ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව පුරා කාන්තාවන් 137 දෙනෙක් දිනපතා සහකරුවන් සහ ඥාතීන් අතින් ඝාතනය වෙති
අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) නිකුත් කළ නවතම දත්ත අනුව ලෝකය පුරා දිනකට කාන්තාවන් 137 දෙනෙක් සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනයට ලක් වෙති.
"කාන්තාවක් ඝාතනයට ලක් වීමේ වැඩිම අවදානමක් ඇති ස්ථානය සිය නිවස," යැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ.
වාර්තාවලට අනුව, 2017 වර්ෂයේ දී මියගිය කාන්තාවන් 87,000 අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී ඇත්තේ සිය හිතවතුන් අතිනි.
30,000 ක් පමණ කාන්තාවන් සිය සහකරුවන් විසින් ඝාතනය කර ඇති අතර, තවත් 20,000 පමණ කාන්තාවන් පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වී තිබේ.
බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහන යටතේ මෙම කාන්තාවන් පිළිබඳ එක් රැස් කරගත් වැඩි දුර තොරතුරු මෙම ලිපියට ඇතුළත් වේ.
කෙසේනමුත්, වසරකට ඝාතනයවන පුරුෂයන් ගණන තවමත් ඉතා ඉහළ අගයක් ගනී.
අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල දත්ත අනුව පෙනී යන්නේ, "සිතාමතා සිදු කරනු ලබන ඝාතනවලට ලක්වන පුරුෂයන්ගේ ගණන කාන්තාවන්ට වඩා හතර ගුණයකට වඩා වැඩි" බවය.
ලෝකයේ සිදුවන සෑම මිනීමැරුම් දහයකින් අටකට වගකිව යුත්තේ පුරුෂයන් බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවල දැක්වේ.
එමෙන්ම, සිය සහකරුවන් අතින් ඝාතනයවන සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුට වඩා කාන්තාවන් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
"සහකරුවන් ඇතිකරන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩි වශයෙන් විඳවන්නේ කාන්තාවන්" යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ශ්‍රී ලංකාවේ කාන්තා ඝාතන
ශ්‍රී ලංකාව තුළ ද සිය සහකරුවන් හෝ ඥාතීන් විසින් කාන්තාවන් ඝාතනය කළ අවස්ථා බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය තුළ අසන්නට ලැබිණි.
ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා එක්තරා පුද්ගලයෙකු කාන්තාවක් ගෙල සිර කර මරා දමන වීඩියෝ දර්ශන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබිණ. එම කාන්තාව අදාළ පුද්ගලයාගේ පෙම්වතිය බව මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි.
ඉතිහාසය පුරා මෙවන් අපරාධ විශාල ප්‍රමාණයක් සිදු වී ඇති අතර, සමහර නඩු තවමත් විභාග වෙමින් පවතී.
මේ අතරින්, සිය පෙම්වතා විසින් 1959 වසරේ දී විල්පත්තුවේ දී ඝාතනය කරන ලද ඇඩ්ලින් විතාරණ නම් තරුණිය පිළිබඳ බොහෝ පොත්පත් සහ සිනමා කෘති පවා බිහි වී ඇත. එම අපරාධය සිදු කළ සාහසික ආකාරය එයට හේතුවක් ලෙස දැක්විය හැකිය.
තිඹිරිවැව ගම්මානය ආසන්නයේ විල්පත්තු අභය භූමියට හැරෙන ස්ථානයේ දී සිය පෙම්වතිය වූ ඇඩ්ලින් විතාරණ මෝටර් රථයකට යට කර මරා දමනු ලැබුවේ වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ජයලාල් ආනන්දගොඩ විසිනි.
ජයලාල් ආනන්දගොඩ තමන් සිදු කළ අපරාධයට දඬුවම් ලැබූ අතර, 1962 වසරේ බෝගම්බර දී ඔහු එල්ලා මරා දමනු ලැබිණ.
මේ තොරතුරුද කියවන්න:
බීබීසී සොයාගත් කරුණු අනුව, 2018 ඔක්තෝබර් 1 රටවල් 21 ක කාන්තාවන් 47 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ අතරින් බොහෝ අපරාධ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.
මේ අතරින් කාන්තාවන් පස් දෙනෙකුගේ ඝාතන පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මේ සියලු තොරතුරු අදාළ රටවල්වල නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, මාධ්‍ය වාර්තාවල ද පළ වී තිබේ.
කෙන්යාවේ විසූ විසි දෙහැවිදිරි ජූඩිත් චෙසැන්ග්
ඔක්තෝබර් පළමුවෙනි දින ජූඩිත් චෙසැන්ග් සහ ඇයගේ සොහොයුරිය වන නැන්සි සුපුරුදු ලෙස වගාබිම්වල වැඩ කරමින් සිටියහ.
තිදරු මවක වන ජුඩිත් චෙසැන්ග් ඉන් ටික කලකට පෙර සිය සැමියා, ලබාන් කමුරෙන්ගෙන් වෙන් වී නැවත සිය දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇත.
දෙසොහොයුරියන් තම පවුලට අයත් වගාබිමේ වැඩ අරඹා මොහොතක් ගත වන විට එම ස්ථානයට කඩා වැදුණු ලබාන් කමුරෙන්, ජුඩිත්ට පහර දී ඝාතනය කළේය.
පසුව ගම් වැසියන් එකතු වී ලබාන් මරා දමා ඇති බව එම ප්‍රදේශයේ පොලීසිය පැවසීය.
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව අප්‍රිකානු කාන්තාවන් සහකරු හෝ ඥාතියෙකු අතින් ඝාතනය වීමේ වැඩි අවදානමක් පවතී.
කෙසේවෙතත්, 2017 වර්ෂයේ දී සහකරුවන් සහ ඥාතීන් විසින් ඝාතනය කළ කාන්තාවන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ආසියානු කලාපයෙනි. ඒ එවැනි අපරාධ 20,000කි.
ඉන්දියාවේ වාසය කළ දහඅට හැවිදිරි නේහා ෂරාඩ් චවුදුරි
නේහා ෂරාඩ් චවුදුරි ඝාතනය කර ඇත්තේ "පවුලේ නම්බුව රැකීම සඳහා" දැයි සැක මතු වී තිබේ. ඇය පෙම්වතා සමග නිවසින් බැහැරව සිය දහඅට වෙනි උපන්දිනය සමරා ඇත. ඇයගේ දෙමාපියන් මෙම පෙම් සබඳතාවට විරුද්ධ වී සිටි බව පොලිසිය බීබීසීය වෙත තහවුරු කළේය.
නිවස තුළ දීම මියගොස් සිටි නේහා ෂරාඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් දෙමාපියන්ට සහ තවත් පිරිමි ඥාතියෙකුට චෝදනා එල්ල වී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර, සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පෙම් සබඳතා හෝ පවුලේ අකමැත්ත මත විවාහ වීම නිසා වසරකට සිය ගණනක් මිය යති. මෙවන් අපරාධ බොහොමයක් ලෝකයට හෙළි නොවන බැවින් නිවැරදි දත්ත සහ තොරතුරු ලබා ගැනීම අපහසුය.
ඉරානයේ විසූ විසිහතර හැවිදිරි සෙයිනබ් සේකාන්වන්
සිය සැමියා ඝාතනය කළ වරදට සෙයිනබ් සේකාන්වන් එල්ලා මැරීමට ඉරාන බලධාරීහු තීන්දු කළහ.
කුර්දි සම්භවයක් ඇති සෙයිනබ් ඉරානයේ දිළිඳු පවුලකට දාව උපත ලැබුවාය. විවාහ වී වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඇය තරුණ වියේ දී නිවසින් පලා ගියාය.
සෙයිනබ් නිරන්තරයෙන් සිය සැමියාගේ වධහිංසාවලට ලක් වූ අතර ඔහු දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පැවසීය. එමෙන්ම, පොලිසිය ඇයගේ පැමිණිලි කිසිවක් භාරගෙන නොමැත.
