ෆින්ලන්තය: ලොව ලාබාලතම අගමැති වීමට නියමිත 34 වියැති සන්නා මරින්

Sanna Marin

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 34 වියැති සන්නා මරීන් (Sanna Marin)

ෆින්ලන්තයේ 34 වියැති සන්නා මරින් (Sanna Marin) ලෝකයේ ලාබාලතම අගමැතිනිය ලෙස පත්වීමට නියමිතය.

ඇන්ටි රින් (Antti Rinne) අගමැති ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ ෆින්ලන්තයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගමනාගමන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සන්නා මරින් මීළඟ අගමැතිනිය ලෙස තෝරා ගෙන ඇත. ඇය මෙම සතිය තුළ දී දිවරුම් දීමට නියමිතය.

පක්ෂ හතරක එකමුතුවෙන් සැදී සන්ධාන ආණ්ඩුවකට ඇය නායකත්වය ලබා දීමට නියමිත අතර, ඒ සෑම පක්ෂයකම නායකත්වය හොබවන්නේ කාන්තාවන්ය. එයින් තිදෙනෙකු වයස අවුරුදු 35ට අඩුය.

තැපැල් වැඩවර්ජනයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ දී එක් පක්ෂයක සාමාජිකයෙකුගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇන්ටි රින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය.

සන්නා මරින් දිව්රුම් දීමෙන් පසු ඇය ලෝකයේ ලාබාලතම අගමැති බවට පත්වනු ඇත. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන්ගේ වයස අවුරුදු 39ක් වන අතර, යුක්‍රේනයේ අගමැති අලෙක්සේයි හොන්චාරුක් (Oleksiy Honcharu) තිස්පස් වියේ පසුවේ.

කවුද මේ සන්නා මරීන්?

සිය මව සහ ඇයගේ සහකාරිය සමඟ කුලී නිවසක දිවි ගෙවූ සන්නා හැදී වැඩුණේ "දේදුණු පවුලක" යැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි.

සිය පවුලේ පසුබිම ගැන ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි වූ නිසා කුඩා කළ ඇයට තමන් "අදෘශ්‍යමාන" පුද්ගලයෙක් ලෙස හැඟුණු බව 2015 දී Menaiset වෙබ් අඩවියට ඇය ප්‍රකාශ කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

නමුත්, මව තමන්ට නිතර උපකාර කළ අතර, අවශ්‍ය ඕනෑම ක්‍රියාවක් කිරීම සඳහා ඈ තුළ විශ්වාසය ගොඩනගමින් දිරිමත් කළ බව ද සන්නා ප්‍රකාශ කර තිබිණි.

පවුලේ අය අතරින් විශ්වවිද්‍යාල වරම් ලැබූ පළමුවැන්නා සන්නා ය.

වයස අවුරුදු 27 දී තම්පරේ (Tampere) නගරයේ පරිපාලනයට නායකත්වය දුන් ඇය ඉතා ඉක්මනින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පත් වුණ අතර, 2015 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූවාය.

පසුගිය ජුනි මස සිට ගමනාගමන සහ සන්නිවේදන අමාත්‍යවරිය ලෙස ක්‍රියා කළ ඇය මාස 22ක් වයසැති දියණියකගේ මවකි.

ඇය කිනම් මාවතක් තෝරා ගනීවිද?

සන්ධාන ආණ්ඩුව පාලනය බාර ගැනීමත් සමඟ විවිධ වැඩසටහන් සඳහා ගිවිසුම්වලට එළැබී ඇති හෙයින් නව අගමැතිනියගේ පාලනය යටතේ ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අවමය.

නමුත් මෙතෙක් පැවති ක්‍රියාවලියේ වෙනසක් සිදුවිය යුතු බව ඉතා සුළු බහුතරයකින් ඡන්දය දිනූ සන්නා ප්‍රකාශ කළාය.

"විශ්වාසය ගොඩනැගීම සඳහා අපිට බොහෝ වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා," යැයි ඇය වාර්තාකරුවන්ට පැවසීය.

"වයස හෝ ලිංගිකත්වය ගැන මම කිසි දිනක සිතලා නැහැ. මම හිතන්නේ දේශපාලනයට එන්න හේතු ගැන සහ අපි ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනාගත් හේතු ගැනයි," වයස පිළිබඳ ඇයගෙන් ඇසූ ප්‍රශ්නයකට එසේ පිළිතුරු දුන්නාය.

Sanna Marin

ඡායාරූප මූලාශ්‍රය, Reuters

දිව්රුම් දීමෙන් පසු සන්නා ෆින්ලන්තයේ අගමැති පදවිය හොබවන තෙවෙනි කාන්තාව බවට පත් වේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් අප්‍රේල් පැවති ඡන්දයේ විශාලතම පක්ෂය ලෙස මතු වූ අතර, සන්ධාන ආණ්ඩුව පාලනය කිරීම සඳහා අගමැති තෝරා පත් කර ගැනීමේ බලය ඔවුන් සතුය.

වැඩවර්ජනයකට සම්බන්ධ වූ සිය ගණනක් තැපැල් සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සැලසුම් කිරීම ඇන්ටි රින් අගමැති ධූරයෙන් ඉල්ලා අස් වීමට හේතු විය. තැපැල් සේවක සිද්ධියත් සමඟ ඔහු ගැන විශ්වාසය පළුදු වූ බව මධ්‍යම පක්ෂයේ සන්ධාන සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.

කෙසේනමුත්, තවදුරටත් ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

මීට අමතරව, මුදල් අමාත්‍යවරිය ලෙස 32 හැවිදිරි කත්‍රි කුල්මුනි (Katri Kulmuni) නම් කිරීමට සැරසෙන බව මධ්‍යම පක්ෂය ප්‍රකාශ කළේය.

මේ තොරතුරු ද කියවන්න: