කොරෝනා වෛරසය: ඔක්ස්ෆර්ඩ් එන්නත 'පළමු පියවරෙන්' සාර්ථක ප්‍රතිඵල

ඡායාරූප මූලාශ්‍රය, OXFORD UNIVERSITY
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවන ලද කොරෝනාවෛරසයට එරෙහි එන්නත ආරක්ෂිත මෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සමත් බව වාර්තා වේ.
පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගත් අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු මෙම එන්නත මගින් නිපදවන බවය.
මෙම සොයාගැනීම මත දැඩි බලාපොරොත්තු තැබිය හැකි නමුත්, වෛරසයට එරෙහි සම්පූර්ණ ආරක්ෂාව සැලසීමට තරම් එය ප්‍රමාණවත්ද යන්න දැන ගැනීමට තවම කල් වැඩිය. මේ අතර, විශාල පිරිසක් සහභාගී කරගෙන තවදුරටත් අත්හදා බැලීම් ක්‍රියාත්මක වෙමින් පවතී.
එක්සත් රාජධානිය දැනටමත් එන්නත මාත්‍රා මිලියන සියයක් ඇණවුම් කර ඇත.
කෙසේවෙතත්, එන්නත වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් "ක්‍රියා කරයිද" යන්න සහ ආසාදනය වීම නැවැත්වීමට හෝ අවම වශයෙන් රෝග ලක්ෂණ අඩු කිරීමට හැකිද යන කරුණු දැනට තහවුරු කළ නොහැක.
ඒ සඳහා දැනට එක්සත් රාජධානියේ සිටින ප්‍රමාණයට වඩා වැඩි කොරෝනාවෛරස රෝගීන් පිරිසක් සිටින රටවල අත්හදා බැලීම් සිදුකිරීමට සිදුවනු ඇත.
කෙසේනමුත්, බලාපොරොත්තු තැබිය හැකි තවත් එන්නත් මාත්‍රා මිලියන අනූවක් සඳහා මේ වන විටත් එක්සත් රාජධානි රජය ගිවිසුම් අත්සන් කර තිබේ.
BioNtech සහ Pfizer මෙන්ම Valneva යන ඖෂධ සමාගම් අතර ඇතිකර ගත් සන්ධානයක් මගින් කොරෝනාවෛරසයට එරෙහි එම එන්නත් පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Oxford University
මෙම නව ගනුදෙනුව සිදුවන්නේ දැනට ඇනවුම් කර ඇති, ඔක්ස්ෆර්ඩ් සරසවියේ කෙරෙන පරීක්ෂණ අනුව AstraZeneca නම් ඖෂධ සමාගම නිපදවන එන්නතේ මාත්‍රා මිලියන සියයට අමතරවය.
කෙසේවෙතත්, කුමන පර්යේෂණාත්මක එන්නතට වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් ක්‍රියා කළ හැකිද යන්න පිළිබඳ තවමත් අවිනිශ්චිතය.
ඉන්දියාව

ඡායාරූප මූලාශ්‍රය, AFP
මිලියනයකට වඩා ආසාදිතයන් වාර්තා වී ඇති ඉන්දියාව ලොව තුන්වන විශාලතම කෝවිඩ් -19 රෝගීන් ගණන වාර්තා වන රට බවට පත් වී තිබේ. වෛරසය පැතිරෙත්ම ධනවත් මෙන්ම අඩු ආදායම්ලාභීන් ඇතුළු සියල්ලන්ටම එක සේ බලපාන බිය සහ අපකීර්තිය ද ගම් නගර පුරා පැතිරෙමින් ඇත.
ආසාදිතයන්, රෝගයෙන් සුවය ලැබූ අය මෙන්ම සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍යවරුන්ට ද සමාජය තුළ විවිධ සිද්ධීන්වලට මුහුණ දීමට සිදුව ඇත.
"වෛරසය බොහෝ දෙනෙකුට මරණ දඬුවමක් වගේ. රෝගයෙන් මිය නොගියහොත් එයින් ඇතිවන අපකීර්තියෙන් මරණයට පත්වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා" යනුවෙන් 'කෝවිඩ් කෙයා' නම් ජාලය පවත්වාගෙන යන වෛද්‍ය අභිජිත් චෞද්රි පැවසීය.
බ්‍රසීලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලතින් ඇමරිකාවේ වඩා දරුණු ලෙස කොරෝනාවෛරසයේ බලපෑමට ලක්වූ රට වන්නේ බ්‍රසීලය ය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, බ්‍රසීලයේ මිලියන දෙකකට වෛරසය ආසාදනය වී ඇති අතර, 79,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. කෙසේනමුත්, වෛරසය ආසාදනය වී ඇති ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ දිගින් දිගටම සමාජ දුරස්ථභාවය වැනි පියවර විවේචනය කරමින් සිටින අතර එය ආර්ථිකය "මරා දැමූ" බව පවසයි.
චීනය
මාස හයකට පසු චීනයේ සිනමා ශාලා සඳුදා (ජුලි 20) නැවත විවෘත කළ අතර සමහර පුද්ගලයන් මධ්‍යම රාත්‍රියේ ද ශාලාවලට පැමිණ සිටියහ.
නමුත් සිනමා ශාලාවට යෑම පෙර මෙන් සිදු කළ නොහැකිය. ගනුදෙනුකරුවන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ටිකට්පත් අන්තර්ජාලය හරහා කලින් වෙන් කරවා ගත යුතු අතර, පුද්ගලයන් අසුන් ගත යුත්තේ සිනමා ශාලාවල ප්‍රමාණයෙන් 30%ක පමණි.
සිනමා ශාලාව තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් සීමා කිරීම් පවතින බැවින් පිරිසකට එකට වාඩි විය නොහැක.
එක් සිනමා ශාලාවක සෙල්ලම් භාණ්ඩ යොදාගෙන ආසන වෙන් කර ඇති ආකාරය නිල චීන පුවත් සේවය (China News Service) වාර්තා කළේය.
හොංකොං

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරිදා දින ඇතුළත රෝගීන් සංඛ්‍යාවේ වාර්තාගත වැඩි වීමක් පෙන්වීමත් සමග වෛරසයට එරෙහි පියවර වේගවත් කිරීමට හොංකොං ක්‍රියා කර තිබේ. ගෘහස්ථ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග කිහිපයක් බලධාරීන් නිවේදනය කර ඇත.
ප්‍රංශය
ප්‍රංශයේ වෙළෙඳසල්, අවන්හල් සහ බැංකු වැනි ගෘහස්ථ අවකාශයන්හි මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම දැනටමත් අනිවාර්යය. මෙම නියෝග කඩකරන පුද්ගලයන්ට යුරෝ 135ක දඩ මුදලක් නියම කළ හැකිය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛන අනුව මේ වන විට ලොව පුරා කොරෝනාවෛරස රෝගීන් මිලියන 14.5 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර මරණ 606,000 කට වඩා සිදුවී ඇත.
ඊශ්‍රායලය
කාර්ය මණ්ඩල හිඟය සහ වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය පහසුකම් දුර්වල තත්ත්වයක පැවතීම නිසා ඊශ්‍රායල හෙදියන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට එරට හෙදියන් 800කට අධික සංඛ්‍යාවක් නිරෝධායනයෙහි යෙදී සිටින අතර, ඔවුන් වෙනුවට වෙනත් කිසිවෙකු රාජකාරියේ යොදා නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පේරු
පේරුහි කොරෝනාවෛරසය හේතුවෙන් මරණ 13,000කට වඩා සිදුව ඇති නමුත් එරට රජය යම් සීමාවන් ලිහිල් කිරීමට පියවර ගනිමින් සිටී. අවන්හල් අද සිට නැවත විවෘත කළ හැකිය. පදිංචිකරුවන් මිලියන 33ක් සිටින පේරු, ලතින් ඇමරිකාවේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන රටය.
මෙක්සිකෝ
කොරෝනාවෛරසය හේතුවෙන් 38,888ක් මියගොස් ඇති මෙක්සිකෝව ලොව සිව්වන වැඩිම රෝගීන් ප්‍රමාණයක් මියගිය රට බවට පත් වී ඇත. රට තුළ සෞඛ්‍ය ප්‍රමිතීන් වැඩිදියුණු කරන බවට එහි ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දී තිබේ.








