බ්‍රෙක්සිට්: බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර ගිවිසුමකට එකඟතාවක්

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර නව ගිවිසුමක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඔහු පවසා ඇත්තේ, එය "ඉතා හොඳ නව ගිවිසුමක්" බවය.

මේ වන විට දෙපාර්ශවය අදාළ ගිවිසුමේ නීතිමය කෙටුම්පත සකස් කරමින් සිටින අතර එය එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවල අනුමැතිය හිමි කර ගත යුතුය.

කෙසේ වුවත්, කොන්සර්වේටිව් පාක්ෂික ආණ්ඩුවට සහය පළ කරන උතුරු අයර්ලන්තයේ ඩිමොක්‍රටික් යුඋනියනිස්ට් පක්ෂය (DUP) පවසන්නේ තමන්ට එම ගිවිසුමට සහය දිය නොහැකි බවය.

අගමැතිවරයාගේ ප්‍රකාශයට පෙරාතුව "පවතින තත්වය යටතේ" එයට සහය දිය නොහැකි බව පවසමින් නිවේදනයක් නිකුත් කළ එම පක්ෂය, අගමැති ජොන්සන්ගේ ප්‍රකාශයෙන් පසුව යළිත් වරක් සිය ස්ථාවරය තහවුරු කළේය.

කෙසේ වුවත් යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් ජුන්කර් (Jean-Claude Juncker) පවසන්නේ එය "සාධාරණ සහ සමතුලිත සම්මුතියක්" බවය.

නව සම්මුතියට සහය දෙන මෙන් නායකයන් දෙදෙනා ම සිය පාර්ලිමේන්තුවලින් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රධාන කරුණු 4ක්

යුරෝපා සංගමයේ ප්‍රධාන සාකච්ඡාකරු මිෂෙල් බානියෙර් (Michel Barnier) පැවසුවේ, නව ගිවිසුම ප්‍රධාන කරුණු 4ක් යටතේ සකස් කර ඇති බවය. එම කරුණු 4 මෙසේය.

  • උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ සීමිත නීති මාලාවකට යටත් වීම, විශේෂයෙන් භාණ්ඩ සම්බන්ධව.
  • උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ රේගු බලප්‍රදේශයේ පවතිනු ඇත. එහෙත් එය යුරෝපා සංගමයේ ඒකීය වෙළඳපොළට "පිවිසුම් ස්ථානයක් ලෙස තවදුරටත් පවතිනු ඇත."
  • තනි වෙළෙඳපොළක ඒකීයභාවය පවත්වා ගන්නා අතරවාරයේ, වැට් බදු සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ නීත්‍යනුකූල අවශ්‍යතා සපුරාලීමට එකඟ වී තිබේ.
  • සෑම වසර හතරකට ම වරක් උතුරු අයර්ලන්තය, යුරෝපා සංගමයේ නීති රීති අනුගමනය කළ යුතු ද නැද්ද යන්න තීරණය කිරීමට උතුරු අයර්ලන්ත නියෝජිතයින්ට අවස්ථාව හිමි වීම.

බ්‍රසල්ස්හි පැවති මාධ්‍ය හමුවකදී මිෂෙල් බානියෙර් පැවසුවේ, උතුරු අයර්ලන්ත සමුළුවේදී මේ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම "අපගේ අලුතින් එකඟ වූ ප්‍රවේශයේ ප්‍රධාන එකඟත්වයක් වන" බවය.

යුරෝපා සංගමයට කැමත්තක් දක්වන්නන් ගේ බහුතරය සහ ඉන් ඉවත් වන ලෙස බල කරන ජාතිකවාදීන් ගේ බහුතරය සලකා බලනු වෙනුවට, මෙම තීරණය එම දෙපාර්ශවය අතර සුළු බහුතරයකගේ එකඟත්වය මත පදනම් වනු ඇත.