නාලන්දා බිමෙන් සොරාගත් බුද්ධ ප්‍රතිමාවක් යළි ඉන්දියාවට

12th Century Buddha statue
ඡායාරූප ශීර්ෂ වැකිය, බුද්ධ ප්‍රතිමාව ඉන්දීය සංස්කෘතික උරුමයේ වැදගත් අංගයකි

වසර 50 පෙර ඉන්දියාවෙන් සොරාගෙන යන ලද බුද්ධ ප්‍රතිමාවක් එරට 72 වෙනි නිදහස් දිනය වෙනුවෙන් යළි එරටට භාර දී තිබේ.

ඉන්දීය සංස්කෘතික උරුමයේ වැදගත් අංගයක් ලෙස සැලකෙන එම පුරාවස්තුව නිදහස් දින සමරුවේ එක් අවස්ථාවක් වශයෙන් ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාර දෙන ලදී.

අදාළ ලෝකඩ බුදු පිළිමය නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇති නාලන්දා හි පිහිටි ඉන්දීය පුරාවිද්‍යාත්මක සමීක්ෂණ කෞතුකාගාරයෙන් 1961 වසරේ සොරාගෙන යන ලද පිළිම 14න් එකකි.

අලෙවිය සඳහා ලන්ඩනයේ වෙළෙන්දෙකුට ලැබීමට පෙර එය කිහිප වාරයක් ම අතින් අතට මාරුවෙමින් ගොස් ඇත.

එහෙත්, සිංගප්පුරුවේ වෙසෙන, ඉන්දීය උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකු හා 'ඉන්ඩියා ප්‍රයිඩ් ප්‍රොජෙක්ට්' නම් ව්‍යාපෘතියක සමාරම්භකයෙකු වන විජේ කුමාර් මෙය හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළේය. මේ ඒ පිළිබඳ තොරතුරුය.

පිළිමය හඹා යාම

"ඉතා කල් ඉකුත්වූ මේ සිදුවීම ගැන සොයා බලන්න ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළ විශ්‍රාමික අධ්‍යක්ෂවරයෙක් පසුගිය ජනවාරි මාසයේදී මගේ උදව් ඉල්ලුවා. පිළිමයට අදාළ ඡායාරූප වගේම අනෙකුත් වාර්තා මා අත පත් කළා" යැයි විජේ මේ සිදුවීම ආවර්ජනය කළේය.

ඒ අනුව, තමන් හඳුනන යුරෝපයේ වෙසෙන උරුමයන් පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් වෙත WhatsApp හරහා අදාළ ඡායාරූප සහ තොරතුරු ඔහු විසින් බෙදා හරිනු ලැබීය.

"2018 මාර්තු මාසයේදී වෙළෙඳ සල්පිලකදී මේ පිළිමය හඳුනාගත්තේ කලා ශිල්පවලට එරෙහි අපරාධ පිළිබඳ පර්යේෂණ සංගමයේ ලින්ඩා ඇල්බර්ට්සන්. නෙදර්ලන්තයේ සිටින ලන්ඩන් අලෙවිකරුවෙක් එය විකිණීම සඳහා එහි එක් කර තිබුණා." යැයි කී විජේ කුමාර්, "මගේ අතේ තිබු පැරණි ඡායාරූප සමග ගැලපීමෙන් පස්සේ එම අලෙවිකරු හා පොලිසිය ඇමතුවා" යැයි සඳහන් කළේය.

WhatsApp conversation
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිමාව සොයාගැනීම සඳහා, උරුමයන් පිළිබඳ විශේෂඥ පිරිසකට විජේ කුමාර් WhatsApp පණිවිඩ යැවීය

ප්‍රතිමාව ඩොලර් 45,000 ට මිල නියම කර තිබිණි.

එහෙත්, මේ සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු නොකෙරුණු අතර මීට පෙර හිමිකරුවන් ගැන කිසිදු තොරතුරක් බලධාරීන් විසින් හෙළිකරනු නොලැබීය.

"අලෙවිය සඳහා එය තැබූ අලෙවිකරු හෝ ප්‍රතිමාවේ දැන් හිමිකරු අපරාධයක් කර නැති බව අපි තහවුරු කරගත්තා." යැයි ලන්ඩන් නාගරික පොලිසියේ කලා සහ පුරාවස්තු ඒකකයේ රහස් පරීක්ෂණ කොස්තාපල්වරියක වන සොෆී හේස් සඳහන් කළාය.

කලා ශිල්ප අදාළ අපරාධවලට වැරදිකරුවන්වීම දුලබය

එක්සත් රාජධානිය තුළ, කලා ශිල්පවලට අදාළ අපරාධ සඳහා වැරදිකරුවන් වීම ඉතා දුර්ලභ ය.

