ඇමරිකාවේ ඒරියා 51 ෆේස්බුක් ප්‍රචාරය: "ඇතුළුවෙන්න උත්සහ කරන්න එපා"

Area 51

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒරියා 51හි පිටසක්වළ ජීවීන් රඳවාගෙන සිටින බව සමහරු විශ්වාස කරති

'ඒරියා 51' ලෙස හැඳින්වෙන බිම් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ නොකරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාව මේ වන විට අනතුරු අඟවා තිබේ.

ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයට ඇතුළු වීම සඳහා ආරාධනා කරමින් ෆේස්බුක් ඔස්සේ නිර්මාණය කළ පිටුවකට මිලියනයකට අධික පිරිසක් සිය සහභාගීවීම තහවුරු කර තිබේ. මෙම පිටුව ප්‍රථමයෙන් ආරම්භ කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන සරදමක් ලෙසය.

ඒරියා 51හි පිටසක්වළ ජීවීන් රඳවාගෙන සිටින බව සමහරු විශ්වාස කරති.

"අපිට පුළුවන් ඔවුන්ගේ වෙඩි උණ්ඩවලට වඩා ඉක්මනට ඇතුළට යන්න. ඊට පස්සේ පිටසක්වළ ජීවීන් දැකගමු" යැයි දහස් ගණනක පිරිසක් අදාළ ෆේස්බුක් පිටුවේ සිය අදහස් පළ කර තිබිණි.

"ඇමරිකාව සහ එහි සම්පත් රැකගන්න අපි සූදානම්" යැයි ඇමරිකානු ගුවන් හමුදා ප්‍රකාශිකාවක 'ද වොෂිංටන් පෝස්ට්' පුවත්පතට පවසා තිබේ.

"හලෝ එක්සත් ජනපද රජය, මේක විහිළුවක් විතරයි. මම මේ සැලසුමට අනුව වැඩ කරන්න හිතන්නේ නැහැ" ලෙස ෆේස්බුක් පරිශීලකයෙකු වන ජැක්සන් බානස් සටහන් කර තිබිණි.

"මම හිතුවේ එය විහිළුවක් බවට පත් වෙලා අන්තර්ජාලය තුළ මට ලයික් වැඩි වෙයි කියලා. මිනිස්සු ඇත්තටම ඒරියා 51ට ඇතුළු වීමට උත්සහ කළොත්, ඒ ගැන මට වගකීම ගන්න බැහැ."

කෙසේනමුත්, ඇමරිකානු ගුවන් හමුදාවට මෙය තවත් එක් සරදමක් ලෙස නොපෙනේ.

Area 51

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාව පුරා පිහිටා බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී

"ඒරියා 51 කියන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු තිබෙන ප්‍රදේශයක්. ඇමරිකානු හමුදා පුහුණු කරන ස්ථානයකට ඇතුළු වීමට උත්සහ කරන්න එපා කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා," යැයි ප්‍රකාශිකාව පැවසුවාය.

ඒරියා 51 ගැන පවතින න්‍යාය මොනවා ද?

සමහර න්‍යායවාදීන් පවසන්නේ ඇමරිකානු රජය සතුව පිටසක්වළ ජීවීන් ගැන තොරතුරු සහ ඔවුන්ගේ යානා ඇති අතර ඒවා මහජනතාවගෙන් සඟවන බවය.

2013දී නිල වශයෙන් හඳුනාගත් ඒරියා 51 කඳවුරෙහි අල්ලාගත් පිටසක්වළ ජීවීන් සිටින බවටත්, UFO - හඳුනා නොගත් පියාඹන වස්තු ඇති බවට හා ඔවුන්ගේ තාක්ෂණය ද ඇති බව ඔවුන් සිතන නමුත්, ඇමරිකානු රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි.

1989 දී බොබ් ලේසර් නම් භෞතික විද්‍යාඥයෙකු තමන් ඒරියා 51හි රැකියාවේ නිරත වූ බව ඇමරිකානු රූපවාහිනී වැඩසටහනක දී පැවසීමත් සමග කඳවුර පිළිබඳ මෙවැනි න්‍යාය නිර්මාණය වීම ආරම්භ විණි.

ඔහු ගැන Netflix (නෙට්ෆ්ලික්සි) වාර්තාමය වැඩසටහනක් විකාශනය වූ අතර, මෑතක දී ඔහු තවත් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වීම මෙම කතාව නැවතත් කරළියට පැමිණීමට හේතුව විය හැකිය.

