උතුරු කොරියාව: ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන් අන් හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/CAPELLA SINGAPORE
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් අතර යෝජිත හමුව, සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී සිදුවන බව ධවල මන්දිරය තහවුරු කළේය.
මෙම ඓතිහාසික හමුව ජුනි 12 වෙනිදා පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා බොහෝ තොරතුරු තහවුරු කර නොමැත.
මෙය ඔවුන් දෙදෙනා මුණගැසෙන පළමු අවස්ථාවය.
සැළසුම් "ඉතා හොඳින් ඉදිරියට" යන බව ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා (ජුනි 05) සඳහන් කළේය.
"විශාල වශයෙන් සම්බන්ධතා ගොඩනැගුණා. සංචාරයට කලින් එකඟතාවන් රැසකට එළඹෙනවා," වාර්තාකරුවන් අමතමින් ඔහු සඳහන් කළේය.
"එය ඉතා වැදගත්. එය ඉතා වැදගත් දින කීපයක් වේවි."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
නායක හමුව සිංගප්පුරුවේ තරු පහේ හෝටලයක් වූ කපෙලා (Capella) හිදී පැවැත්වෙනු ඇති බව ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් ට්විටර් පණිවුඩයකින් තහවුරු කර තිබේ.
නමුත්, දැනට පෙනෙන්නට ඇති පරිදි ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද නවාතැන් ගත් ශැන්ග්‍රි-ලා (Shangri-La) හෝටලයේ නැවතීමට ඉඩ තිබේ. උතුරු කොරියානු නායකයා බොහෝ විට ශාන්ත රෙගිස්හි (St Regis) නවතිනු ඇති බව The Straits Times පුවත්පත වාර්තා කරයි. මෙම හෝටල් දෙකම සුප්‍රකට සාප්පු සංකීර්ණ පිහිටි ඕචර්ඩ් මාර්ගයට ආසන්නව ප්‍රධාන දූපතෙහි පිහිටා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63 කින් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ.
එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක් ද එම දූපත හා බැඳී පවතී.
මුහුදු මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක්
ඉන්දියාව සහ චීනය අතර ප්‍රධාන මුහුදු මාර්ගයේ පිහිටි සිංගප්පූරුව, 19 වෙනි සියවසේ බ්‍රිතාන්‍ය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත විය.
බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමට පෙර පවා සිංගප්පූරුව ව්‍යාපාරිකයන් නිතර ගැවසුන ඉතා දියුණු වෙළඳ මධ්‍යස්ථානයක් විය.
මුහුදු මංකොල්ලකරුවන්ගේ කටයුතු හේතුවෙන් එවක සෙන්ටෝසා දිවයින හඳුන්වන ලද්දේ "මරණය සැඟව ඇති දිවයින" යන අර්ථය සහිත Pulau Blakang Mati නමිනි.
දෙවන ලෝක යුද්ධයේ සමූල ඝාතන කළ භූමියක්
බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදා යටත්වීමෙන් පසුව සිංගප්පූරුව 1942 දී ජපාන පාර්ශ්වය ගත්තේය.
ඊට 'දකුණේ ආලෝකය' තේරුම ඇති සයොනන් (Syonan) යන ජපන් නම ද ඒ අනුව යොදන ලදී.
ඉන් අනතුරුව වසර පහක් තුළ ජපානයට එරෙහිවූවන් ඉවත් කිරීමේ මෙහෙයුම යටතේ දහස් සංඛ්‍යාත ජනතාව ඝාතනයට ලක්විය.
ඒ අනුව, වයස අවුරුදු 18 සිට 50 දක්වා චීන ජන කොටස් විවිධ කඳවුරුවලට රැස්කර ස්වයංක්‍රීය අවිවලින් වෙඩිතබා මුහුදට විසිකර තිබේ.
එවැනි එක් කඳවුරක් ට්‍රම්ප් සහ කිම් ජොන් හමුවන සෙන්ටෝසා දූපතේ කපෙලා හෝටලයට ඉදිරියෙන් විය.
දිවයිනේ යුද සිර කඳවුරක්ද පවත්වාගෙන යන ලද අතර මිත්‍ර හමුදා සහ කාලතුවක්කු ද රඳවා තිබිණි.
සංචාරක කර්මාන්තයේ නැගීම සහ මාරාන්තික අනතුරු
1970 වසරේදී සිංගප්පූරු රජය මෙම දිවයිනට "සාමය සහ ශාන්ත" යන අරුත් ඇති සෙන්ටෝසා නම යොදා එහි සංචාරක පුරවරය නිර්මාණය කිරීම අරඹන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් දිවයින හා බැඳුණු ගැටලු නොනැවතී ඉදිරියට ගියේය.
1983 දී ප්‍රධාන දූපතේ සිට සෙන්ටෝසා දිවයින දක්වා රැහැන්මත දිවෙන මැදිරි දෙකක් මුහුදේ ගිලී ගියේ තෙල් නැවක් රැහැනේ ගැටීම හේතුවෙනි.
ෆැන්ටසි අයිලන්ඩ් නම් ජල උද්‍යානයක් විවෘත කළ නමුත් එයද ආරක්ෂා රහිත බවට චෝදනා එල්ලවිය. 2000 වසරේදී සිදුවූ අනතුරක් හේතුවෙන් අට හැවිරිදි දැරියක් මියගිය අතර ජල උද්‍යානය 2002 වසරේදී වසා දමන ලදී.
ඉන් පසුව බොහෝ අංග සහිතව නිර්මාණයවූ සෙන්ටෝසා දිවයින වසරකට දහස් ගණනක් සංචාරක ආකර්ශනය දිනාගත් සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්විය.
ඇයි මේ දිවයිනම?

ඡායාරූප මූලාශ්‍රය, ROBERT RECK/CAPELLA SINGAPORE
සාකච්ඡා සඳහා සෙන්ටෝසා දිවයිනම තෝරා ගැනීමට හේතුවූ ප්‍රධාන කරුණ ආරක්ෂාවය.
දිවයිනට පිවිසීම ඉතා පහසුවෙන් ආරක්ෂා කරගැනීමේ හැකියාව ඇත. ඊට පිවිසීමට ඇති මාර්ග සීමා සහිත වීම එහි ඇති විශේෂත්වය වේ.




























