ඇමරිකාවේ පැවති 'ඓතිහාසික' ජනහමුවකදී මෝදි, ට්‍රම්ප්ගේ ඇගයීමට ලක් වෙයි

ටෙක්සාස් හි පැවති මහා ජනහමුවකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති නරේන්ද්‍ර මෝදි මිත්‍රත්වය ඇඟවෙන උණුසුම් වදන් හුවමාරු කර ගත්හ. විදේශීය නායකයකු වෙනුවෙන් එක්සත් ජනපදය තුළ ජනහමු පැවැත්වෙන්නේ දුලභ වශයෙනි.

ඉරිදා (සැප්තැම්බර් 22) හියුස්ටන් හි පැවති හමුවට 50,000 ආසන්න පිරිසක් එක්රැස් වී සිටියහ. ජනාධිපති ට්‍රම්ප් විසින් ජනහමුව හඳුන්වනු ලැබුවේ "හෘදයාංගම වශයෙන් ඓතිහාසික සිදුවීමක්" ලෙසය.

"Howdy, Modi!" ලෙස හැඳින්වුණු ජනහමුව එක්සත් ජනපදය තුළ විදේශීය රාජ්‍ය නායකයකුට ලැබුණු විශාලතම පිළිගැනීම් අතරින් එකක් ලෙස සැලකේ. "Howdy" යන්න ඇමරිකාවේ බටහිර ප්‍රාන්ත තුළ අමුත්තෙකු පිළිගැනීම සඳහා භාවිත කෙරෙන යෙදුමකි.

කෙසේ වුවත් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ජනාධිපති මෝදිට එතරම් මිත්‍රශීලී පිළිගැනීමක් ලැබෙතැයි බලාපොරොත්තු විය නොහැක.

ඉන්දීය පාලිත කාශ්මීරයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා එම සමුළුවේදී විවේචනයන්ට මුහුණ දීමට සිදුවීමේ ඉඩකඩ වැඩිය. කාශ්මීර කලාපයේ "අතීත ශ්‍රී විභූතිය" යළි ස්ථාපනය කරන බවට ප්‍රතිඥා දෙමින් ඔහු පසුගිය මාසයේදී ඉන්දීය පාලිත කාශ්මීරය සතුව තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට පියවර ගත්තේය.

"සැබෑ මිතුරෙක්"

සතියක් පුරා දිවෙන ඉන්දීය අගමැතිවරයාගේ එක්සත් ජනපද සංචාරයේ න්‍යාය පත්‍රයට වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා සහ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ කටයුතු ඇතුළත්ය.

අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් වේදිකාවට පැමිණීමට පෙර ප්‍රසාංගික ශිල්පීන් හාරසියයකගේ සහභාගීත්වයෙන් පැය එක හමාරක සංදර්ශනයක් පැවැත්විණි.

"ඇමරිකාවට සිටින ශ්‍රේෂ්ඨතම, අතිශය කැපවීමකින් යුතු සහ පක්ෂපාතී මිත්‍රයෙක් වන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමග මේ මොහොතේ ටෙක්සස් වෙත එන්නට ලැබීම ගැන මා ඉතාමත් ප්‍රීතියට පත් වෙනවා," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් රැස්ව සිටි පිරිස අමතමින් සඳහන් කළේය.

එහි සිටි ජනයා අමතමින් අගමැති මෝදි කියා සිටියේ ධවල මන්දිරය තුළ ඉන්දියාවේ "සැබෑ මිතුරෙකු" සිටින බවය. ඔහු විසින් ජනාධිපති ට්‍රම්ප් හඳුන්වනු ලැබුවේ "උණුසුම්, මිත්‍රශීලී, ළඟා විය හැකි, ජව සම්පන්න සහ සබුද්ධික" පුද්ගලයකු වශයෙනි.