සිය රැකියාව, හඳුනා නොගත් පියාඹන වස්තු හා සම්බන්ධ වුවක් වූ අතර පිටසක්වළ ජීවීන් පෘථිවියේ ගත කරන ජීවිතය ගැන සඳහන් රජයේ ලිපි ගොනු කියවා ඇති බව බොබ් ලේසර් පවසයි.

Area 51

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොබ් ලේසර් (මැද)

නමුත්, මේ කිසිවක් තහවුරු කිරීමට ඔහු සතුව සාක්ෂි හෝ වාර්තා නොමැති අතර, භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ඔහුගේ උපාධිය පවා මෙතෙක් තහවුරු කර නොමැත. නමුත් ඔහුගේ ප්‍රකාශ ඒරියා 51 ගැන ඇති විවිධ මත තවත් පැතිරී යෑමට හේතු විය.

තෝමස් බුලාඩ්ගේ The Myth and Mystery of UFOs (හඳුනා නොගත් පියාඹන පීරිසි ගැන පවතින මිත්‍යා සහ අභිරහස්) නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ "වියට්නාම සහ වෝටර්ගේට් සිද්ධි නිසා රජය සහ මහජනයා අතර විශ්වාසය පලුදු වෙමින් තිබෙන කාලයක, රාජකාරි මට්ටමේ දෙපිටකාට්ටු වැඩවලට රොස්වෙල් සහ ඒරියා 51 ඉතා ජනප්‍රිය වචන බවට පත් වුණා," යනුවෙනි.

නිව් මෙක්සිකෝ හි පිහිටි රොස්වෙල් ප්‍රදේශයට 1947 දී යම්කිසි ආකාශ වස්තුවක් කඩා වැටිණි.

එය වායු බැලුනයක් බව හමුදාව පැවසීය. නමුත්, බොහෝ දෙනෙකු පැවසුවේ එය හඳුනා නොගත් පියාඹන වස්තුවක් වන අතර, ඒ ගැන තොරතුරු වසන් කිරීමට හමුදාවෙන් ක්‍රියා කළ බවය.

Area 51

ඡායාරූප මූලාශ්‍රය, ALAMY

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒරියා 51 සහ පිටසක්වළ ජීවීන් ගැන නිර්මාණය වූ 'පෝල්' නැමැති සිනමා පටය

එය න්‍යෂ්ටික අත්හදාබැලීම් නිරීක්ෂණය සඳහා යෙදවූ බැලුනයක් බව 1990 දී ඇමරිකානු රජය නිවේදනය කළ නමුත්, ඒ ගැන තවමත් දැඩි අවධානයක් යොමු වී තිබේ.

එමෙන්ම, ඒරියා 51 ගැන පවතින අභිරහස් මෙන්ම මිත්‍යා මත පදනම් කරගෙන බොහෝ සිනමා නිර්මාණ, The X-Files වැනි මාලා නාට්‍ය සහ වීඩියෝ ක්‍රීඩා වර්ග බොහොමයක් ලෝකය පුරා නිර්මාණය කර තිබේ.

තවත් තොරතුරු:

ඒරියා 51 යනු කුමක්ද? තිබෙන්නේ කොහේද?

ඒරියා 51 නැමැති මෙම හමුදා කඳවුර පිහිටා ඇත්තේ නෙවාඩා හි ලස් වේගස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ වයඹ දෙසිනි.

Area 51

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ නවාඩාහි පිහිටි රහස් ප්‍රදේශයක් වන ඒරියා 51

එඩ්වඩ් ගුවන් හමුදා කඳවුරෙහි (Edwards Air Force Base) කොටසක් වන මෙය ඇමරිකානු රජය හඳුන්වන්නේ නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු ප්‍රදේශය ලෙසය.

ඇමරිකාව පුරා පිහිටා ඇති බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී.

ෆේස්බුක් පිටුවේ තිබූ අදහස් අනුව සංවිධානගත වී මෙම ස්ථානයට කඩා වැදීම ඉතා අපහසු කාරණයක් වනු ඇත. මෙම ස්ථානයට සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි අතර, නිරන්තරයෙන් දැඩි මුරකාවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකිය.

එමෙන්ම, ඒරියා 51 වෙත ගුවනින් ළඟා වීම ද කළ නොහැකිය. එහි ගුවන් පථයට ඇතුළු වීමට විශේෂ අවසරයක් අවශ්‍ය වන නමුත්, ගුවන් ගමන් පාලකයන් විසින් දෙනු නොලැබේ.

තවත් තොරතුරු: