ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය - මහින්ද නිවේදනය කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ ඉරිදා (අගෝස්තු 11) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අමතමිනි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පවරනු ලැබිණ .
අනතුරුව සම්මේලනය අමතමින් හිටපු ජනාධිපතිවරයා , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සිය සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කළේය.
"අපිට ඕනේ 2020 නෙවෙයි 2030 අනාගතය බලන කෙනෙක්. එයා මේ රටේ හොරකම, දුප්පත්කම, දුෂණය කම්මුතුකරන කෙනෙක්. අගමැති රනිල්ගේ භාෂාවෙන් කියනවනම් කම්මුතු කරන කෙනෙක්. එතනදී මගේ තේරීම නෙමෙයි මට වැදගත් වෙන්නේ රටේ තේරීමයි. කයිවාරු නැති එත් වීරත්වයෙන් වැඩකරන්න පුළුවන් අවංක කෙනෙක් තමයි ජනතාවට ඕනේ. මම තේරුවත් නැතත් ඔහු ඔබේ සහෝදරයා වෙලා ඉවරයි. ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි. ව්‍යවස්ථාවෙන් ඔහුව නතර කරන්න හැදුවා, හිරේ විලංගු දාන්න හැදුවා. හැබැයි රටේ මහා සංඝරතනයයි රටට ආදරේ කරන ජනතාවයි ඔහුව රැක ගත්තා. මම මගේ සහෝදර කමින් ඔහුව ඔබගේ සහෝදරයා බවට භාරදෙනවා. ඒ අන් කිසිවෙක් නෙමෙයි... ඒ ගෝඨාභයයි.."
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එලෙස පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට ඉකුත් රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම්කරනු ලැබීය.
"කාලය විසින් අපිව නිර්දෝෂි කරලා ඉවරයි. ජනතාව විසින් අපිව නිර්දේශ කරලත් ඉවරයි. කොළඹ කුණු ගඳ ගහනකොට ජනතාවට අපිව මතක් වුණා. මට වෛර කරලා දිනාගන්න දෙයක් නෑ. තමන්ට වෙඩි තිබ්බ මිනිහටත් සමාව දෙන්න කියයා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක අගමැතිවරයාත් කිව්වා" සම්මේලනයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
මෙහිදී ආගමික සමගිය සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වීය.
"මුස්ලිම් ජාතිකයන්ට පල්ලි යන්න පුලුවන් රටක් අපට ඕනෑ. හැම මුස්ලිම් ජාතිකයාම ත්‍රස්තවාදියෙක් විදියට හිතන්නේ නැති පසුබිමක් ඇති කරපු රටක් අපට ඕනෑ . ඒ වගේම දෙමළ මුස්ලිම් ජනතාව රවට්ටන්‍නේ නැති කෙනකුයි අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ. අපිට ඕනෑ නීතිය රකින කෙනෙක්.
අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්මේලනය අමතනු ලැබීය. මාතෘ භූමියේ ස්වෛරී භාවයට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබව බව පැවසීය.
"මම මගේ රටට ආදරේ කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ අනාගතය ගැන දැක්මක් තිබෙනවා. බාරදෙන ඕනෑම වගකීමක් ඉහළින්ම ඉටුකිරීමට කිසිවිටක නොපැකිළුනු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝග ජයගැනීමට නායකත්වය සැපයීමට සුදානම් බව ඔබ සියළු දෙනා ඉදිරියේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය කතාව ආරම්භ කරමින් කියා සිටියේය.
"අද මේ රටට අවශ්‍ය අනාගතය ගැන දැක්මත් ඇති, රටේ සංවර්ධනයට සැලැස්මක් ඇති, එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි විනය ගරුක දුෂණයෙන් තොර දේශප්‍රේමී නායකත්වයක්. ජනාධිපතිවරයෙක්ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි නායකත්වයක්. ඔබ අපේක්ෂා කරන නායකත්වය දීමේ හැකියාව මට ඇති බව මම දැනටමත් ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා" ගෝඨාභය රාජපක්ෂ සිය නායකත්වයේ හැකියාව ගැන අදහස් දක්වමින් පැවසුවේය.
"ඔබෙත් ඔබේ දුදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා බාර ගන්නවා. අපේ ශක්තිය ජාතික එකමුතුවයි. මේ මාතෘ භුමිය තුළ ඉපදුනු ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජිවත් විය හැකි ආරක්‍ෂිත පරිසරයක් යළි ගොඩනගන බවට මම සහතික වෙනවා. කිසිවිටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ" ජාතික ආරක්ෂාව ගැන අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.
උතුරේ ජනතාවගේ ගැටළු ඉදිරි රජයක් යටතේ විසඳීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
"අපි සෑම රටක් සමග මිතුරුකම් පැවැත්වීමට සුදානම්, නමුත් අපි කිසිම රටකට අපේ රටේ ස්වාධිනත්වය පාවා දෙන්න සුදානම් නැහැ. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන ඕනෑම රටක් සමග සමතත්ත්වයෙන් කටයුතු කළ හැකි ගෞරවාන්විත පාලනයක් අපි යළි ස්ථාපිත කරනවා. මාතෘ භූමියේ ස්වෛරී භාවයට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ ." හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සම්මේලනයට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.