ෆින්ලන්තයේ වෙරළක් දුර්ලභ කාලගුණ තත්ත්වයක් නිසා 'අයිස් බෝලවලින්' වැසී යයි

Picture by Risto Mattila of egg shaped balls on ice in Finland

ඡායාරූප මූලාශ්‍රය, Risto Mattila

ඡායාරූප ශීර්ෂ වැකිය, රිස්ටෝ මැටිලා ඉරිදා ඡායාරූපයට නැගූ හයිලුඕටෝ දූපතට වැටී තිබූ "අයිස් බිත්තර"

දුර්ලභ කාලගුණික තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස ෆින්ලන්තයේ වෙරළ තීරයක් බිත්තර හැඩැති අයිස් බෝල දහස් ගණනකින් ආවරණය වී තිබේ.

ෆින්ලන්තය සහ ස්වීඩනය අතර පිහිටි බොත්නියා මුහුදු බොක්ක ආශ්‍රිතව පිහිටි හයිලුඕටෝ දූපතට වැටී තිබූ "අයිස් බිත්තර" දුටු අය අතර ආධුනික ඡායාරූප ශිල්පී රිස්ටෝ මැටිලා ද විය.

විශේෂඥයින් පවසන්නේ, කුඩා අයිස් කැබලි සුළගේ සහ ජලයේ පෙරළීමෙන් සිදුවන දුර්ලභ ක්‍රියාවලියක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.

හයිලුඕටෝ දූපත ආසන්නයේ පිහිටි ඔවුලු නගරයේ වෙසෙන මැටිලා බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙවැන්නක් තමන් මීට පෙර කිසි දිනෙක දැක නැති බවය.

"මම මගේ බිරිදත් එක්ක මර්ජානියෙමි වෙරළේ හිටියේ. ඒ වෙලාවේ ටිකක් අව්ව තිබුණා. ඒ වගේ ම එදා සුළං තිබුණ දවසක්," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.

"අපි එතනදි තමයි මේ පුදුමාකාර සිද්ධිය දැක්කේ. මුහුදු වතුර ආසන්නයේ වෙරළ දිගට හිම සහ අයිස් බිත්තර වැටිලා තිබුණා."

Picture by Risto Mattila of egg shaped balls on ice in Finland

ඡායාරූප මූලාශ්‍රය, Risto Mattila

මැටිලා පැවසුවේ, මීටර් 30ක පමණ භූමි ප්‍රමාණයක් අයිස් බෝලවලින් වැසී තිබුණු බවය. කුඩා ම අයිස් බෝල බිත්තරයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර විශාලතම ඒවා පාපන්දුවක් තරම් විශාල විය.

"ඒක පුදුම හිතෙන දර්ශනයක්. මම ජීවත් වුණ අවුරුදු 25ට ම මේ වගේ දෙයක් කවදාවත් දැකල තිබුණේ නැහැ," මැටිලා පැවසීය.

"ඒ වෙලාවෙ මගේ ළග කැමරාවක් තිබුණ නිසා, මම හිතුවා මේ අසාමාන්‍ය දර්ශනය අනාගත පරම්පරාවට දැක ගන්න සංරක්ෂණය කරන්න."

බීබීසී කාලගුණ විද්‍යා විශේෂඥ ජෝර්ජ් ගුඩ්ෆෙලෝ පැවසුවේ, අයිස් බෝල පතනය වීම සදහා ශීත සහ තරමක සුළං පැවතිය යුතු බවය.

"සාමාන්‍යයෙන් පෙනී යන දේ වෙන්නේ ඒවා විශාල අයිස් තට්ටු කැබලිවලට වෙන් වෙලා මුහුදට වැටීමෙන් පසුව රළ පහරින් වටකුරු බවට පත් වීමයි," ඔහු පැවසීය.

"මුහුදු ජලය මතුපිට කැටි ගැසුණු විට ඒවා වර්ධනය විය හැකි අතර ඒ මගින් අයිස් කැබලි වඩාත් සුමට වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ සිනිඳු අයිස් බෝලයක් නිර්මාණය වෙලා මුහුදු වෙරළට ගසාගෙන එන එක."

මීට පෙර රුසියාව සහ චිකාගෝහි මිචිගන් විල ඇතුළු ස්ථාන කිහිපයකින් මීට සමාන සිද්ධි වාර්තා වී තිබේ.

2016 වසරේදී සයිබීරියාවේ නයිඩා ප්‍රදේශයේ වැසියන් පිරිසක් කිලෝමීටර් 18ක පමණ භූමි ප්‍රමාණයක් වැසී තිබුණු විශාල ප්‍රමාණයේ අයිස් බෝල දැක තිබිණි.

A picture showing a smiling woman lying across the snowballs in the Yamal Peninsula

ඡායාරූප මූලාශ්‍රය, Ekaterina Chernykh

ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 දී සයිබීරියාවට පතනය වූ විශාල අයිස් බෝල

එහිදී ටෙනිස් බෝලයක ප්‍රමාණයේ සිට මීටර් 1ක විෂ්කම්භයක ප්‍රමාණයේ අයිස් බෝල ඔවුන් දැක තිබිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

මේ අතර මේ දිනවල ශ්‍රී ලංකාවේ ද කාලගුණ තත්ත්වයේ වෙනසක් දක්නට ලැබුණු අතර මීදුම වැනි තත්ත්වයක් පැවතිණි.

බ්‍රහස්පතින් දා (නොවැ: 07) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ, වායුගෝලයේ රසායනික අංශු මට්ටම ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බවය.

ශ්‍රී ලංකාව කාලගුණ තත්ත්වය

ඡායාරූප මූලාශ්‍රය, Colombo Port, Sri Lanka/Facebook

කෙසේ වෙතත්, එම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ඔහු පැවසීය.

සිකුරාදා (නොවැ: 08) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, "උතුර, උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව යන පළාත්වල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි," බවය.

මේ අතර, ඉන්දියාවේ දිල්ලි ආශ්‍රිතව ද පසුගිය දින කිහිපයේ දැඩි වායු දූෂණයක් වාර්තා වූ අතර මේ වන විට එම තත්ත්වය මදක් පහළ යමින් පවතී.

White spacer

.