"ප්‍රධාන විධායක නිලධාරියකු වශයෙන් සිට සේනාධිනායකයා දක්වා, සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සිට ධවල මන්දිරයේ 'ඕවල්' කාර්යාලය දක්වා, චිත්‍රාගාරවල සිට ජාත්‍යන්තර වේදිකාව දක්වා... ඔහු ඒ සෑම තැනකම සදාකාලික සටහන් තබා තිබෙනවා" යනුවෙන් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී හි බ්‍රජේෂ් උපාධ්‍යායි හියුස්ටන් සිට

සිය ජනහමු තුළින් බලාපොරොත්තු වන ආකාරයේම විශාල ජනකායක් සහ ජවයක් ජනාධිපති ට්‍රම්ප්ට මෙහිදී දැකගත හැකි විය.

රැස්ව සිටි ජනයා වැඩි වශයෙන්ම හඬ නැගුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙනි. ජනාධිපති ට්‍රම්ප්ගේ ජන රැළිවලදී අසන්නට ලැබෙන "යුඑස්ඒ" (USA) යනුවෙන් සඳහන් පාඨ හඬ නගමින් ඔහු වෙත සුබ පැතුම් පිරිනැමීමටත් රැස්ව සිටි පිරිස අමතක නොකළහ.

අගමැති මෝදිට අනන්‍ය වූ තදින් අල්ලා සිප ගැනීම ක්‍රියාවට නගමින් සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රදර්ශනය කෙරිණි.

මේ ජනහමුව නායකයන් දෙපලටම වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරයි. 2020 ජනාධිපතිවරණයේදී මැතිවරණ පොරපිටියක් බවට පත් විය හැකි ටෙක්සස් හි ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානුවන් ඇද ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ට මෙය අවස්ථාවකි. අගමැති මෝදිට මෙය මහජන සබඳතා අතින් ජයග්‍රහණයක් අත් කර දෙන අතර ඇමරිකානු ජනාධිපතිවරයා සමග එකට සිටීම, මෑත කාලය තුළ සිය මව් රටේදී බලය යොදා කළ මැදිහත්වීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචන යටපත් කිරීම සඳහා උපකාරී විය හැක.

ඉහත කී හමුව පැවති හියුස්ටන් NRG ක්‍රීඩාංගනය ඉන්දීය අගමැති සංචාරයේ පළමු නැවතුමය. මේ වසරේ පැවති මහමැතිවරණයෙන් ඔහු ඇතුළු හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් අත් විය.

සිය කතාව අතරතුර ජනාධිපති ට්‍රම්ප් විසින් අගමැති මෝදි හඳුන්වනු ලැබුවේ ඉන්දියාවේ ජනතාව සහ "ඉන්දියාව වෙනුවෙන් සැබෑ සුවිශේෂී සේවයක් කරන" පුද්ගලයකු ලෙසය.

එහිදී ඉන්දීය-ඇමරිකානු ප්‍රජාවට සිය ගෞරවය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "ඇමරිකානුවන් වශයෙන් ඔබ අප සමග සිටීම ගැන සැබවින්ම ආඩම්බර වනවා" යනුවෙනි.

ජාතිකවාදී වාග් භාවිතයට ආගන්තුකයකු නොවන ජනාධිපති ට්‍රම්ප් ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවේ පවතින ආරක්ෂක තත්ත්වය, කාශ්මීර කලාපය මුල් කර ගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම හා සංසන්දනය කළේය. 

"අපේ ජනතාවගේ ආරක්ෂාව පවත්වාගැනීම වෙනුවෙන් අපේ දේශ සීමා ආරක්ෂා කළ යුතුය යන්න ගැන ඉන්දියාව සහ එක්සත් ජනපදයට වැටහීමක් තිබෙනවා." යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය

ප්‍රධාන ධාරාවේ ඉන්දීය මාධ්‍ය ආයතන වැඩි සංඛ්‍යාවක් ටෙක්සස් හි පැවති ජනහමුව පිළිබඳ සජීවී පුවත් වාර්තා කරන ආකාරය දක්නට ලැබිණි.

දින ගණනාවකට පෙර සිටම එකී හමුව ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට එක් වී තිබිණි. 

ට්විටර් සමාජ ජාලය තුළ ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ක්ෂණික විශ්ලේෂණ සහ මත හුවමාරු කර ගනිති. ඇමරිකානු ජනතිවරයාගේ ඇගයීමට ලක්වීම ද ඇතුළුව අගමැති මෝදි, නිපුණ රාජ්‍ය නායකයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ඔවුහු දකිති.