අතරමං වූ දැරියක් ආරක්ෂා කළ අන්ධ සුනඛයෙක්

ඡායාරූප මූලාශ්‍රය, QUEENSLAND POLICE
වනයෙහි අතරමං වූ තුන් හැවිදිරි දැරියක් අසල රැඳෙමින් රැය පහන් වන තුරු ඇයට රැකවරණ සැලසූ සුනඛයකු ඕස්ට්‍රේලියානු පොලිසියේ අගැයීමට ලක්ව ඇත.
'ඔරෝරා' නම් දැරිය 'කුවීන්ස්ලන්ඩ්' ප්‍රාන්තයේ පිහිටි තම නිවසින් බැහැර ගොස් බොහෝ වේලාවක් නැවත නොපැමිණි හෙයින් පොලිසිය මුල් වී සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුණි.
නිවසේ සුරතලයට ඇති කළ දාහත් හැවිදිරි 'මැක්ස්' නම් සුනඛයාත් ඔරෝරා පසුපස ගමන් කර ඇත. මැක්ස්ගේ දෑස් අන්ධ අතර කන් ඇසීමේ දුර්වලතාවයක් ද ඇත.
දැරියගේ ඥාතීන් කඳු සහිත ප්‍රදේශයක අතරමංව සිටි ඔවුන් සොයා ගන්නා විට සුනඛයා පැය දහසයක පමණ කාලයක් ඔරෝරා ආරක්ෂා කරමින් ඇය අසල ගතකර තිබුණි.
නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දැරිය කෑ ගසන ශබ්දය ඇසුන බව ඔරෝරාගේ මිත්තණිය වන ලෙයිසා මාරි බෙනට් පැවසුවාය.
"මම කන්ද තිබෙන දිශාවට ඉතා වේගයෙන් දිව්වා. මුදුනට නැඟ ගත් පසු සුනඛයා මම සිටින තැනට දුවගෙන ඇවිත් මාව 'ඔරෝරා' සිටින තැනට කැඳවාගෙන ගියා" යැයි ඇය ඕස්ට්‍රේලියානු මාධ්‍යයට ප්‍රකාශ කළාය.
එදින රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දක්වා පහත බැස තිබුණ අතර, ඔරෝරා සහ මැක්ස් ගල් කුලක් පාමුළ රාත්‍රිය ගත කර ඇත. ඇයගේ ශරීරයේ සීරුම් තුවාල පමණක් දක්නට ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, QUEENSLAND POLICE
එම සෝදිසි මෙහෙයුම සදහා හදිසි අනතුරු අංශවල සේවකයන් සියයකට අධික ප්‍රමාණයක් සහ තවත් බොහෝ පිරිසක් සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත් වාර්තා වෙයි.
මැක්ස්ගේ ක්‍රියාව අගය කළ පොලිසිය, ඔහු 'ගෞරවනීය පොලිස් සුනඛයකු' ලෙස නම් කර ඇත.
"මට සිතා ගන්න පුළුවන් වයස අවුරුදු තුනක දරුවෙක් රාත්‍රියේ, තද සීතලේ කෙතරම් බියට පත් වෙන්න ඇත්ද කියලා," පොලිස් පරීක්ෂක ක්‍රෙග් බේරී පැවසීය.
"සුනඛයා ළඟ සිටි එක දැරියට ඉතා හොඳ දෙයක් වුණා. ඒ වගේම ඇයට උණුසුම්ව සිටීමට එය හේතුවක් වුණා"
මේ තොරතුරුද දැනගන්න:
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඇයි මැක්ස් මේ තරම් හිතවත්?
වයසින් වැඩුණ සුනඛයන් මිනිසුන් සමග නිතර ගැවසීමට ප්‍රිය කරන අතර, මැක්ස් දැරිය අත නොහැර යෑමට එය හේතුවක් වූ බව මාහාචාර්ය පෝල් මැක්ග්රීවි පවසයි.
දැරියගේ මානසික පීඩනය සුනඛයාට දැනී ඇති බව සතුන්ගේ හැසිරීම පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය මැක්ග්රීවි තව දුරටත් පැවසීය.
"දැරිය හඬා වැටෙන විට ඇයව සැනසීමට සුනඛයා මෙලෙස හැසිරෙන්න ඇති බවට මම අනුමාන කරනවා. ඒ අතර ඇය අතහැර නොයා දිගටම ඇය සමග රැඳී සිටීම මැක්ස්ගේ මූලික අරමුණ වී තිබෙනවා" ඔහු බීබීසීයට ප්‍රකාශ කළේය.