සැමියා ඝාතනය කිරීමේ වරදට 17 හැවිරිදි වියේදී ඇය අත්අඩංගුවට පත් වූවාය.
සැමියා ඝාතනය කළ බව පාපොච්චාරණය කරන ලෙසට තර්ජනය කරමින් පොලිසිය සෙයිනබ් දරුණු වධහිංසාවලට ලක් කර ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඇතුළු ඇය වෙනුවෙන් හඬ නගන්නෝ පවසති.
සිය සහකරුවන් ඝාතනය කරන කාන්තාවන් දීර්ඝ කලක් "දරුණු ශාරීරික වධහිංසාවලට ලක් වූවන්" බව අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල වාර්තාවේ සඳහන් වේ.
බ්‍රසීලයේ වාසය කළ 39 හැවිදිරි සැන්ඩ්‍රා ලුසියා හැමර්
සැන්ඩ්‍රා ලුසියා හැමර් වයස 16 දී Aguiar Ribeiro සමග විවාහ විය.
ඇය ඝාතනය වන විට සැමියාගෙන් වෙන් වී පස් මසක් ගත වී තිබිණි.
ගෙල ප්‍රදේශයට එල්ල වූ පිහි ඇනුම්වලින් ඇය මියගොස් ඇති බව එරට පොලිසිය බීබීසී වෙත තහවුරු කළේය.
පොලිසිය සොයාගත් ජංගම දුරකතන වීඩියෝවක සැන්ඩ්‍රා ඝාතනය ගැන සැමියා සිදු කරන පාපොච්චාරණයක් සටහන් වී තිබිණි. වෙනත් පුරුෂයෙකු සමග නව සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තමන්ට වංචාවක් සිදු කළා යැයි හැඟී ගිය නිසා සැන්ඩ්‍රා මරා දැමූ බව සැමියා සිදු කළ පාපොච්චාරණයේ සඳහන් වේ.
දෙදෙනාම එකට "දෙවියන් ළඟට" යන නිසා ඔහු අත්අඩංගුවට පත් වන්නේ නැති බව ද වීඩියෝවේ සටහන් වී තිබේ. පසුව ඔහු ඔවුන් දෙදෙනා කලක් ජීවත් වූ කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියේය.
සැන්ඩ්‍රාගේ ඝාතනය වැනි අපරාධ "ඝාතනය කර - සිය දිවි නසා ගැනීම" ලෙස හඳුන්වයි. යම් පුද්ගලයෙකු සිය දිවි තොර කර ගැනීමට පෙර තවත් පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු ඝාතනය කිරීම මෙයින් හැඟවෙයි.
ප්‍රංශයේ විසූ 36 හැවිදිරි Marie-Amélie Vaillat
Marie-Amélie Vaillat ගේ සැමියා වන Sébastien Vaillat ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇත.
වසර හතරක විවාහ ජීවිතයකින් පසු මෙම යුවල වෙන්ව ජීවත් වී තිබේ.
Marie-Amélie Vaillat ට පිහි ඇනුම් තුවාල සිදු කර මරා දමා ඔහු පොලිසියට භාර වී තිබේ. නමුත් දින කීපයකට පසු ඔහු සිරමැදිරිය තුළ දී සිය දිවි හානි කර ගෙන ඇත.
මෙම කාන්තාවන් ඇතුළු 47 දෙනෙකු එක් දිනක් තුළ ලෝකයේ රටවල් 21 ක දී ඝාතනයට ලක් වී තිබේ. බොහෝ අපරාධවලට හේතු අපැහැදිලි වන අතර, අපරාධකරුවෝ හඳුනාගෙන නොමැත.
"කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ බොහොමයක් අදාළ නිලධාරීන්ට වාර්තා වෙන්නේ නැහැ, තවත් විශාල ප්‍රමාණයක් සැඟවී යනවා" යැයි අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතීන්ගේ කාර්යාල වාර්තාවේ සඳහන් වේ.
තවත් තොරතුරු: