ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය: නවසීලන්ත අගමැතිනියගේ නායකත්වය සහ ගිනි අවි නීතිය
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකක් ආසන්නයේ සිදු කළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50 දෙනෙක් තුවාල ලැබූහ.
මෙම සිද්ධිය සැලකිල්ලට ගෙන නවසීලන්තයේ පවතින ගිනි අවි නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කළ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු වැසියෙකු වන 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරිණ.
මෙම සිද්ධියෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය "අපේ ගිනි අවි නීති වෙනස් වනු ඇති" යනුවෙන් පැවසීමත් සමග එරට ගිනි අවි නීති සංශෝධනය කළ යුතු බවට මතයක් නිර්මාණය විය.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ගිනි අවි නීති සංශෝධනය පිළිබඳ තොරතුරු මාර්තු 25 වන දා වන විට නිවේදනය කිරීමට අපේක්ෂා කරන බවය.
කියවන්න:
"මේ කෲර ත්‍රස්තවාදී ක්‍රියාව සිදුවී දින 10ක් තුළ අපේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංශෝධන නිවේදනය කරනවා," ඇය සඳහන් කළාය.
"අපි කැබිනට් මණ්ඩලය විදිහට තීරණයක් ගත්තා. අපි ඔක්කම එකඟයි," අග්‍රාමාත්‍යවරිය මාධ්‍යවේදීන්ට පැවසීය.
මේ අතර, අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිකුරාදා (මාර්තු 15) සඳහන් කර තිබුණේ, "ප්‍රහාරයෙන් වැඩි ම බලපෑමක් සංක්‍රමණික වැසියන්ට සිදුව ඇති අතර නවසීලන්තය ඔවුන්ගේ නිවහන වන" බවය.
මෙම ප්‍රහාරය හමුවේ, අග්‍රාමාත්‍යවරිය ක්‍රියා කළ ආකාරය එරට වැසියන්ගේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසාදය පළ වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ නවසීලන්තයේ පදිංචිව සිටින ශානිකා සෝමතිලක පැවසුවේ, "නවසීලන්තය තුළ කිසිදු ජනකොටසක් අඩු සැලකිල්ලකට ලක් නොවන" බවය.
"ඒ නිසයි නවසීලන්ත අගමැතිනිය කිව්වේ, සංක්‍රමණිකයින්ගේත් නිවහන නවසීලන්තය කියලා. අගමැතිනිය ඒ කියපු දෙයින් සියලු පුරවැසියන්ට සමාන වටිනාකමක් ලැබුණා."
මේ අතර, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහි කරමින් සමරු වැඩසටහන් රැසක් නවසීලන්තයේ පැවැත්වුණු අතර, මෙම සතියේ ද කිහිපයක් සැලසුම් කර තිබේ.
සැකකරු
සති අන්තයේදී මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සැකකරු 2017 වසරේ නොවැම්බර් මාසයේදී ගිනි අවි බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඔහු සතුව ගිනි අවි 5ක් තිබී ඇති බවය.
සැකකරුට ගිනි අවියක් අලෙවි කළ ගිනි අවි අලෙවිසල වන 'ගන් සිටි' ආයතනය පැවසුවේ, සිය ආයතනය සැකකරුට ගිනි අවි අලෙවි කර ඇතත් සිකුරාදා වෙඩි ප්‍රහාරයට යොදා ගත් ආකාරයේ අධිබල ගිනි අවි අලෙවි නොකළ බවය.
අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කරන ලෙස නවසීලන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කර ඇති බව රේඩියෝ නිව්සීලන්ඩ් ගුවන් විදුලි සේවය මේ අතර වාර්තා කළේය.
නවසීලන්තයේ ගිනි අවි භාවිතය පිළිබඳ විශේෂ තොරතුරු
- ගිනි අවියක හිමිකරුවෙකු වීමට අවශ්‍ය අවම නීත්‍යනුකූල වයස අවුරුදු 16කි. ඊට අමතරව අර්ධ ස්වයංක්‍රීය යුද්ධමය ගිනි අවි සඳහා එම වයස් සීමාව අවුරුදු 18කි.
- නවසීලන්තය තුළ පෞද්ගලික හිමිකාරිත්වය ඇති ගිනි අවි සංඛ්‍යාව මිලියන 1.5කි.
- සියලු ගිනි අවි හිමිකරුවන් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වුව ද, සියලු ගිනි අවි ලියාපදිංචි කළ යුතු නොවේ. මෙවැනි තත්ත්වයක් ඇති රටවල් අතලොස්ස අතරින් නවසීලන්තය එකකි.
- අර්ධ ස්වයංක්‍රීය යුද්ධමය ගිනි අවි අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු වුව ද, එම නීතියෙහි හිඩැස් ඇති බවට චෝදනා එල්ල වේ.
- ගිනි අවි බලපත්‍රයක් ඉල්ලුම් කරන්නෙකු අපරාධ සහ වෛද්‍ය වාර්තා පිළිබඳ පරීක්ෂණයකට ලක් විය යුතුය.
- යමෙකු ගිනි අවි බලපත්‍රයක් ලබා ගතහොත්, ඔහුට ගිනි අවි ඕනෑ ම සංඛ්‍යාවක් මිල දී ගත හැකිය.