පැලේඩියම් ලෝහය රත්‍රන් මිල අභිබවා යයි

ලෝක වෙළෙඳපොළේ පැලේඩියම් නමැති ලෝහයේ මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය සති දෙක තුළදී පමණක් එහි මිල 25%කින් ඉහළ ගියේය. පසුගිය වසර සමග සන්සන්දනය කිරීමේදී එය දෙගුණයක වැඩි වීමකි.

පැලේඩියම් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 2500ක් වන අතර එය රත්‍රන්වලට වඩා මිල අධික වී තිබේ. පවතින ඉල්ලුම අනුව ඉක්මනින් එහි මිල පහළ වැටෙනු ඇතැයි ද අපේක්ෂා කළ නොහැකිය.

පැලේඩියම් යනු මොනවා ද? එය භාවිත කරන්නේ කුමක් සඳහා ද? එහි මිල ඉහළ යන්නේ ඇයි?

පැලේඩියම් යනු කුමක් ද?

එය ප්ලැටිනම්, රුතේනියම්, රෝඩියම්, ඔස්මියම් සහ ඉරිඩියම් කාණ්ඩයට අයත් දිලිසෙන සුදු පැහැති ලෝහයකි.

ලෝකයේ භාවිත වන පැලේඩියම් ලෝහයෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ රුසියාව සහ දකුණු අප්‍රිකාවෙනි. සාමාන්‍යයෙන් ප්ලැටිනම් සහ නිකල් වැනි ලෝහ කැණීමේදී අතුරු ඵලයක් ලෙස බොහෝවිට පැලේඩියම් නිස්සාරණය කර ගැනේ.

එය භාවිත කරන්නේ කුමක් සඳහා ද?

එහි ප්‍රධාන වාණිජමය භාවිතය වන්නේ, මෝටර් රථයක විමෝචනය පාලනය කරන පිටාර පද්ධතියේ කොටසක් වන උත්ප්‍රේරක පරිවර්තකවල (catalytic converters) තීරණාත්මක අංගයක් වශයෙනි. ප්‍රධාන වශයෙන් පෙට්‍රල් සහ දෙමුහුන් වාහනවල ඇත.

පැලේඩියම් ලෝහයෙන් 80%කට වඩා වැඩි ප්‍රතිශතයක් භාවිත කෙරෙන්නේ, කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි විෂ වායූන් හානිකර බවින් අඩු නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප බවට හරවන උත්ප්‍රේරක පරිවර්තක සඳහාය.

එම ලෝහය ඉලෙක්ට්‍රොනික්, දන්ත වෛද්‍ය හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළ ද ඉතා අවම වශයෙන් භාවිත වේ.

පැලේඩියම් මිල ඉහළ යන්නේ ඇයි?

කෙටියෙන් කිවහොත්, පැලේඩියම් ලෝහය සඳහා පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබීම එහි මිල ඉහළ යාමට බලපා තිබේ.

අඛණ්ඩව වසර 8ක් ලෝකයේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් 2019 වසරේදී නොතිබූ බවට ඇස්තමේන්තු කර තිබේ.

ප්ලැටිනම් සහ නිකල් නිස්සාරණයේ ද්විතීයික නිෂ්පාදනයක් වන හෙයින්, පතල් කම්කරුවන්ට ඉහළ යන මිලට ප්‍රතිචාර වශයෙන් පැලේඩියම් නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව අඩුය.

මේ අතර, හේතු රැසක් නිසා මෝටර් රථ නිෂ්පාදකයින්ගේ පැලේඩියම් ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ.

චීනය ඇතුළු ලෝකයේ බොහෝ රටවල රජයයන් පෙට්‍රල් වාහනවලින් සිදුවන වායු දූෂණය අවම කිරීම සදහා රෙගුලාසි දැඩි කරමින් සිටීම ද පැලේඩියම් ඉල්ලුම ඉහළ යාමට බලපා ඇත.

තවදුරටත් කියවන්න: