ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්ට්‍රේලියාව: මනුස් දූපතේ සිට වට්ස්ඇප් ඔස්සේ පොතක් ලියූ සරණාගතයා ඉහළ ම සාහිත්‍ය ත්‍යාගය දිනයි
රැකවරණ පතා පැමිණ ඔස්ට්‍රේලියාව විසින් පැසිෆික් සාගරයේ පිහිටි දූපතක වසර ගණනාවක් රඳවනු ලැබ සිටින මාධ්‍යවේදියෙකුට එරට ඉහළ ම සාහිත්‍ය ත්‍යාගය හිමිව තිබේ.
බෙහෙරූස් බූචානි නමැති ඉරාන කුර්දි වැසියෙකු වන ඔහු, 'No Friend But the Mountains: Writing from Manus Prison' නම් වූ කෘතිය මනුස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක සිට ලියා ඇත්තේ, වට්ස්ඇප් හරහා කෙටි පණිවුඩ සටහන් තබමිනි.
කෘතිය 2019 වසරේ සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු ත්‍යාගයෙන් (Victorian Prize for Literature) පිදුම් ලබා ඇති අතර, එම ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000 කි.
බූචානි තවමත් පැපුවා නිව් ගිනියාවට අයත් මනුස් දූපතේ රඳවා සිටින අතර ඔහුට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර නැත.
ඔහු රඳවා සිටි ආන්දෝලනාත්මක රැඳවුම් මධ්‍යස්ථානය 2017 වසරේදී වසා දමන ලදී. ඔහු ඇතුළු තවත් සිය ගණනක් රැඳවියන් විකල්ප ස්ථානවලට යවනු ලැබිණි.
රැකවරණ පතා බෝට්ටු ඔස්සේ පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔස්ට්‍රේලියාව සැබෑ සරණාගතයින් බවට හඳුනා ගත්ත ද එසේ පැමිණෙන පුද්ගලයන්ට සිය රටේ පදිංචි වීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥා දී තිබේ.
මුහුද ඔස්සේ රට තුළට ඇතුළුවීමට දරන අනතුරුදායක උත්සාහයන් වැලැක්වීම සඳහා එවැනි ප්‍රතිපතියක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියාව පවසයි.
සාහිත්‍ය වෙනුවෙන් පිදෙන ත්‍යාගයට අමතරව, 'No Friend But the Mountains' කෘතිය ප්‍රබන්ධ නොවන (Non-Fiction) විශිෂ්ටතම කෘතිය සඳහා වන ත්‍යාගය ද දිනා ගැනීමට සමත්ව තිබේ. එහි ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000 කි.
මෙල්බර්න් නුවර පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ත්‍යාග හිමි සෙසු ලේඛකයන් සතුට සැමරූ රාත්‍රියේ මනුස් දූපතේ සිට බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් බූචානි පැවසුවේ, තමන්ට හිමි ත්‍යාග "පරස්පර විරෝධී සංවේදනයක්" ගෙන දුන් බවය.
"එක පැත්තකින් මට සතුටුයි. මේ හරහා අපි මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු වුණා. ඒක ඉතා හොඳ දෙයක්. ඒත් අනෙක් පැත්තෙන් මට හිතෙනවා මේක සමරන්න මට අයිතියක් නැහැ කියලා. මොක ද මේ දූපතේ දුක් විඳින මිතුරන් විශාල ගණනක් මා සමග ඉන්නවා."
"මුලින් ම අපිට ඕන නිදහස ලබාගෙන මේ දූපතෙන් පිට වෙලා ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්නයි."
බූචානි මුලින් රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේ (මේ වන විට එම මධ්‍යස්ථානය වසා දමා තිබේ) වාසය කළ සමයේ වරින් වර ෆාර්සි බසින් (ඉරානයේ නිල භාෂාවය. එය පර්සියන් බස ලෙස ද හඳුන්වයි) රචනා කළ කෘතියේ කොටස් වට්ස්ඇප් පණිවුඩ ලෙස ඔමිඩ් ටෝෆිඝියන් නමැති භාෂා පරිවර්තකයෙකු වෙත යවා තිබේ.
