ලිංගික අතවර චෝදනා ලැබූ Google සේවකයින් 48ක් ඉවත් කරලා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් 2016 වසරේ සිට ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 13 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 48 දෙනෙකු සේවයෙන් නෙරපීමට Google සමාගම පියවර ගෙන තිබේ.
එම සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි කාර්ය මණ්ඩලය වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ, නොමනා ක්‍රියා සම්බන්ධයෙන් Google සමාගම "දැඩි පිළිවෙතක්" අනුගමනය කරන බවය.
ඔහු මෙම ලිපිය සකසා ඇත්තේ, එම සමාගමේ Android නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කළ ඇන්ඩි රූබින්ට නොමනා හැසීරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදීත් අමෙරිකානු ඩොලර් මිලියන 90ක වන්දියක් ගෙවා ඇති බවට New York Times පුවත්පතේ පළවූ වාර්තාවකට ප්‍රතිචාර වශයෙනි.
ඇන්ඩි රූබින් සම්බන්ධයෙන් පුවත්පතේ සඳහන් චෝදනා අසත්‍ය බව ඔහුගේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, ඇන්ඩි රූබින් පවසා තිබුණේ, තමන් කිසිදු නොමනා හැසිරීමකට සම්බන්ධ නොවූ බවත් සිය කැමැත්තෙන් Google සමාගම හැර ගිය බවත්ය.
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි සිය ලිපියෙහි සඳහන් කර ඇත්තේ, New York Times පුවත්පත් වාර්තාව කියවීමට අසීරු එකක් බවත්, Google සමාගම "ආරක්ෂිත සේවා ස්ථානයක්" සැපයීම සඳහා "අතිශය බරපතළ" අයුරින් ක්‍රියා කරන බවත්ය.
"ලිංගික අතවර හෝ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන් ම අපි පරීක්ෂණයක් කරන බව සහතික කරන්න කැමතියි. අපි විමර්ශනයක් කරල ඊට අදාළව ක්‍රියාත්මක වෙනවා" ප්‍රධාන විධායක සුන්දර් පිචායි සිය ලිපියෙහි දක්වා ඇත.
පහුගිය අවුරුදු දෙක තුළ සේවයෙන් පහ කළ කිසිදු සේවකයෙකුට වන්දි ගෙවීමක් කර නැතැයි ඔහු පවසයි.
මේ අතර, සැන් ෆ්‍රැන්සිස්කෝහි නිර්මාණාත්මක සැලසුම් විශ්ලේෂිකාවක වන කැරොලිනා මිලානෙසි ට්විටර් පණිවුඩයක් හරහා පවසා ඇත්තේ, සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන කාන්තාවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට ගූගල් සමාගම පියවර ගනු ඇති බවය.
ගූගල් සමාගමේ පසුගිය කාර්තුවේ ආදායම යම් පහළ යාමක් පෙන්නුම් කළ ද, ශුද්ධ ලාභය අනපේක්ෂිත අයුරින් අමෙරිකානු ඩොලර් බිලියන 9.2ක් දක්වා ඉහළ ගියේය.








