නයිජීරියාවේ "ඉස්ලාමීය පාසල් ගොඩනැගිල්ලකින්" සිය ගණනක් මුදා ගැනේ

Captives are seen with chains around their ankles as police free them

ඡායාරූප මූලාශ්‍රය, Nigerian Police

ඡායාරූප ශීර්ෂ වැකිය, රඳවා ගනු ලැබ සිටි පිරිස අතර අවුරුදු පහේ තරම් කුඩ දරුවන් ද සිටින බව පොලිසිය පවසයි

බලහත්කාරයෙන් රඳවාගෙන වධ හිංසාවට ලක් කර ඇතැයි පැවසෙන 500 ආසන්න පිරිසක් ඉස්ලාමීය පාසලක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලකින් සොයා ගත් බව නයිජීරියාවේ පොලිසිය පවසයි.

නයිජීරියාවේ උතුරුදිග කඩුනා නගරයේ පිහිටි ගොඩනැගිල්ලේ රඳවා ගනු ලැබ සිටි සියලුම දෙනා පුරුෂයන් සහ පිරිමි දරුවවෝ වෙති. දම්වැල් යොදා බැඳ දමනු ලැබ සිටි පුද්ගලයන්ද ඉන් හමු වී තිබේ.

කඩුනා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී අලි ජන්ගා බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ සැකකටයුතු ක්‍රියාකාරකම් සිදු වන බවට ලැබුණු ඔත්තුවක් මත ගොඩනැගිල්ල වටලන ලද බවය.

අදාළ ගොඩනැගිල්ල "වධකාගාරයක්" ලෙස හැඳින්වූ ඔහු එය වහල් සේවයට සම්බන්ධ සිදුවීමක් බව කියා සිටියේය.

රඳවා ගනු ලැබ සිටි පිරිස අතර අවුරුදු පහේ තරම් කුඩා දරුවන් ද සිටින බව පොලිසිය පවසයි.

Injuries are seen on the back of a boy who was freed from the the building.

ඡායාරූප මූලාශ්‍රය, Nigerian Police

ඡායාරූප ශීර්ෂ වැකිය, රැඳවියන් කායික සහ මානසික පරීක්ෂාවකට යොමු කෙරෙනු ඇති බව නයිජීරියානු බලධාරීහු පවසති

ඒ අතර සිටින සියලුම දෙනා නයිජීරියානු ජාතිකයෝ නොවෙති. තමන් වධ හිංසාවට, ලිංගික අපයෝජනයට, කුසගින්නේ තැබීමට ලක් වූ බවත් ඔවුහු පවසති. ඉන් පිටතට යාමෙන් වළකා තැබුණු බව පවසන ඔවුන්ගෙන් ඇතැමෙක් වසර ගණනවක් එහි රඳවා ගනු ලැබුණු බව පවසති.

ඔවුන් එහි පැමිණියේ කෙලෙස ද යන්න පැහැදිලි වී නොමැත. අදාළ ගොඩනැගිල්ල කුරානය පිළිබඳ ඉගැන්වෙන පාසලක් යැයි විශ්වාස කරමින් සිය ඥාතීන් විසින් තමන් එහි රැගෙන ආ බව ඇතැම් දරුවන් පොලිසියට පවසා ඇත.

පොලිසිය විසින් නිදහස් කරන ගන්නා ලද දරුවන් දෙදෙනෙකු පවසා ඇත්තේ බුර්කිනෝ පාසෝ හි සිට සිය දෙමව්පියන් විසින් තමන් එහි එවන ලද බවය. සෙසු පිරිස වැඩි වශයෙන්ම උතුරුදිග නයිජීරියාවෙන් පැමිණ ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

ඒ සම්බන්ධයෙන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු ගුරුවරුන්ය.

A sign in the Hausa language outside the school reads: "Ahmad bin Hambal Centre for Islamic teachings. The Koran is the book of Allah, whoever believes in it, reads it and adopt sit will have salvation in this life and in the hereafter."

ඡායාරූප මූලාශ්‍රය, Nigerian Police

ඡායාරූප ශීර්ෂ වැකිය, ගොඩනැගිල්ල පිටත පිහිටි නාම පුවරුව මත "ඉස්ලාමීය ඉගැන්වීම් සඳහා වන අහමඩ් බින් හම්බාල් මධ්‍යස්ථානය" යනුවෙන් 'හවුසා' බසින් සඳහන් කර තිබේ

නිදහස ලැබීම පිළිබඳ රැඳවියන් දැඩි ප්‍රීතියට පත් වූ බව කී පොලිසිය ඉන් ඇතැමෙක් තුවාල ලබා සහ කුස ගින්නේ පීඩා විඳිමින් සිටි බව සඳහන් කළේය.

ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සොයා ගැනීම සඳහා කටයුතු කරන අතරේ එම පිරිස ආරක්ෂිතව කඩුනා හි පිහිටි ක්‍රීඩාංගනයක් වෙත ගෙන යනු ලැබීය.

මුදා ගනු ලැබූ 500 ආසන්න රැඳවියන් කායික සහ මානසික පරීක්ෂාවකට යොමු කෙරෙනු ඇති බව නයිජීරියානු බලධාරීහු පවසති.

උතුරුදිග නයිජීරියාව තුළ ඉස්ලාමීය පාසල් ජනප්‍රිය නමුත් ළමුන් අපයෝජනයට ලක් කරන බවට සහ ඔවුන් සිඟා කෑම සඳහා යොදවන බවට දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල වේ.