චීනය ඉදිකළ ලොව දිග ම මුහුදු පාලම මහජනයාට විවෘත වෙයි

Hong Kong Zhuhai bridge

ඡායාරූප මූලාශ්‍රය, AFP

මුහුද මතින් දිවෙන ලොව දීර්ඝත ම පාලම මහජනතාවගේ භාවිතය සඳහා බදාදා (ඔක් 24) විවෘත කෙරිණි. පළමු දිනයේදී එහි රථවාහන ගමනාගමනය අඩු තත්ත්වයක පැවතිණි.

බලධාරීන් ප්‍රකාශ කළේ, ආරම්භ කළ සැණින් රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා නොකරන අතර, ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇති බවය.

වැය කළ මුදල

චීනයේ සුහායි නගරයේ සිට හොංකොං සහ මැකාව් දක්වා දිවෙන කිලෝමීටර් 55ක දුරකින් යුතු මෙම මුහුදු පාලම ඉදිකිරීම සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 20කි.

"ඕන ම මහාපරිමාණයේ යටිතල ව්‍යාපෘතියක් ආරම්භයේදී එය භාවිත කරන්නන්ගේ අඩුවක් දකින්න පුළුවන්. ඒක ගොඩ නැගෙන්න යම් කාලයක් ගත වෙනවා" චීන ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ෆ්‍රෑන්ක් චං මාධ්‍යවේදීන්ට පැවසීය.

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මුහුදු පාලම මතින් ධාවනය කෙරෙන බස් සේවාව ඔස්සේ හොංකොං සහ මැකාව් දක්වා ගමන් කළ බීබීසී මාධ්‍යවේදී මාර්ටින් යිප් පැවසුවේ, බස් සේවාව හැරුණුකොට මුහුදු පාලම හරහා මෝටර් රථ හෝ ලොරි ධාවනය වනු තමන් නොදුටු බවය.

කෙසේ වෙතත්, හොංකොං දක්වා ගමන් කිරීම සඳහා බස් රථවලට නැගීමට සැලකිය යුතු පිරිසක් පෝලිම්වල රැඳී සිටියහ. "බස් පර්යන්තයේ යම් තදබදයක් දක්නට ලැබුණා. ඒත් ගොඩක් හිටියේ විශ්‍රාමිකයන්. තරුණ පිරිස් වැඩිපුර දකින්න ලැබුණේ නැහැ" ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් මගීන් පාලම මතින් ගිය පළමු ගමන සම්පූර්ණයෙන් ම වීඩියෝගත කර තිබිණි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අවසර පත් අනිවාර්යයි

මෙම පාලම මතින් රථවාහන ධාවනය කළ හැක්කේ, ඒ සඳහා විශේෂ අවසර පත් ලබා ගත් වාහන හිමියන්ට පමණි. ඔවුන් යම් ගාස්තු ගෙවීමක් කර එම මාර්ගය භාවිත කළ යුතුය.

චීනයේ සුහායි වෙත ගමන් කිරීම සඳහා අවසර පත් නිකුත් කෙරෙනුයේ, හොංකොං වැසියන් 10,000කට පමණි. එම අවසර පත් වසර 5ක් සඳහා වලංගු වේ.

South China Morning Post නමැති චීන පුවත්පත වාර්තා කළේ, චීන රජයට "මූල්‍ය හෝ දේශපාලනික දායකත්වයන් සපයන්නන් කිහිප දෙනෙකුට" අදාළ අවසර පත් නිකුත් කරන බවය.

චීන බලධාරීන් මුලින් අපේක්ෂා කළේ, මෙම පාලම මතින් දිනකදී රථවාහන 9200ක් පමණ ගමන් කරනු ඇති බවය. එහෙත්, පාලම ඉදි කෙරෙමින් පවතිද්දී මාර්ග පද්ධතිය පුළුල් වීම හේතුවෙන් විකල්ප මාර්ග ඉදිවීම නිසා එම අපේක්ෂිත වාහන සංඛ්‍යාව අඩු විය.

ඉන්ජිනේරු ශිල්පයේ ආශ්චර්යයක්

භූ කම්පන සහ සුළි සුළංවලට ඔරොත්තු දිය හැකි පරිදි ඉදි කළ මෙම මුහුදු පාලමට යොදාගෙන ඇති යකඩ ප්‍රමාණය ටොන් 400,000කි. එම යකඩ ප්‍රමාණයෙන් අයිෆල් කුළුණ වැනි කුළුණු 60ක් නිර්මාණය කළ හැකි බවට ගණන් බලා තිබේ.

මීට පෙර සුහායි සිට හොංකොං දක්වා ගමන් කිරීමට පැය 4ක කලයක් ගතවූ අතර මෙම මුහුදු පාලම නිසා එම කාලය මිනිත්තු 30කට අඩු වී තිබේ.

cgtn

ඡායාරූප මූලාශ්‍රය, cgtn

'මරණයේ පාලම'

මෙම මුහුදු පාලම දැඩි විවේචනවලට ද ලක්ව තිබේ.

ඇතැම් සාමාජ මාධ්‍යවල මෙම පාලම හඳුන්වා තිබුණේ, "මරණයේ පාලම" ලෙසය. හොංකොං ආසන්නයේ සිදු කළ ඉදිකිරීම් අතරතුර අවම වශයෙන් සේවකයින් 9 දෙනෙකු මරණයට පත්ව ඇති අතර චීන බලධාරීන් බීබීසී චීන සේවයට පැවසුවේ, චීනය ආසන්නයේ සිදු කළ ඉදිකිරීම්වලදී ද කම්කරුවන් 9 දෙනෙකු මරණයට පත්වූ බවය.

මේ අතර, පරිසරවේදීන් ද මෙම ව්‍යාපෘතිය දැඩි විවේචනයට ලක් කළ අතර, මුහුදු ජීවීන්ගේ පැවැත්මට මෙය ඉතා හානිකර බව ඔවුහු පැවසූහ. විශේෂයෙන් දුර්ලභ මතස්‍ය විශේෂයක් වන චීන සුදු ඩොල්ෆින් මතස්‍යයින් මෙම ව්‍යාපෘතිය හරහා මරණයට පත්වූ බවට චෝදනා එල්ල විය.

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

'සුදු අලියෙක්' ද?

මෙම පාලම සඳහා පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 6.92ක් වැය වී ඇති අතර ඊට අදාළ සබැඳි මාර්ග සහ කෘත්‍රිම දූපත් ඉදිකිරීම ආදී සියල්ල සඳහා වැය වී ඇති සමස්ත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 20කි.

එහෙත්, බීබීසී චීන සේවය සැකසූ ඇස්තමේන්තු අනුව‍, මුහුදු පාලම මගින් වසරකෙ ඉපයිය හැකි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 86ක් පමණි.

BBC