ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සඳ මත පා තැබීම: මොකක්ද මේ ඇපලෝ 11 මෙහෙයුම?
සඳ මත මිනිසුන් පා තබා මේ මාසයට පනස් වසරක් පිරේ. සඳ වෙත මිනිසුන් රැගෙන ගිය පළමු රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක් වූයේ 1969 ජුලි 20 වෙනිදාය.
'ඇපලෝ 11' මෙහෙයුම ඇමරිකාවට පමණක් සීමා නොවන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. ඇත්ත වශයෙන්ම එහිදී සිදු වූයේ කුමක්ද? එය මෙතරම් වැදගත් වන්නේ ඇයි?
සඳ වෙත යාම සඳහා ඇමරිකාවට අවශ්‍ය වූයේ ඇයි?
සෝවියට් රුසියාව සිය පළමු චන්ද්‍රිකාව, 'ස්පුත්නික්' (Sputnik) දියත් කිරීමත් සමග අභ්‍යවකාශ තරණය මුල් කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර තරගයක් වර්ධනය විය.
1961 වසරේදී ජෝන් එෆ් කෙනෙඩි ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වූ අතර සිය සීතල යුද (Cold War) ප්‍රතිවාදියා සමග පැවති තාක්ෂණයේ සුපිරි බලවතා බවට පත්වීමේ තරගයෙන් තමන් පරාජයට පත් වනු ඇති බව එවක ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය විය.
යෝධ පියවරක් තබමින්, මිනිසුන් රැගත් යානයක් අභ්‍යවකාශය වෙත දියත් කළ පළමු රට ලෙස සෝවියට් දේශය ඉතිහාස ගත වන්නේ ද එම වසරේදීමය (1961).
එහිදී, මිනිසුන් රැගත් අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පළමුවරට ඉටා ගන්නා අතර "අපි සඳ වෙත යාමට තෝරා ගත්තා" යනුවෙන් නිවේදනය කරමින් ජනාධිපති කෙනඩි 1962 වසරේදී සිය ප්‍රසිද්ධ දේශයනය සිදු කළේය.
දෙරට අතර අභ්‍යවකාශ තරගය තවදුරටත් පවතිද්දී සෝවියට් දේශය 1965 වසරේදී මිනිසුන් රහිත යානයක් සාර්ථකව සඳ මත ගොස බැස්සවීමට සමත් විය.
එක්සත් ජනපදය සිය මෙහෙයුම සැලසුම් කළේ කෙසේද?
එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය, එනම් නාසා ආයතනය 'ඇපලෝ' වැඩසටහන වශයෙන් හඳුන්වන ලද සිය මෙහෙයුම සඳහා විශාල වශයෙන් සම්පත් කැප කළේය.
එම වැඩසටහන සඳහා පුද්ගලයන් 400,000 (හාරලක්ෂයක්) සේවය සපයා ඇති අතර ඒ සඳහා එවක මුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 2,500 ක් වැය කර ඇත.
'ඇපලෝ 11' මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු තෝරා ගැනිණි. බස් ඇල්ඩ්‍රින්, නීල් ආම්ස්ට්‍රෝන් සහ මයිකල් කොලින්ස් එම අභ්‍යවකාශගාමීන් තිදෙනාය.
බලසම්පන්න 'සැටර්න් V' රොකටය මගින් ඇපොලෝ මව් යානය සහ සඳ වෙත ගොඩ බැස්සවීමට නියමිත ලුනාර් යානය ගෙන යනු ලැබිණි.
සඳ වෙත යාමට පෙර පළමුව, ඒ සඳහා අවශ්‍ය දෘඩාංග පෘථිවි කක්ෂය වෙත දියත් කිරීම සැලසුම විය.
කොලින්ස්, මව් යානයේ රැඳී සිටින අතරතුර ලුනාර් යානය මගින් ඇල්ඩ්‍රින් සහ ආම්ස්ට්‍රෝන් සඳ මතුපිටට ගෙන යනු ලැබිණි.
යම් කිසි තැනක වරදක් සිදුවීද?
කක්ෂගත වීම අත්හදා බැලීමට නියමිතව තිබූ මිනිසුන් රැගත් පළමු යානය 'ඇපලෝ 1' ය. එය දියත් කිරීමට නියමිතව තිබුණේ 1967 වසරේදීය.
නමුත් දෛනික පරීක්ෂණ අතරතුර මව් යානය තුළ ගින්නක් පැතිර ගොස් අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු මරණයට පත් විය.
ඒ සමග මිනිසුන් රැගත් අභ්‍යවකාශ ගමන් මාස ගණනාවක් යන තෙක් අත්හිටවනු ලැබිණි.
'ඇපලෝ 11' මෙහෙයුම අතරතුර ද පාලක මැදිරිය සමග පණිවුඩ හුවමාරු ගැටලු පැවතිනි. අභ්‍යවකාශගාමීන් වෙත මින් පෙර ඇසීමට නොලැබුණු එලාම් පණිවුඩ සංඥාවක් පරිගණකයක නාද වී තිබිණි.
එමෙන්ම ලුනාර් යානය ළඟා වී තිබුණේ ද පළමුව සැලසුම් කළ කලාපයෙන් ඔබ්බෙන් පිහිටි වෙනත් ස්ථානයකටය.
සඳ මත ඇවිදීම
යම් යම් ගැටලු පැවතියත් පෘථිවි තලයෙන් පිටත් වී හෝරා 110 ආසන්න කාලයකට පසු එනම් මැයි 20 වෙනි දින සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස නීල් ආම්ස්ට්‍රෝන් ඉතිහාසයට එක් විය. බස් ඇල්ඩ්‍රින් ඔහු හා එක් වූයේ මිනිත්තු 20 පසුවය.
"මෙය මිනිසකුට එක් කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට එක් යෝධ පිම්මක්" යනුවෙන් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිට වූ වචන පෘථිවි තලයට ළඟා වී රූපවාහිනී ඔස්සේ ශ්‍රවනය විය.
ඔවුන් ලුනාර් යානයෙන් පිටත පැය දෙකකට වැඩි කාලයක් ගත කළ අතර එහිදී මතුපිට පාෂාණ සාම්පල සහ ඡායාරූප ගනු ලැබිණි. එමෙන්ම විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් සඳහා කටයුතු සකස් කළහ.
සඳ ගවේෂණය අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා සාර්ථක ලෙස මව් යානය වෙත ගොඩ බැසීය.
පෘථිවිය කරා යළි ගමන් ඇරඹි අභ්‍යවකාශගාමීන් තිදෙනා ජුලි 24 වෙනි දින ශාන්තිකර සාගරයට පතිත විය.
සඳ මත පා තැබීම ලොව පුරා පුද්ගලයන් මිලියන 650 ක් නරඹා ඇතැයි ඇස්තමේන්තු කෙරේ. ලෝක ප්‍රජාව ඉදිරියේ සිය බලය විදහා පෑම සඳහා එකී ජයග්‍රහණය එක්සත් ජනපදයට ආධාරයක් විය.
හැලහැප්පීම් සහිත දශකයක් අවසානයේ එය ඇමරිකාවේ ජාති මාමකත්වය ඉහළ නැංවීමට ද හේතු විය.
60 දශකය තුළ ජනාධිපති කෙනඩි ඝාතනයට ලක් වූ අතර ප්‍රධාන නගර ගණනාවක වර්ගවාදී කෝලාහල මෙන්ම වියට්නාමය තුළ සිදු කළ යුදමය මැදිහත්වීම සම්බන්ධයෙන් අසහනකාරී වාතාවරණයක් ඇති වී තිබිණි.
සඳ මත පා තබුවේදැයි කිව හැක්කේ කෙසේද?
1972 අවසාන වන විට, එක්සත් ජනපදය දියත් කළ මෙහෙයුම් හයක් මගින් සඳ මත පා තබන ලද පුද්ගලයන් සංඛ්‍යාව හයකි. නමුත් සඳ මත පා තැබීම් හුදු රංගනයක් පමණක් බවට ඇතැමෙක් තර්ක කරති.
සඳේ කක්ෂගත කළ, යළි පිරික්සීමේ යානයක් 2009 වසරේ සිට නාසා ආයතනය සතු විය. පා සලකුණු සහ රෝද සලකුණු වැනි 'ඇපලෝ' මෙහෙයුම මගින් සඳ මතු පිට සිදු කළ ගවේෂණවල සලකුණු දැක්වෙන ඡායාරූප එමගින් එවනු ලැබිණි.
එමෙන්ම සඳ මතුපිටින් ගෙනෙන ලද පාෂාණ ඒ සඳහා භූගෝලීය සාක්ෂි සපයයි.
සඳට යාමේ තේරුම කුමක්ද?
මේ දක්වාම සඳ මතුපිටට මිනිසුන් රැගෙන ගිය එකම රට ඇමරිකා එක්සත් ජනපදයයි.
කෙසේ නමුත් රුසියාව, චීනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය, ඊශ්‍රායලය සහ ඉන්දියාව සඳේ කක්ෂ ගත කිරීමට හෝ ඒ මත ගොඩ බැස්සවීමට අභ්‍යවකාශ යානා යවා ඇත.
සඳ වෙත අභ්‍යවකාශ යානයක් හෝ මිනිසුන් යැවීමට යම් කිසි රටකට හැකි වේ නම් එය සීමිත ප්‍රභූ සමාජයක සාමාජිකත්වය හිමි කර දෙන තාක්ෂණ බල පරාක්‍රමය විදහා දක්වන සංඥාවකි.
එමෙන්ම සඳේ සම්පත් සූරා කෑමට ඇති ආශාව වැනි වඩාත් ප්‍රයෝගික හේතු ද ඒ පිටුපස නැතුවා නොවේ.
සඳේ ධ්‍රැව මත අයිස් හමුවී ඇති අතර ඒ තුළ රොකට් යානා සඳහා ඉන්ධන වශයෙන් භාවිත කළ හැකි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අඩංගු බැවින් යානාවලට අභ්‍යවකාශයේ වඩාත් පතුලට යාම සඳහා එය පහසුවක් විය හැක.
එමෙන්ම සඳ මත රත්‍රන්, ප්ලැටිනම් සහ දුලභ ලෝහ කැණීම සම්බන්ධයෙන් ද අවධානය පළ වේ. එවැනි සම්පත් මතු කර ගැනීම කෙතරම් පහසුවනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.
සියලුම ඡායාරූප ප්‍රකාශන හිමිකම් සහිතය