"වට්ස්ඇප් හරියට මගේ කාර්යාලය වගේ," ඔහු පැවසීය. "මුරකරුවෝ සතියකට හෝ මාසයකට සැරයක් අපේ කාමරවලට කඩා වැදිලා අපේ කාමර සෝදිසි කළ නිසා මම කොළවල ලිව්වේ නැහැ. මම කනගාටුවෙන් හිටියේ මගේ ලිවීමේ හැකියාව නතර වෙයි කියලා. ඒ නිසා මම මේ පොත ලියලා යැව්වා."
ඉරානයේ සිට බෝට්ටුවකින් පැමිණ 2013 වසරේදී අත්අඩංගුවට පත්වූ බූචානි, ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක රැඳවුම් ක්‍රමය සම්බන්ධයෙන් හඬ නැගූවන් අතර පෙරමුණ ගෙන සිටියේය.
මැනූස් දූපතේ ගෙවන ජීවිත පිළිබඳව ඔහු නිරන්තරයෙන් බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත්පතට ලිපි සපයන අතර, ට්විටර් ඔස්සේ ද ලිපි පළ කරයි. එපමණක් නොව ඔහු සිය ජංගම දුරකතනය භාවිත කරමින් වාර්තාමය වීඩියෝවක් ද නිර්මාණය කර තිබේ.
මනුස් සහ නාවුරු දූපත්වල සිටි රැඳවියන් 100 දෙනෙකුට පමණ සිය රටේ පදිංචිය ලබා දීමට ඇමරිකාව පසුගිය වසරේ එකඟ විය. නමුත් මීට මාස කීපයකට ඉහතදී ඇමෙරිකානු නිලධාරීන් ඉදිරියේ පෙනී සිටි සම්මුඛ පරීක්ෂණයේ තොරතුරක් ලැබෙන තුරු බූචානි තවමත් බලා සිටී.
ඔහුට පැපුවා නිව් ගිනියාවේ සරණාගතභාවය ප්‍රදානය කර ඇතත්, වෙනත් බොහෝ සරණගාතයින් මෙන් ම බූචානි ද එහි රැඳී සිටීමට අකමැත්තක් දක්වයි.
බූචානි කියා සිටියේ ඔහුගේ මාධ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් ඉරාන රජයේ බලධාරීන් සමග ගැටලු ඇති වී තිබූ හෙයින් රටින් පළා යාමට තීරණය කළ බවය. "මට ඉරානය ඇතුළේ හිරකාරයෙක් වෙන්න ඕන වුණේ නැති නිසයි රටින් පැනලා ආවේ. ඒත් මම ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මාව අවුරුදු ගණනක් මේ හිර ගෙදරක රඳවා තැබුවා."
වික්ටෝරියානු සාහිත්‍ය ත්‍යාගය සඳහා එම කෘතිය තෝරාගත් විනිශ්චය මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එම කෘතිය "සාමාන්‍ය විස්තර කිරීමකින් ඔබ්බට ගොස් විවේචනාත්මක න්‍යායක් භාවිත කරමින් නිර්මාණය කළ විශිෂ්ට කෘතියක්" බවය.
සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු ත්‍යාගය සඳහා ඉදිරිපත් විය හැක්කේ, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් වුවත්, විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය මත බූචානිගේ කෘතිය ඒ සඳහා ඇතුළත් කරගෙන තිබිණි.
ඔස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රතිපත්ති පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගෝලීය මානව හිමිකම් ආයතන විවේචන එල්ල කර ඇති අතර, ඇතැම් යුරෝපා දේශපාලනඥයින් ඊට සහය පළ කර තිබේ.
කෙසේ වෙතත්, බූචානිට අවශ්‍ය වී ඇත්තේ, සරණාගතයින්ගේ "අනන්‍යතාව, මානුෂිකත්වය සහ පෞද්ගලිකත්වය" සීමා කිරීම සඳහා දරන "සැලසුම් සහගත" උත්සහය පාඨකයින්ට පැහැදිලි කරවීමය.
"අපි දේව දූතයින් හෝ යක්ෂයින් නෙවේ," ඔහු පැවසීය. "අපි මනුෂ්‍යයෝ, සරල මනුෂ්‍යයෝ, අපි අහිංසක මිනිස්සු."