2019 වසරේ සෞදි අරාබියේ 184කට මරණ දඬුවම - ඇම්නෙස්ටි ජාත්‍යන්තරය

මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීම ලෝක මට්ටමින් අඩුවී ඇතත්, සෞදි අරාබියෙහි 2019 වසර තුළ 184 දෙනෙකු මරා දමා ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.

මරණ දඬුවම වැඩි වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීම අතින් චීනයට පසුව ඊළඟ ස්ථානය හිමිකර ගන්නා ඉරානය ගත වූ වසරෙහි 251 දෙනෙක් මරා දමනු ලැබ ඇත.

එතෙක් පැවති සංඛ්‍යාවේ දෙගුණයක් වාර්තා කරමින් ඉරාකයේ මරා දමනු ලැබ ඇති සංඛ්‍යාව 100 කි.

කෙසේ වුව ද, ලෝක මට්ටමින් බලන විට, තහවුරු කොට ඇති මරණීය දණ්ඩන ක්‍රියාත්මක කරනු ලැබීම් අතින් පිළිවෙළින් හතර වන වසරටත් සංඛ්‍යාත්මක අඩුවීමක් ද පෙන්නුම් කෙරෙයි.

2109 වසරේ ලෝකය පුරා ක්‍රියාවට නංවන ලද සමස්ත මරණ දඬුවම් සංඛ්‍යාව 657 කි. එය 2018 වසරට සාපේක්ෂව බලන විට 5%ක අඩුවීමකි.

එය පසුගිය වසර දහය ඇතුළත වාර්තා වූ අඩු ම මරණීය දණ්ඩන සංඛ්‍යාව බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

එහෙත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ සංඛ්‍යා ලේඛනවලට චීනය ඇතුළත් නැත. චීනයේ වසරකට සිදු කෙරෙන මරණීය දණ්ඩන සංඛ්‍යාව දහස් ගණනක් යයි විශ්වාසයක් පවතින අතර, ඒවා සියල්ල රාජ්‍ය රහසක් ලෙස තබා ගනී.

උතුරු කොරියාව, වියට්නාමය සහ ඉරානය ඇතුළු තවත් රටවල් තොරතුරු නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි තහංචි ක්‍රියාවට නංවමින් මරණීය දණ්ඩනය ක්‍රියාවට නැගීමට අදාළ සංඛ්‍යා ලේඛන සඟවන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.

''මරණීය දණ්ඩනය කියන්නේ අතිශයින් පිළිකුල් සහගත අමානුෂික දඬුවමක්. අපරාධ වළක්වන්න සිර දඬුවම් දීමට වඩා මරණ දඬුවම හේතු වෙන බවට විශ්වාසනීය සාක්ෂි නැහැ. එම කාරණය රටවල් අතිබහුතරයක් පිළිගෙන හමාරයි. එම පිළිගැනීම ලෝක මට්ටමින් මරණීය දණ්ඩනය දිගට ම පහත වැටීමට දිරිගැන්වීමක්,'' ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂිකා ක්ලේරා අල්ගාර් (Clare Algar) ප්‍රකාශ කළාය.

එහෙත් රටවල් කුඩා සංඛ්‍යාවක් එම ලෝක ප්‍රවණතාව නොතකා හරිමින්, මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීම තවත් වැඩි කරනු ලැබෙමින් ඇත.

ක්ලේරා අල්ගාර් විසින් සෞදි අරාබියේ මරණ දඬුවම ක්‍රියාවට නංවනු ලැබීමෙහි සංඛ්‍යාත්මක වැඩිවීම විග්‍රහ කරන ලද්දේ ''අනතුරුදායක ප්‍රවණතාවක්'' හැටියටය.

2019 වසර තුළ සෞදි බලධාරීන් විසින් පුරුෂයන් 178 දෙනෙකුත්, කාන්තාවන් හය දෙනෙකුත් මරා දමනු ලැබ ඇත.එලෙස මරා දමන ලද පුද්ගලයන්ගෙන් අඩක්ම විදේශිකයෝ වෙති. 2018 වසරේ එරට මරණීය දණ්ඩනයට යටත් කරන ලද සංඛ්‍යාව 149 කි.