වසර 15 ට ඉහතදී, 2003 සංස්කෘතික භාණ්ඩ පිළිබද ක්‍රියාත්මකවීම (වැරදි) පිළිබඳ පනත ක්‍රියාත්මක වූ තැන සිට මේ දක්වා සාර්ථකව වැරදිකරු කරනු ලැබ ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි.

නමුත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් එක්සත් රාජධානිය තුළ ගනුදෙනු වේ.

මෙම බුදූ පිළිමය උසින් සෙන්ටිමීටර 20 ට නොවැඩි ය. විශාල පිළිම මෙන් නොව කුඩා සංස්කෘතික භාණ්ඩ පහසුවෙන් ගෙන යා හැකි අතර පොලිසියේ හා රේගු බලධාරීන්ගේ ඇසින් නිතර ගැලවී යයි.

"මේ ප්‍රතිමාව සමග සොරාගෙන ගිය තවත් පිළිම දෙකක් ඇමෙරිකාවේ කෞතුකාගාර දෙකක ඇති බව අපි සැක කරනවා."

Vijay Kumar

ඡායාරූප මූලාශ්‍රය, Vijay Kumar

ඡායාරූප ශීර්ෂ වැකිය, විජේ කුමාර්

"මේ බුදු පිළිමය ප්‍රතිස්ථාපනය කළාට පසු වඩා සවිමත්ව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකිවේවි කියල අපි හිතනවා." යැයි විජේ කුමාර් පැවසීය.

නාලන්දාවෙන් සොරාගන්නා ලද අනෙකුත් පිළිම 10 කොතැනක වේදැයි යන්න තවමත් නොදන්නා බව ඔහු කියා සිටියේය.

නාලන්දා, සියවස් ගණනාවක සිට බෞද්ධ අධ්‍යාපනයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විණි.

ඉන්දීය විහාරාරාමවලින් පුරාවස්තු දහස් ගණනක් අතුරුදන්ව ඇත.

කීර්තියට පත් නාලන්දා විශ්ව විද්‍යාලය ආක්‍රමණිකයින් විසින් විනාශ කරනු ලැබුවේ 1193 දීය.

ක්‍රියාකාරීන් පෙන්වාදෙන පරිදි ගෙවීගිය දශක කිහිපය තුළ ඉන්දියාවේ ප්‍රකට විහාරාරාම හා ස්මාරකවලින් පුරාවස්තු දහස් ගණනක් අතුරුදන්ව ඇති අතර ඉන් 100 ත් අඩු ප්‍රමාණයක් වෙනත් රටවලින් යළි සොයාගෙන තිබේ.

Y. K Sinha, India's High Commissioner to the UK
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් රාජධානියේ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා

"කිසියම් දෙයක් යම් තැනකින් සොරාගන්නා ලදුව දැන් එක්සත් රාජධානියේ කිසිවකු හෝ කිසියම් ආයතනයක් සන්තකයේ තිබෙන බවට අපට විශේෂිත තොරතුරු ලැබුණොත් ඒ පිළිබඳ අප වහාම ක්‍රියාත්මක වෙනවා" යැයි එක්සත් රාජධානියේ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා පැවසීය.

ඉන්දියාව තුළ වාර්තාගතකර තබාගැනීම ප්‍රශ්නගත කරුණක් ලෙස තවමත් පවතී. තමන් සතු සංස්කෘතිකමය භාණ්ඩ පිළිබඳ ලේඛනයක් තබාගැනීමට බොහෝ ඓතිහාසික පුජ්‍ය ස්ථානවලට නොහැකිව ඇත. ඓතිහාසික හා සංස්කෘතිකමය වටිනාකමක් ඇති සියලු භාණ්ඩ ඡායාරූප සමග ලේඛනගත කෙරෙන්නේ නම් එය වඩා වැදගත්වනු ඇත.

"අප සතුව කුමක් තිබෙන්නේ දැයි යන්න ගැන යහපත් වාර්තා පවත්වා නොගන්නේ නම් අධිකරණයේදී එය අපගේ යැයි තහවුරු කරන්නට බැහැ" විජේ කුමාර් පවසයි.

සොරාගන්නා ලද තවත් පුරාවස්තුවලට අදාළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඉන්දීය නිලධාරීන් මෙන්ම ලන්ඩන් නාගරික පොලිසිය බීබීසී වෙත තහවුරු කළ ද, ඒ පිළිබඳ වැඩි තොරතුරු හෙළි නොකළහ.

2001 වසරේදී බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් සොරාගන්නා ලද 12 වෙනි සියවසට අයත් ප්‍රතිමාවක් ලන්ඩන් නාගරික පොලිසිය විසින් 2016 දී සොයාගන්නා ලදී. පසුව එය ඉන්දීය බලධාරීන් අතට පත් කරනු ලැබීය.