කුවේට්; ගෘහසේවිකාවගේ මළ සිරුර ශීතකරණයක

ගෘහ සේවිකාවගේ මෘත දේහය පසුගිය සතියේ මැනිලා නගරයට ගෙන ආ අතර එය අබියස හඬා වැටෙන සොහොයුරිය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෘහ සේවිකාවගේ මෘත දේහය පසුගිය සතියේ මැනිලා නගරයට ගෙන ආ අතර එය අබියස හඬා වැටෙන සොහොයුරිය

ශීතකරණයක තිබී පසුගිය මාසයේ මළ සිරුර හමු වූ පිලිපීන ගෘහසේවිකාව මරා දැමීම සම්බන්ධයෙන් සැක කෙරෙන යුවළක් සතියක් තිස්සේ සිදු කරන ලද පොලිස් වට ලෑමකින් පසු අත්අඩංගුවට ගනු ලැබුණි.

ජෝනා ඩෙමෆෙලිස් (Joanna Demafelis) නම් විසිනව හැවිරිදි එම පිලිපීන ග්‍රහ සේවිකාව මෙයින් අවුරුද්දකටත් අධික කාලයකට පෙර අතුරුදහන් වී යයි වාර්තා කෙරුණ අතර මළසිරුර ඇය සේවය කළ තට්ටු නිවාසයේ ශීතකරණයක තිබී පසුගියදා හමුවුණි.

ගෘහ සේවිකාවගේ හාම්පුතා වන නාදෙර් එසාම් අසාෆ් (Nader Essam Assaf) නම් සැකකරු ලෙබනනයේ දී අත්අඩංගුවට ගත් බව පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා(පෙබරවාරි 23) වාර්තා කළේය.

ගෘහසේවිකාවගේ මරණය පිලිපීනය පුරා මහජන කැළඹීමකට හේතු වූ අතර එම තත්වය එරට ශ්‍රමිකයන් කුවේට් රාජ්‍යයට යැවීම තහනම් කරනු ලැබීමක් ප්‍රකාශයට පත්කරනු ලැබීමට පවා හේතු විය.

ලෙබනන් ජාතික සැකකරු සහ ඔහුගේ 'මෝනා' නමැති සිරියානු ජාතික බිරිඳ එම අපරාධයෙන් බේරීමට නීතියේ රැහැනින් මිදී කට්ටි පනිමින් සිටියදී සිරියාවේ දී අත්අඩංගුවට ගන්නා ලද බව අලුත්ම වාර්තාවකින් පැවසෙයි.

ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණි.

විදේශ රැකියා සඳහා යාමට පුහුණුව ලබන පිලිපීන කාන්තාවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ රැකියා සඳහා යාමට පුහුණුව ලබන පිලිපීන කාන්තාවන්

නාදෙර් එසාම් අසාෆ් (Nader Essam Assaf) අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පිලිපීන විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා එය " සිය රටේ ගෘහසේවිකාව වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ලැබීමේ පළමු පියවර" ලෙස විග්‍රහ කළේය.

'ජෝනා' නමැති ගෘහ සේවිකවගේ මළ සිරුරේ ඇයට වධහිංසා සිදු කර ඇති බවට ළකුණු දක්නට ලබෙන බව පිලිපීන නිලධාරීහු පවසති.

එම අපරාධයෙන් අනතුරුව කුවේටයේ රැකියා කරන සිය ශ්‍රමිකයන්ට ආපසු සියරට පැමිණීමට පහසුකම් සලසන බව පිලිපීන ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.

පිලිපීන ජාතික කාන්තාවන් රැසක් කුවේටයේ ගෘහ සේවිකා වෘත්තියේ නිරතව සිටිති .

පිලිපීන ජාතික ගෘහ සේවිකාවක් මරා දමනු ලැබීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණ සිංග්පූර් යුවළක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිපීන ජාතික ගෘහ සේවිකාවක් මරා දමනු ලැබීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණ සිංග්පූර් යුවළක්

පිලිපීන විදේශ අමාත්‍යංශයට අනුව කුවේටයේ පිලිපීන ශ්‍රමික සංඛ්‍යාව 252,000 ක් පමණ වෙති.

සබැඳි පුවත්;