"අසංවේදී ක්‍රියාවක්" : ශ්‍රීදේවි මරණය වාර්තා කිරීමට නානකාමර

බොලිවුඩ් තාරකා ශ්‍රීදේවී

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, බොලිවුඩ් තාරකා ශ්‍රීදේවී

පසුගියදා දිවියෙන් සමුගත් ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවි කපූර්ගේ මරණය මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන ආකාරය පිළිබඳව ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සහ රසිකයන් වෙතින් කෝපය පළ වෙමින් ඇති බව වාර්තා වේ.

එම මාධ්‍ය ප්‍රචාරණය අනුකම්පා විරහිත, අසංවේදී ක්‍රියාවක් ලෙස දෝෂ දර්ශනයට ලක්වෙමින් ඇති බව එම වාර්තා මගින් පැවසේ.

ශ්‍රීදේවි ගේ මරණය හා සම්බන්ධ පුවත් විනෝදාස්වාදය පිණිස යොදා ගනිමින් ඇති බව එක් සිනමා නිළියක් පවසන්නීය.

ශ්‍රී දේවි ගේ මරණය දියේ ගිලීමකින් සිදු වූවක් බව ඩුබායි හි වෝහාරික වාර්තාවක සඳහන් වේ.

ඉන් අනතුරුව පළ කෙරුණ ඇතැම් වාර්තාවලට නාන කාමර සහ නාන බේසම්වල ඡායාරූප ඇතුළත් කරමින් සිනමා නිළියගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විවිධ මත පළ වන්නට විය.

ඉන්දීය මාධ්‍ය ආයතනයක් ශ්‍රී දේවි මරණය වාර්තා කරන ලද ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය මාධ්‍ය ආයතනයක් ශ්‍රී දේවි මරණය වාර්තා කරන ලද ආකාරය

එවැනි වාර්තා පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ඇතැම් රූපවහිනී නාලිකා මහජන විවේචනයට ලක් වෙමින් ඇතිබව ඉන්දීය වාර්තා මගින් පැවසේ.

ශ්‍රීදේවි දශක 5කට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 කට පමණ සිය රංගනයෙන් දායක වූවාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විය.

මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක්

ඡායාරූප මූලාශ්‍රය, JAYAKUMAR S

ඡායාරූප ශීර්ෂ වැකිය, මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක්

සිව් හැවිරිදි වියේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි ද සිටි බව සැළකේ.

ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් ද ශ්‍රීදේවී කපූර් 2013 දී පිදුම් ලැබුවාය.