ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව "යථාර්ථයක් විය හැකි විකාර අදහසක්"
බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ.
සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය. මෙම ව්‍යාපෘතිය 'Project Natick' ලෙස නම් කර තිබේ.
දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය.
ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් ආශ්‍රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රදේශයකි.
පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ.
"ගොඩබිමට වඩා ජලයේ දී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා," යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය.
"මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මලකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මලකඩ කෑම දත්ත ගබඩා වල බහුලව මතුවෙන ප්‍රශ්නයක්," ඔහු තවදුරටත් පැවසුවේය.
ක්‍රියා විරහිත වූ පරිගණක අලුත්වැඩියා කිරීමට නොහැකි වුවත්, ගොඩබිමේදී මෙන් මෙම පරිගණකවලට නිතර හානි සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෝකයේ පවතින වෙනත් දත්ත ගබඩා සමග සංසන්දනය කිරීමේදී මෙය ඉතා කුඩා ගබඩාවකි. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කළ හැකිය.
2015 වර්ෂයේ දී මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කර පරීක්ෂණ පවත්වන ලදී.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දිය යට තැන්පත් කර දින 90කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් පිහිටුවීම සමාගමේ බලාපොරෝත්තුවය. නමුත් ගොඩබිම දී එවැනි ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත විය හැකිය.
ඕක්නි මුහුදු ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානය තැන්පත් කිරීමේ මෙහෙයුමට අධික මුදලක් වැය වී ඇති අතර එය බහුජාතික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.
සිලින්ඩරය ඉදිකර එයට පරිගණක ඇතුළු කර ඇත්තේ ප්‍රංශ නැව් නිෂ්පාදන සමාගමක් විසිනි. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය (EMEC) දියඹ සහ ගොඩබිම සම්බන්ධ කරන කේබල් සපයමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ.
යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානයේ (EMEC) විශේෂඥ නිර්දේශවලට අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුමට ඕක්නි දූපත් වටා මුහුදු ප්‍රදේශය තෝරා ගෙන ඇත.
ඕක්නි දූපත්වල සුළං බලාගාර පිහිටුවා තිබේ. එමෙන්ම, යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය වසර 14ක කාලයක සිට මුහුදු රළ බලශක්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් ඕක්නි වෙරළේ පවත්වාගෙන යයි.
දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමේ වේගවත් ව්‍යාපෘති හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකි බවට අදහස් පළ වෙමින් පවතී.
මේ තොරතුරුද දැනගන්න:
නමුත් Tech UK බ්‍රිතාන්‍ය සමාගමේ එක් අංශයක් නියෝජනය කරන එමා ෆ්‍රයර් පවසන්නේ මෙම භීතිය අතිශයෝක්තියක් බවය.
"බලශක්තිය පරිහරණය සුළු ප්‍රමාණයකින් වැඩි කර විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කිරීමට අපට හැකි වී තිබෙනවා," යනුවෙන් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, මෙම කර්මාන්තය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින් ඉදිරියේදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඇය පැවසුවාය.
"මයික්‍රොසොෆ්ට් ආයතනය මේ ගැන වෙනස් ආකාරයකට සිතන එක ගැන ඇත්තෙන්ම සතුටට කාරණයක්."
දත්ත මධ්‍යස්ථාන මුහුදු පතුලේ හෝ මුහුද ආසන්නයේ ස්ථානගත කිරීම ඉතා යහපත් අදහසක් බව එමා ෆ්‍රයර් තවදුරටත් පැවසීය.
"ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ වෙරළ තීරයට ආසන්නයේ," ඇය පැවසුවාය.
තවත් තොරතුරු:
නමුත් තවත් විශේෂඥයෙක් මෙම අදහසට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
වසර 30 කට ආසන්න කාලයක් පුරා දත්ත මධ්‍යස්ථාන උපදේශකයෙකු ලෙස සේවය කරන මහාචාර්ය ඉයන් බිටර්ලින් පැවසුවේ දිය යට දත්ත ගබඩා පිහිටුවීමෙන් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවය.
"අවසානයේ දී ඉතිරි වන්නේ ඉතා උණුසුම් මුහුදක් සහ විශාල මත්ස්‍යයන් පමණයි," ඔහු පැවසීය.
යුරෝපයේ දත්ත මධ්‍යස්ථානවලින් 90% ක් ලන්ඩන් හා මැඩ්රිඩ් වැනි විශාල නගරවල පිහිටා තිබේ.
මයික්‍රොසොෆ්ට් ආයතනයේ බෙන් කට්ලර් අවධාරණය කරන්නේ දත්ත ගබඩාවෙන් ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අවම වනු ඇති බවය.
මෙය "විකාර අදහසක්" ලෙස බොහෝ දෙනා සිතිය හැකි නොවේ දැයි බෙන් කට්ලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ: "මෙය යථාර්ථයක් බවට පත්විය හැකි විකාර අත්හදා බැලීමක්," බවය.
"මෙය දැනට පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුවන්න පුළුවන්. අනාගතයේ දී එය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දත්ත මධ්‍යස්ථාන ගැන අප විවිධ පර්යේෂණ සිදු කරනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය.
ඉදිරි වසර පහ තුළ Project Natick කණ්ඩායම මෙම දිය යට දත්ත මධ්‍යස්ථානය අධීක්ෂණය කරනු ඇත. එය අනාගතයට ලැබෙන සංඥාවක් විය හැකිය. නැතහොත් එහි වෙසෙන මත්ස්‍යයන්ට සංචාරක ආකර්ෂණයක් විය හැකිය.