සෞදි අරාබියේ මරණ දඬුවමට යටත් කෙරුණ පුද්ගලයන්ගෙන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය හෝ මිනී මැරීම් සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණ අය වෙති.

එහෙත් සෞදි පාලනයේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් වන ''ෂියා මුස්ලිම් '' ප්‍රජාවට අයත් වූවන්ට එරෙහිව දේශපාලන අවියක් හැටියටත් මරණීය දණ්ඩනය පාවිච්චියට ගැනීම වැඩිවෙමින් ඇතැයි'' ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ වාර්තාවන්හි දැක්වෙයි.

2019 වසරේ අප්‍රියෙල් මාසයේ එකවර විශාල සංඛ්‍යාවකට මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීමක් ගැන සෞදි අරාබියෙන් වාර්තා විය. ඔවුන්පගෙන් පස්දෙනකු හැර සෙසු සියලු දෙනා 'ෂියා' මුස්ලිම් ප්‍රජාවට අයත්වූවන් වූ අතර, ඔවුන් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබ තිබුනේ "ත්‍රස්තවාදයට" අදාළ චෝදනාවලටය.

ඔවුන්ගේ පාපොච්චාරණ කිරීම් යයි පවසමින් ලබා ගත් කට උත්තර වධහිංසා පැමිණවීම් මගින් ලබා ගත් ප්‍රකාශන විණැයි ඇම්නෙස්ටිය වාර්තා කරයි.

ඉරාකයේ 2018 වසරේ 52ක් වූ මරණ දඬුවම් සංඛ්‍යාව 2019 වසරේ දී පිම්මක් පනිමින් අඩුතරමින් 100 ක් බවට පත්වීම ''කම්පාවට'' කරුණක් යයි ක්ලේරා අල්ගාර් ප්‍රකාශ කළාය.

එවැනි විශාල වැඩිවීමකට හේතුව වී තිබෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS ) සාමාජිකයන් යයි චෝදනා කරමින් පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම නියම කරනු ලැබීමය.

දකුණු සුඩානයේ බලධාරීන් විසින් 2019 වසරෙහි පුද්ගලයක් එකොලොස් දෙනෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

2011 දී දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබීමෙන් අනතුරුව මරණ දඬුවමට වැඩි පිරිසක් යටත් කරන ලද වසර එයයි.

මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීම අනුමත කරන රාජ්‍යයන් වන ඊජිප්තුව, ජපානය සහ සිංගප්පූරුව වැනි රටවල තහවුරු කරන ලද මරණීය දණ්ඩන සංඛ්‍යාවන ඉතා පහළ මට්ටමක වීමත් විශේෂත්වයකි.

2010 වසරින් අනතුරුව පළමුවරට පසුගිය වසරේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීමක් ඇෆ්ඝනිස්ථානයෙන් වාර්තා නොවුණි.

2018 මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීම් වාර්තා කළ තායිවානයෙන් සහ තායිලන්තයෙන් 2019 වසරේදී එවැන්නක් වාර්තා කොට නැත.

සියලු ආකාරයේ අපරාධවලට දඬුවමක් හැටියට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීම රටවල් 106 ක් විසින් දැනටමත් නීතිය මගින් අහෝසි කරනු ලැබ ඇත. රටවල් 142ක් එය නීතිය හෝ භාවිතයෙන් ඉවත් කොට ඇත.

2018 වසරේ හතර දෙනෙකුට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යේමනය 2109 වසරේ අඩුතරමින් හත් දෙනෙකුවත් මරා දමා ඇත.

වසරක නිහඬතාවයකින් අනතුරුව බංග්ලාදේශය සහ බහ්රේනයත් යළි මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම ආරම්භ කළහ.

එවැනි පරිසරයක් තුළ ලෝක මට්ටමින් මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වූ කරුණු කීපයක් ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.