"මෝඩයා" යන වචනය ජනප්‍රිය වීම ගැන ගූගල් සමාගම ඇමරිකානු කොංග්‍රසය ඉදිරියේ කරුණු දක්වයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මෝඩයා" යන වචනය ලොව පුරා මිලියනයකට අධික වාර ගණනක් ගූගල් ඔස්සේ සොයා තිබේ. මෙයට හේතුව නම් "මෝඩයා" යන වචනය ඇතුළු කළ පසු එයට අදාළ ගූගල් ඡායාරූපවල වැඩි වශයෙන් පෙන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය වීමය.
ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන සුන්දර් පිචායි, "මෝඩයා" යන වචනය සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධය ගැන කොංග්‍රස් සාමාජිකයන් ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.
දේශපාලනික වාසි තකා සෑදු ඇල්ගොරිදමයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වන්නේ දැයි ඔහුගෙන් ඇසූ විට එය ප්‍රතික්ෂේප කර සිටියේය.
ගූගල් සෙවීම්වලට අනුව, "මෝඩයා" මේ වනවිට ඇමරිකාවේ වැඩිම වතාවක් සෙවූ වචනය බවට පත් වී තිබේ.
"මෝඩයා" යන වචනය සමග ජනාධිපති ට්‍රම්ප්ගේ ඡායාරූප ඉස්මතු වන්නේ ඇයි දැයි ඇමරිකානු ඩෙමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සාමාජිකාවක් වන සෝ ලොෆ්ග්‍රේන් ප්‍රශ්න කළාය.
"එහෙම වෙන්නේ කොහොමද? ඒ වචනය සොයන කොට මේ ඡායාරූප මතු වන්නේ කොහොමද?" ඇය ප්‍රශ්න කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගූගල් සෙවුම්වලට වචන මතු වීමට අදාළත්වය සහ ජනප්‍රියතාව ඇතුළු හේතු දෙසීයකට වඩා ඇති බව සුන්දර් පිචායිගේ පිළිතුර විය.
"එතකොට, ගූගල් පරිශීලකයන්ට මොනවාද පෙන්වා සිටින්නේ කියා තීරණය කරන්නේ තිරයක් පිටුපස සිටින කුඩා මිනිහෙක් නෙමෙයිනේ?" සෝ ලොෆ්ග්‍රේන් අසා සිටියාය.
රිපබ්ලිකන් පක්ෂයේ කොංග්‍රස් සාමාජිකයෝ ද සුන්දර් පිචායිගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඇසූහ. ඔවුන්ගේ පක්ෂයේ සෞඛ්‍ය පනත පිළිබඳ සෙවීමේ දී සෘණාත්මක පුවත් පමණක් මතු වන්නේ ඇයි දැයි ස්ටීව් චැබොට් ඇසුවේය.
"ගූගල්" යන වචනය භාවිත කරමින් සෙවීම් සිදු කළහොත්, ධනාත්මක පුවත් හා සමානව සෘණාත්මක පුවත් ද පෙන්වා සිටින බව සුන්දර් පිචායි පැවසීය.
මේ තොරතුරුද කියවන්න:
ගූගල් බෝම්බ හෙළීම
"මෝඩයා" යන වචනය සමග ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡායාරූප මතු වීම මෙම වසර ආරම්භයේදී ද දැකිය හැකි විය. එයට එක් හේතුවක් නම්, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියට පසුගිය ජූලි මස පැමිණි විට බ්‍රිතාන්‍යයේ පැවැත්වුන උද්ඝෝෂණත් සමග 'ඇමරිකානු මෝඩයා (American Idiot)' නම් ගීතය අතිශය ප්‍රසිද්ධ වීමය. එය එක්සත් රාජධානියේ ගීත ලැයිස්තුවල අංක එක ස්ථානයට පත් විය.
එමෙන්ම 'Reddit' නම් වෙබ්අඩවිය භාවිත කරන්නන් "මෝඩයා" යන වචනය සමග ජනාධිපති ට්‍රම්ප්ගේ ඡායාරූප පළ කර තිබිණි. මෙයින් ගූගල් සෙවීම්වලට බලපෑම් එල්ල කළ හැකි අතර, එය 'ගූගල් බෝම්බ හෙළීම' ලෙස නම් කර ඇති ක්‍රියාවලියකි.
ඇමරිකානු ජනාධිපතිවරයෙකු මෙවන් දෙයකට සම්බන්ධ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2003 දී "අභාග්‍යසම්පන්න අසමත් වීම" ලෙස ගූගල් සෙවුම්වලට ඇතුළු කළ විට හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ඡායාරූප මතු වී තිබිණි.
කෙසේවෙතත්, කොංග්‍රස් සාමාජිකයන්ගේ තාක්ෂණය පිළිබඳ දැනුම ඉතා අල්ප බව සුන්දර් පිචායි සමග පැවැත්වූ රැස්වීමේ දී දක්නට ලැබිණි.
රිපබ්ලිකන් පක්ෂ කොංග්‍රස් සාමාජිකයෙකු වන ස්ටීව් කිං තමන්ගේ මිණිපිරියගේ iPhone ජංගම දුරකතනය අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමට හේතුව සුන්දර් පිචායිගෙන් අසා සිටියේය.
එයට පිළිතුරු දෙමින් සුන්දර් පිචර් පැවසුවේ එම ජංගම දුරකතන වර්ගය නිෂ්පාදනය කරන්නේ ගූගල් සමාගම නොවන බවය.
තවත් තොරතුරු:








