ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම වරදක්ද?

A MY5 presenter (right, backward baseball cap) confronts courting couples in a Tashkent park

ඡායාරූප මූලාශ්‍රය, My5

තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ සිප වැළඳ ගනිමින් පෙම් කරන ආකාරය "හෙළිදරව් කරමින්" වැඩසටහනක් විකාශය කළ උස්බෙකිස්තානයේ රූපවාහිනී නාලිකාවකට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් පවතී.

MY5 නාලිකාවේ 'සැඟවුණු කැමරාව' වැඩසටහන මගින් 'තෂ්කෙන්ත්' අගනුවර මධ්‍යම උද්‍යානයක තරුණ තරුණියන් සිප වැළඳ ගන්නා ආකාරය (ඔවුන්ගේ මුහුණු නොපෙන්වා) ප්‍රදර්ශනය කළ වැඩසටහන නැරඹු පිරිස් මෙන්ම උස්බෙකිස්තාන් ආණ්ඩුවත් එම වැඩ සටහනට විරෝධය දැක්වීම විශේෂත්වයකි.

"ඔබ මේ කරන දේ හරිද?" වැනි ප්‍රශ්න නාලිකාවේ මාධ්‍යවේදියෙක් තරුණ තරුණියන්ගෙන් විමසන ආකාරය ද වැඩ සටහනේ දැක්වෙයි.

'සැඟවුණු කැමරාව' වැඩසටහන "මූලික මානව හිමිකම් සහ පුද්ගලිකත්වය පිළිබඳ නීතිවලට එරෙහිව යන්නක්" බව පවසමින් උස්බෙකිස්තාන් අධිකරණ අමාත්‍යාංශය අදාළ රූපවාහිනී නාලිකාවට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බව Fergana පුවත් සේවය වාර්තා කරයි.

අදාළ වැඩසටහනේ නිෂ්පාදකයන් "වෘත්තීය නොවන" ආකාරයෙන් කටයුතු කර ඇති බව ද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Walk away: A young couple leaves the park after being confronted by Yashirin Kamera

ඡායාරූප මූලාශ්‍රය, MY5

මුස්ලිම් බහුතරයක් සහිත රාජ්‍යයක් වන උස්බෙකිස්තානයේ දී ප්‍රසිද්ධියේ සිප, වැළඳ ගැනීම සැලකෙන්නේ නුසුදුසු හැසිරීමක් ලෙසය.

එහෙත් "අපි අනාගමික රාජ්‍යයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගමින් සිටින," බව ආණ්ඩුවේ නිලධාරියෙක් Fergana පුවත් සේවයට පවසා තිබුණි. ප්‍රසිද්ධියේ සිප ගැනීම නීති විරෝධී නොවන බව ද ඔහු පවසයි.

මේ අතර ෆේස්බුක් ජාලයේ ප්‍රකාශයට පත්කරන ලද අදාළ වැඩසටහනේ වීඩියෝ පටයකට බොහෝ දෙනා දැඩි විරෝධය පළ කර ඇත.

"තවත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න එයාලට මෙහෙම අයිතියක් ලැබුනේ කොහොමද?" යනුවෙන් එක් අයෙක් ප්‍රශ්න කර තිබුණු අතර, අධිකරණ අමාත්‍යාංශය විසින් "නූගත්" වැඩසටහන් සම්පාදකයන්ට එවැනි අනතුරු ඇඟවීමක් කරනු ලැබීම තවත් අයෙකුගේ ප්‍රශංසාවට ලක්විය.

එම වැඩසටහන බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ නමුත් "සදාචාරවත් නොවන" සහ "ඉස්ලාම් විරෝධී හැසිරීම්" ප්‍රසිද්ධියේ සිදු නොවිය යුතු බව පවසමින් ඇතැමුන් එය ප්‍රශංසාවට ලක් කොට තිබුණි.

මේ අතර වැඩසටහන මෙහෙයවන බද්‍රිදීන් හුස්නිදිනොෆ් (Badriddin Husnidinov) පවසන්නේ, ආණ්ඩුවකුමක් කීවත් "සදාචාරවත් නොවන හැසිරීම්වලට" එරෙහිව දිගටම එම වැඩසටහන විකාශය කරන බවය.

"අවිනීත හැසිරීම"

පෙම්සුව විඳීමට ගොස් ඇතැම්විට පොලිසියේ අත්අඩංගුවට පත්වන තරුණ තරුණියන් පිළිබඳ ශ්‍රී ලංකාවෙන් ද නිරන්තරයෙන් වාර්තා වෙයි.

පෙම්වතුන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එලෙස අත්අඩංගුවට පත්වන ඇතැමුන් සමාජයට හෝ පවුලේ සාමාජිකයන්ට මුහුණ දීමට නොහැකිව සිය දිවි තොර කරගත් අවස්ථා ද මාධ්‍ය වාර්තා ඔස්සේ දැකගත හැකිය.

එහෙත් ශ්‍රී ලංකාවේ අවුරුදු දහ අට ඉක්මවූ බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගත කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කළේය.

තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යානුකූල තහනමක් නොමැති නමුත්, එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දක්නට ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පෙන්වා දුන්නේය.

"අවිනීත හැසිරීම" යනුවෙන් වරදක් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය වසරේ වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාලවල වාර්තා පළ වූ නමුත් පොලිසිය එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.