෝටි පනහක් ලොව පුරා විසිරී සිටින බවට විශ්වාස කෙරේ. ඉන් වැඩි ප්‍රතිශතය නව යෞවන වියේ පසුවන්නන් ය.
මෙය කෙටි වීඩියෝ උපාංගයකි. ඩිජිටල් භාෂාවෙන් කියතොත් එය App එකකි. බොහෝ වීඩියෝ නිර්මාණය වන්නේ සංගීත ඛණ්ඩයක් තේමා කර ගනිමින් ඊට අනුරූපව අභිනයක් හෝ රංගනයක් ඉදිරිපත් කරමිනි.
TikTok හඳුන්වාදුන් චීන සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 75කට අධික බවට ඇස්තමේන්තු කර තිබේ.
තොරතුරු පිටස්තරයන් අතට?
එක්සත් ජනපදයේ සිටින විවේචකයන් අනතුරු අඟවමින් කියා සිටින්නේ, මෙම App පාවිච්චි කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු පිටස්තරයන් අතට පත්වීමේ අවදානමක් පවතින බවය.
චීනයේ සමාජ මාධ්‍ය පරිහරණය කරන සියලු දෙනාගේ තොරතුරු ලබා ගැනීමට චීන රජයට තිබෙන නීත්‍යනුකූල හැකියාව පිළිබඳව ද බොහෝ දෙනාගේ බරපතළ සැලකිල්ලට බඳුන් වී තිබේ.
නමුත් Bytedance සමාගම පවසන්නේ තම App පාවිච්චි කරන වෙනත් රටවැසියන්ගේ තොරතුරු වෙනම ගබඩා කර ඇති අතර, ඒවා චීන රජයට ලබා නොදෙන බවය.
TikTok පිළිබඳව එක්සත් රාජධානියේ ද නියාමන විමර්ශන සිදු වෙමින් පවතී.
ළමුන්ගේ තොරතුරු අනිසි ලෙස පරිහරණය කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව පසුගිය වසරේ ජුලි මාසයේ දී බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමසාරිස් එලිසබත් ඩෙනම් තහවුරු කළාය.
සබැඳි තොරතුරු:








